Thursday, September 15, 2011

නෙළුම් විල

නෙළුම් විල


බිඳුන පවුරක කැබලි විසිරී...

Posted: 14 Sep 2011 10:48 AM PDT






තාප්ප ඉදි කරන්නේ කුමටද ? තම තමන්ගේ වැට මායිම් ආරක්ෂාවටය . නගරාසන්නයේ දී ගෙවල වහලය තෙක් බැඳී උඩින් වීදුරු කටු හෝ යකඩ උල් වලින් සන්නද්ධ වන්නේ මායිම් රැකීමටත් වඩා සොර සතුරන්ගෙන් බේරිමටය . මදක් නගරයෙන් ඈත් වෙද්දී තාප්පද කොට වන බව මට සිතේ . ගම්බදට වන්නට තාප්ප ඉතාම කොටය . අල්ලපු ගෙවල් දෙකේ නෝනලාට හොරෙන් අනෙකා දෙස බැලීමටත් හිතවත් කමක් ඇත්නම් ඕපාදුපයක් හුවමාරු කරගන්නටත් මේ කොට තාප්පය නිසා හැකි වේ . බොහෝ විට ගම පළාත් වල තාප්ප ඇත්තෙම නැත . කටු කම්බි වැටක් , මල් වැටක් හෝ මෑතකදී ජනප්‍රිය වුන දැල් වැටක් හෝ වැටක් කියා දෙයක් නැති වීමටද හැක .


මීට අමතරව තාප්ප අත්‍යවශ්‍ය ස්ථානද තිබේ . සිපිරිගෙයට ඉතා උස තාප්පයක් තිබිය යුතුය . බලාගෙන ගියහම තාප්ප ගැන හඳුන්වා දීමට රචනාවක්ම ලිවිය හැකි බව සිතේ . ආරක්ෂාවට අමතරව තාප්ප වලින් වැඩිම ප්‍රයෝජනයක් ඇත්තේ පාප්ප නාගෙන එල්ලී සිටීමට අවශ්‍ය කට්ටියට අවශ්‍ය කාලයට එසේ සිටිය හැකි වීමයි. තාප්ප වල පෝස්ටර් ඇලවීම හැම රටකම පුර වැසියන්ට ලැබෙන වරප්‍රසාදයක් නොවේ. මේ වියට්නාමයේද එය තහනම්ද නැතහොත් එසේ අලවන්නට අවශ්‍යතාවයක්ද නැති නිසාද නොදන්නා මුත් එසේ පෝස්ටර අලවන්නේ නැති බව නම් පෙනේ.


මෙතරම් තාප්ප ගැන කියන්නට වුනේ මැලේසියාවේදී දුටු එක්තරා තාප්ප කැබැල්ලක් නිසාය ..ඒ අනෙකක් නොව ''බර්ලින් තාප්පයේ'' කොටසකි.
 

 ''ජෙන් ටින්ග්'' හයිලන්ඩ් විනෝද උද්‍යානයේ පුදුම දේවල් වලට වෙන් වූ ස්ථානයේ දී මා විසින් ගත් එම තාප්ප කැබැල්ලේ පින්තුරයයි ඉහත ඇත්තේ  . මෙය කුඩා කොටසක් නොවේ . කාමරයක බිත්තියක් තරමේ කැබැල්ලකි . මෙය මාතුල මහත් විශ්මයක් ඇති කල මුත් පසුව දැනගත් පරිදි එම පවුරේ කොටස් විකිනීමට තබා ඇත. මෙය කියවන ඔබ මේ ගැන දැන සිටින්නට ඇත .

එහෙත් මට නම් ''බර්ලින් තාප්පයේ '' කෑලි විකුණන බව අලුත්ම ආරංචියක් වූ බව කිව යුතුමය . මෙන්න අඩවිය . තවමත් ඉතුරු වී ඇත්නම් ඔබටත් කෑල්ලක් ගන්නට පුළුවන .


විශේෂ කාරණය එපමණක් වන මුත් මේ ''බර්ලින් පවුර '' ගැන නොදන්නා කෙනෙක්ට මෙය අන්ඩර දෙමල සේ වනු හැකි හෙයින් පහත සටහන තබමි. අසු පිරු තැන් ඇත්තන් කමත්වා . එමෙන්ම මෙහි අඩු  ලුහුඬු  සදත්වා !!

කුමක්ද මේ බර්ලින් තාප්පය . 



එය ''බටහිර '' සහ '' නැගෙනහිර '' වෙන් කල පවුරකි   ...ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වෙන් කල සංකේතාත්මක තාප්පයකි ...



දෙවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පැරැදු ඇමරිකාව , බ්‍රිතාන්‍ය , ප්‍රංශය සෝවියට් රුසියාව ජර්මනිය තම තමන්ගේ බුදලයක් කරගත් අතර කොටස් හතරකට වෙන් කළා . කෙමෙන් කෙමෙන් ඇමරිකාව , ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එක පසෙකට වී සෝවියට් රුසියාව අනෙක් පසට වුනා . මුලදී පැහැදිලිවම බෙදා වෙන් නොකලත් බටහිර -නැගෙනහිර ලෙස යම් බෙදීමක් ඇතිව වුනා . බටහිර පැත්තේ අයට නැගෙනහිරටත් නැගෙනහිර අයට බටහිරටත් යා හැකි වුනත් යම් යම් සැක සංකා     තිබුනා .




පැහැදිලිවම  බටහිර ජර්මනිය Federal Republic of Germany (West Germany) ප්‍රකාශයට පත් කෙරුනේ 1949 මැයි වලදී .


 1949 ඔක්තෝම්බර් වලදී German Democratic Republic  (East Germany) එහෙම නැත්නම් නැගෙනහිර ජර්මනිය ප්‍රකාශයට පත් වුනා .


බටහිර ජර්මනිය බටහිර ලෝකයේ මග යමින් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තටත් නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ මග යමින් සමාජවාදී රටක් ලෙසත් බෙදී ගියා .


මෙතැනදී මේ දෙගොල්ලන්ගේ දේශපාලන පැටිකිරිය ගැනවත් කොයි ක්‍රමේ හොඳද කියලවත් කතා කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැති බව අවධාරණයෙන් කියන්න ඕන.



මෙයට සමගාමී ලිපිකිපයක් සත් සමුදුරේ පළවුනා . මෙන්න ලින්ක් එක . එතන හොඳ සංවාදයක් ඇති වී තිබුනා . මට ඒ තරම් ඔය ගැන දැනීමක් නැහැ .



ඉතින් මෙන්න මේ විදිහට ජර්මනිය දෙකඩ වුනා . ඒත් දෙපැත්තේ ජර්මන් වැසියන්ට ඒ මේ අතට යන්න ඒ හැටි ප්‍රශ්න තිබුනේ නැහැ . දේශ සිමා දාල වෙන් වුනාට දෙපැත්තේම නෑදැයෝ ඉන්න ඇති මේ මිනිස්සුන්ට.


පහු වෙනකොට නැගෙනහිර උදවිය බටහිරට යන්න වැඩියෙන් පෙළඹුනා . විශේෂයෙන් බුද්ධි ගලනය නවත්වන්න නැගෙනහිර ජර්මන් රජයට උවමනා වුනා . දෙපැත්තේම තර්ජන ගර්ජන හමුවේ පැවතුනේ සීතල යුද්ධයක් .


එක රාත්‍රියක ..හරියටම කියනව නම් 1961 අගෝස්තු 12 මැදියම් රැයේ බටහිර - නැගෙනහිර වෙන් වුණා. 


උදේ නැගිටින කොට බොහෝ දෙනෙක් තමන්ගේ දු දරුවන්ගෙන් ..දෙමාපියන්ගෙන් ..ඒ වගේම ආදරවන්තයින් ආදරවන්තියන්ගෙන් වෙන් කෙරිලා .




මුලින් කොන්ක්‍රීට් කණු සහ කටු කම්බි විතරක් තිබ්බ මේ මායිම කීපවතාවක් වෙනස් වෙලා 1975 සිට 1980 කාලේදී ස්ථිර කොන්ක්‍රීට් තාප්පය ඉදි වුනා .


නැගෙනහිරින් බටහිර පැත්තට එන්න ගිය අයගේ විවිධාකාර කතන්දර චිත්‍රපට වලින් පොත් පත් වලින් අපි දැකල තියනව. සමහරු උමන් හෑරුවා . සමහරු වායු බැලුන් වලින් අනෙක් පැත්තට ගියා . තව විවිධ ක්‍රම අතර මුර භටයන්ගේ  වෙඩි පාරවල් නොතකා තාප්පය දිගේ බඩ ගාන්නත් සමහරු නිර්භය වුනා . මිය ගිය ගණන විශාලයි.



කොන්ක්‍රීට් තාප්පෙකට ජාතියක් වෙන් කරන්න බැරි බව සහ ලෝකය දේශපාලන පිල් වලට ඉරි ගහල බෙදන්න බැරි වගට ඔප්පු කරමින් 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුනා .



එයට කාන්තාවක් බොහෝ සම්මාදම් වූ බව අරුණිගේ ලිපියකින් දැන ගත්තා. බෙයර්බෙල් බොහ්ලෙ නම් වූ ඇය ගැන අරුණිගේ සටහනට මෙතනින් යන්න .




බිඳ වැටුන කිව්වට සම්පුර්ණයෙන්ම මුළු තාප්පෙම බිමට සමතලා වුනේ නැහැ . වර්ණවත් චිත්‍ර වලින් අලංකාර වෙච්ච එළිමහන් කලාගාරයක් වගේ ඉතුරු වෙලා තියෙන තාප්ප කොටස් වේගවත් ඉදිකිරීම් හමුවේ ටිකින් ටික ගැලවී යනවා . කෑලි කඩලා විකුණන අයත් අඩුවක් නැහැ,බිඳ වැටුන මේ තාප්පයේ කොටස් මිලට ගත හැකි බව කියන අඩවියට මෙතනින් ගොස් බලන්න .





ග්‍රැෆිටි සිතුවම් වලින් හැඩවී




කෑලි කඩා ගන්නා අය






මේ සම්බන්ධයෙන් විකිපීඩියාවේ කාරණා කියවන්න කම්මැලි හිතෙන තරමට සංකීර්ණයි . මන් වගේ කම්මැලියන්ට මෙන්න සරල අඩවියක් .




මගේ ජර්මන් මිතුරියක් කියූ පරිදි ටික කලකට පෙර නම් නැගෙනහිර පැත්තේ අයයි බටහිර පැත්තේ අයයි අතර කතා බහේ... අධ්‍යාපනයේ ..සහ ආකල්ප වල පොඩි වෙනසක් තිබුනත් අලුත් පරම්පරාවන් අතර එය නැහැ .




මේවා ඉතා පරණ කතා කරලා පිළුණු වෙච්ච දේවල් වුනත් මට හිතෙනවා කමක් නැහැ කියල ලිව්වට . මොකද අපිත් ඔහොම තාප්පයක් බැඳෙන්න ඔන්න මෙන්න හිටි රටක් නිසා .


මට යන්න බැරි වුනත් ජර්මනියේ ගොසින් ඇවිත් මගේ කන් දෙක පිරෙව්ව බනිලගේ තාත්ත නිසා ජර්මනිය ගැන වෙනස් කතා කීපයක් තියන නිසා මේක මතු සම්බන්ධයි කියන්න පුළුවන්. හැබැයි මතු කියන්නේ කවද වෙයිද නම් දන්නේ නැහැ .


ස්තුතිය ..මේකටත් බනිලගේ තාත්තට ස්තුති කරන්න වෙනවා . සතියක්ම නොලිවු වගට කල චෝදනා වලට 




පළමු පින්තුරය හැර අනෙක් ඒවා  Google Images  




No comments:

Post a Comment