Thursday, September 01, 2011

නෙළුම් විල

නෙළුම් විල


මේ පුර සඳ ළමයින්ටයි

Posted: 31 Aug 2011 11:16 PM PDT



එකමත් එක කාලෙක ඉරවල් දහයක් එකවර පෑව්වා ලු . හිතා ගන්න පුළුවන්නේ රස්නේ තරම . කර කියාගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙද්දී ''හෝ යි  '' කියන දක්ෂ දුනුවායා ඉරවල් නවයක්ම දුන්නෙන් විදලා බිම දැම්මලු . ඉතින් දිව්‍ය ලෝකයේ රැජින [ මතක තියා ගන්න රැජිනක් ඉඳල තියෙන්නේ . රජෙක් හෙම නෙමේ ]  මේ හෝ යි ට දුන්නලු සදාකාලික වෙන්න හැකි ඔසුවක් . මෙයා මේක දුනලු තමන්ගේ රූමත් පෙම්බර බිරින්දෑට - එයාගේ නම ''චැන්ග්''. .-   පරිස්සමට අරන් තියන්න . බලන්න එදත් අද වගේම පඩි පැකට් එකම බිරිඳගේ අතට දෙන සැමියෝ ඉඳල තියෙනවා .
අනේ සුපුරුදු පරිදි''පෙන් මෙන්ග්''කියල දුෂ්ටයෙක් සැමියා නැති වෙලාවේ  ඇවිත් මේ ඔසුව ඉල්ලනවා . අසරණ වෙච්ච චැන්ග් එක හුස්මට මේක බීලා දානවා . ඊට පස්සේ සඳ වෙත පියාඹන්න හැකි වෙනවා . එදා ඉඳන් සඳේ ඉන්න මේ කරුණාවන්ත කාන්තාවගෙන් ආශිර්වාද ඉල්ලන්න සරත් සමයේ පුර හඳ යට අනගි සැණකෙළියක් පවත්වන්න මිනිස්සු පුරුදු වුනාලු.

තද හිරු රැසින් මිහිකත දවපු ගිම්හානය තව දිග නිවාඩුවකට අර අඳිනවා . විටින් විට හමන තද සුළඟ නිකම් පෙරහරට කලින් එන කස කරුවෝ වගේ සරත් සමය ලඟම එන බව කියනවා .කවුරුත් කියන පරිදි හැනොයි වල ලස්සනම කාලය තමයි සරත් සමය . ඉතින් චණ්ඩ හිරුරැස් වලට උත්සවාකාරයෙන් සමු දෙන්නයි කට්ටිය සුදානම් වෙන්නේ .
මට නම් ලස්සනම මල්සුවඳ විඳින වසන්තය . මගේ ඒ පරණ පෝස්ට් එක කැමති නම් කියවන්න . මල් නුවර මල් සුවඳ විඳ
.

..එකමත් එක කතා වලින් සරු වුන වියට්නාමය ''සඳ උළෙල '' සමරන්න ඔන්න මෙන්න . උණු උණුවෙම මේ ගැන ලියන්නයි මම අද හිතුවේ . අර බුද්ධාගම ආපු හැටි ඊ ළඟ ලිපිය කරන්න සිද්ධ වුනා . ඒ ගැන කට්ටිය සමාව දෙයි කියල හිතනවා .
මේ නැගෙනහිර ආසියානු කලාපයේම සමරන ''සඳ උළෙල '' ..[Moon festival  මම සිංහල බසට පෙරලුවේ එහෙමයි . ..] වියට්නාමයේදී සැමරෙන්නේ කොහොමද කියලයි මන් ලියන්න හදන්නේ . චීනය ..ඇතුළු මේ කලාපයම මෙය සමරන බවයි මගේ අදහස . අනික මුල් වෙච්ච ජනප්‍රවාදත් හුඟක් දුරට සමානකම් තියෙනවා . චිනෙදි අර දුනුවායට ලැබෙන්නේ බෙහෙත් කරලක් .  බිරිඳ ඒක ගිලදාලා. සැමියා කියනව ආපහු ඒක ඕන කියල . බිරිඳ හඳේ . හඳේ හාවා තාමත් බෙහෙත් කොටනවා ඒ කරළ හදන්න .
වියට්නාමේ තව කතාවක් තියනවා . ඒකෙදි සැමියාට ලැබෙන්නේ බෙහෙත් නුග ගහක් . ඒ ගහට මුත්‍රා කිරීම තහනම් . බිරිඳ ඕක නොදැන ගහ යට මුත්‍රා කරනවා . ගහ බිරිඳත් අරගෙන උඩට උඩට වැවිල දැන් ඇය සඳේ .


තවත් කතාවක දුප්පත් කොලුවෙක් ඕ වගේ සඳට ගියාලු . කොහොම හරි කවුරු හරි සඳට ගිය විත්තිය තමයි කියවෙන්නේ හැම කතාවේම . ඉතින් මේ සඳට ගිය අය ට ආපහු එන්න පාර පෙන්නන්න සඳ උළෙලදා අලංකාර පහන් සාදලා දල්වනවා . සමහර ඒවා අහසේ පාකර අරිනවා . මේ පහන් අපේ වෙසක් පහන් වගේ . හරිම ලස්සනයි . උණ බට තමයි වැඩියම යොදා ගන්නේ .



සඳ උළෙල වගේම මේකට Mid Autmn  festival [ කවුරු හරි ඕක සිංහලට හරවනවද . අපේ සරත් මහත්තය මා එක්ක තරහ වෙයි ඔය අනන් මනං නම් හැදුව කියල ]   කියලත් කියනව . ඒ කියන්නේ සරත් සමය පටන් අරන් පළමු පුර හඳ දවසේ තමයි මෙය පවත්වන්නේ . හරියටම දින වකවානු කියනව නම් 8 වෙනි චන්ද්‍ර මාසයේ 15 වෙනි දවසේ . චන්ද්‍ර මාසය කියන්නේ ලුනාර් කැලැන්ඩර ය අනුව මාස වෙන් කරන විදිහ . මේක චීනය අවට රටවල සම්ප්‍රධායක් . සඳ මුල් කරගෙන කැලැන්ඩර හැදීම චීනය අවට විතරක් නෙමේ මන් හිතන්නේ අපිත් ඉස්සර කළා . මැද පෙරදිග පැත්තෙත් එහෙමයි මන් හිතන්නේ . ඩින් ..ලකී ..ඒ ගැන කියාවි . මේ අවුරුද්දේ සැප්තැම්බර් 11 තමයි දවස .


ඔය පසුබිම් කතාවලින් පස්සේ අපි කෙලින්ම කතාකරමු මේ සඳ උළෙල ගැන . ඇත්තටම මෙය ළමයින්ගේ දවසක් . තනිකරම ළමුන් සතුටු කරන්න යොදා ගන්න හැටි හරි අපුරුයි .ඇයි මේක ළමයින් වෙනුවෙන් වෙන් වුනේ . ඒකත් ලස්සන රහසක් . අස්වනු නෙලන සමයක් මේ ගෙවෙන්නේ . අස්වනු නෙලන කාලය දෙමාපියෝ හේන් කුඹුරුවල වැඩ . ළමයි ගැන සොයන්න වෙලාවක් නැහැ . ඉතින් ඒ මග අරුණු කාලෙට වන්දි ගෙවන්න ළමයි සතුටු කරන්න තමයි මේ සඳ උළෙල වෙන් වෙන්නේ .

මුල් සිරිත පුර සඳ යට සිට ''Moon cake '' කෑමත් පහන් දැල්වීමත් වුනත් ඇත්තටම මෙය දැන් සංස්කෘතික උත්සවයක් වගේ . ඊටම ආවේනික සම්ප්‍රධායික කෙලිබඩු තනනවා ළමයින් වෙනුවෙන් . දැන් නම් චීන මාමලා ප්ලාස්ටික් වලින් හදල එවනවනේ නානාප්‍රකාර සල්ලම් බඩු. ඒත් ඉස්සර අපි කුරුම්බැට්ටි මැසිම ..ගොක්කොල රූන් පෙත්ත ..රබර් ගෙඩි බඹරය වගේ සරල කෙලිබඩු වලින් නැලවුනා වගේ මෙහෙත් ඒක ඒක ජාතියේ කෙලිබඩු හදල තියෙනවා . සහල් පිටි අනල පාට මිශ්‍ර කරළ සතුන් මල් වැනි ලස්සන නිර්මාණ කරනවා . විවිධ හැඩති වර්ණවත් පහන් සදනවා . බොහෝ විට සතුන් ..විශේෂයෙන් හාවා . .


Moon cake නම් මාසයකට පමණ පෙර සිට විකිනෙනවා . රවුම් හෝ හතරැස් හැඩේට සාදන මේ රසකැවිල්ල රසවත් වෙන්නේ නෙලුම් ඇට..මුන් ඇට පිටි ..දොඩම් ලෙලි වගේ දේවලින් . මැද්දේ බිත්තර කහ මදේ. හරියට හඳ වගේ . ඇත්තම කියන්න මට නම් බිත්තර දැක්කම එච්චරම ආස නැහැ . බිත්තර නොදාත් කලාතුරකින් හදනවා .


මකර සහ සිංහ නැටුම්....මකරා ඉතින් මේ කලාපයේ හරි ජනප්‍රිය සතෙක්නෙ . මකරු සිංහයෝ විදි බහිනවා නට නටා . බෙර කාරයෝ මකරු සිංහයෝ ඉන්න කණ්ඩායම් විදි දිගේ යනගමන් කඩ වලට ගෙවල් වලට ඇවිත් තමන්ගේ හැකියාවන් පෙන්වනවා . ඉවර වුනහම මුදල් තෑගී හෙම ලැබෙනවා . දැන් ඉතින් කොහෙත් ඕනෑම දේකට වගේ මේවටත් විශේෂයෙන් පුහුණු වෙච්ච කණ්ඩායම් ඉන්නවා . අපේ මුන් මහත්තයාගේ ඉස්කෝලෙත් ඔයින් උත්සවයක් තියෙයි . එදාට ළමයි වියට්නාමයේ සම්ප්‍රධායික ඇඳුම අඳිනවා .


ළමයින්ට නොයෙක් වැඩ සටහන් පැවැත්වෙනවා විවිධ ස්ථානවල . මුලිකවම ළමයි සතුටු කිරීම අරමුණ වුනත් ළමයින් දිරිමත් කිරීමට කතන්දර තියෙනවා .
ඔන්න ඒක කාප් මාලුවෙක් ට ඕන වුනාලු මකරෙක් වෙන්න . මේ මාළුවා ඒ ගැනම හිතලා මහන්සි වෙලා වැඩ කලාලු . අන්තිමට එයා මකරෙක්[ Ca  Hoa  rang ]    වෙලා පියඹල ගියාලු. තමන්ගේ අරමුණ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීම තමයි මේ කතාවේ ආදර්ශය . ඒ නිසා වෙන්න ඇති මකර නැටුම් කරන්නේ . ඔන්න මකරට අමතර ආදායමක් සොයා ගන්න කාලයක් .


මකරුන් විදි බැස


 රෑ පහන්



මුන් කේක්..කේක් කිව්වට බනිස් ගෙඩියක ලක්ෂණ තියෙන්නේ . ''සඳ බනිස් '' වගේ නමක් නරකද




ප. ලි .
හෙට තමයි වියට්නාම් ජාතික දිනය . 1945 අගෝස්තු විප්ලවය සහ නිදහස් වියට්නාමය ඇති වීම හෙට සමරනවා . අපිට නිවාඩු .

No comments:

Post a Comment