Monday, September 26, 2011

නෙළුම් විල

නෙළුම් විල


දිය මකර රජු ගේ ළමයි....

Posted: 25 Sep 2011 11:35 AM PDT


වියට්නාමයේ ජනකතා කියන්නයි ටි ජි ළමයා හුඟ කලක සිට ඉල්ලයි . හැමදාම යුද්ධය ගැන ලියන්නට ගියොත් කට්ටියට එපාවෙන්නත් බැරි නිසා වෙනසක් කරන්නට මටත් සිතුනා .
එහෙන් මෙහෙන් අසා තිබුනත් ඒවා අකුරු කරද්දී අපට හිතු ලෙස ලිවිම හොඳ නැති හින්ද මන් අපේ ''මුන්'' මහත්තයාගේ පුස්තකාලෙන් පොතකුත් සොයන් ආව. දෙමාපියන්ට සති දෙකකට පොත් තුනක් ගන්න පුළුවන්.
විශ්වය ඇති වීමේ ඉඳන් වියට්නාම් ජාතිකයින් ඇති වීම දක්වා ලස්සන මිත්‍යා කතන්දර  ටිකක් හම්බ වුනේ මගේ වාසනාවට . බොහොමයක් පොත් ස්ව බසින් ලියවුන මේ රටේ ඉංග්‍රීසියෙන් ලියවුන පොත් අඩු නිසා මේක සැහෙන වටිනවා මටනම් .

අද මන් ලියන ප්‍රධාන කතාවට කලින් අතුරු කතාදෙකක් කියන්න ඕන. මොකද මේ කතා දෙක එච්චර රසවත් නැතත් පස්සේ ලියනවට වඩා මුලදීම කිවමයි අගේ.

බොහොමයක් සංස්කෘතිවල වගේ මෙහෙත් විශ්වය ඇති වීම ගැන කතාවක් තියෙනවා . ඔන්න ඉස්සර කාලේ ලෝකය එක අඳුරු කුහරයක් විතරයි. එකදවසක් එක යෝධ දෙවි කෙනෙක් දිවය ලෝකේ ඉඳන් පොලවට ආවා. ටික කාලයක් ගියාට පස්සේ මේ දෙවියා අහස අත් දෙකෙන් උස්සලා උඩට උඩට තල්ලු කරනවා . තල්ලු කරන ගමන් ආධාරකයක් විදියට කණුවක් බඳිනවා . මේ කණුව තැනෙන්නේ පොළවෙන් ගත් කුණු සහ පාෂාණ වලින් . මුලින් මදුරු දැලක් වගේ වෙච්ච අහස අන්තිමට බත් පිඟානක් වහපු මුඩියක් වගේ පේනවා .

ඔහොම උස්සල උස්සලා එක මට්ටමකදී ස්ථාවර වුනාට පස්සේ අර කුළුණ විනාශ කරන්නේ දෙවියා විසින්මයි. ඒකෙ කොටස් විසිරිලා තැන්  තැන්වල දුපත් කඳු හෙම නිර්මාණය වුණා. කුළුණ හදන්න අමුද්‍රව්‍ය ගත් තැන් සාගරය ලෙස ඉතුරු වුණා .
Son Tay පළාතේ ඇති Thach Mon කන්ද එම කුළුණේ නෂ්ටාවශේෂ බවයි කියවෙන්නේ . සමහරු එය ''දෙව් ලොවට මග '' කියන තේරුම ඇති Khong - lo  ලෙසත් හඳුන්වනවා .

ඊට පස්සේ මේ දෙවියා ගේ කාරිය ඉවරයි. ආපසු දෙව්ලොවට ගියා වෙන්න පුළුවන්. ඉන් පස්සේ තවත් දෙවිවරු හත්දෙනෙක් ආවලු . ඒ අය වැලි , රළ ,තරු .,ගංගා ...ගස් ..වනාන්තර ...ඇතිකළ බව තමයි කියවෙන්නේ .
ඊට පසු   ඉතා විශාල කාලයක් ගත වුණා . ඒත් තාමත් අහස අඳුරුයි ...වාතය තෙතයි.
මේ අඳුරු ලොව දෙස
බලා ඉනු බැරි තැන
උතුම් දෙව් අදිරද
එවුවා සඳ එක්ක
හිරු දෙවඟන .....
......දැන් ඉතින් දෙව්ලොව අධිරාජයා විශ්වය තනා ඉවරයි. ඉතුරු බිතුරු වලින් ලෝකෙට සත්තු මවන්න කල්පනා කලාලු . සේරම සත්තුන්ට වඩා සියුම් දේවල් වලින් තමයි මිනිසා හදල තියෙන්නේ.  මේ වැඩේට වින්නඹු දෙවඟනන් 12 ක් උදව් කලාලු.
මේ ලෝකයේ සියලුම සත්වයන් ඊ ළඟ ආත්මයේ උපදින්නේ කවුරු විදියටද කියල තීරණය වෙන්නේ දිව්‍ය ලෝකයේ දෙව් රජුගේ සහ පරිපාලක සභාවේ තීරණයන්ට අනුව. මෙයිනුත් මනුස්ස ආත්මයක් ලැබීම ගැන කටයුතු කරන්නේ අර උඩ කිව්ව දෙවඟනන් 12 දෙනා .
පුද්ගලයෙක්ගේ අවයව වගේම අධ්‍යාත්මයත් ඔවුන්ගේ නිර්මාණ . හැබැයි ආයුෂ නම් තමන් කරන කියන දේ අනුවලු තීරණය වෙන්නේ.


ඔන්න ඉතින් තවත් කාලයක් ගියාට පස්සේ උතුරු වියට්නාමයේ Hong Ha නදිය [රතු නදිය ...මේ ගැන වෙනම ලියන්නම්]   ආශ්‍රිතව මිනිස්සු පදිංචි වුණා . ගොවිතැන් සහ ධිවර කටයුතු තමයි කලේ.


ඔය කාලේදී තමයි Lac Long Quan නම් දෙවියා පහල වෙන්නේ . එයාගේ තාත්ත කඳුකරේ දෙවියා වෙච්ච Kinh Doung Vuong . අම්ම ජලයේ දෙවඟන ....Ho Dong Dinh . ඒ වගේම එයා දිය මකරියක්.
මේ මිශ්‍රණය නිසා පුතාට අම්මගේ ලක්ෂණ තමයි වැඩි. ඒ නිසා එයත් වැඩිය ඉන්න ආස කලේ වතුරේ .


පියා විසින් Lac Long Quan ට Lac Viet [ වර්තමාන වියට්නාමය ] බාර දුන්න . ඔහු රට දියුණු කළා . ගෘහ නිර්මාණයට ආස කළා . ඔහුගේ මාලිගය කොටස් දෙකයි. එකක් ගොඩ බිම . අනික දිය යට. වැඩිය හිටියේ දිය යට මාලිගේ . රටවැසියා ඇවිත් ''Oh Father '' කිව්වම ගොඩට ඇවිත් ප්‍රශ්න විසඳන්න උදව් කළා .

ඔහොම සාමයෙන් ඉන්න අතරේ ඔහුගේ නෑයෙක් වුන De Lai තමන්ගේ රූබර බිරිඳ Au චෝ සමග මේ රටට එනවා . බිරිඳව ගොඩ බිම මාලිගයේ රඳවා ඔහු රට තොට බලන්න යනවා . මේ විපරම්  කිරිල්ලට රටවැසියා කැමති වුනේ නැහැ . ඔවුන් ගිහින් Lac Long Quan රජුට කේලම කියනව .

ඔය අවු අස්සේ දියෙන් ගොඩට ආව රජතුමා Au Co ගේ රූපෙට වහ වැටිලා දන්නා ශිල්ප සේරම දාල
ඇගේ හිත ගන්නවා .

අනේ ඇත්තට මන් හිතන් හිටියේ ලස්සන ගැහැණු කෙනෙක් දැක්කම මෙලෝ සිහියක් නැති වුනේ අපේ රජ ගොල්ලන්ට විතරයි කියලයි. බලපුවම කොහෙත් එකයි.
මේ දෙන්න විවාහ වෙනවා . De Lai සටන් කරන්න ශක්තිය මදි නිසා ආපසු යනවා .


Lac Long Quan සහ Au Co රැජිනගේ විවාහයෙන් පසු ඇය බිත්තර 100 ක් දමනවා . [ මෙයාල මකරු හොඳේ ..මකරියෝ දාන්නේ බිත්තර ] . මේ බිත්තර වලින් ළමයි 100 ක් ඇති වුණා


මේ මොන දේවල් වුනත් වතුරේ ඉන්න පුරුද්ද නම් අඩු වුනේ නැහැ රජතුමාගේ . ඉතින් රැජිනට හරි පාලුයි. ඔය පිරිමි ''ලඟින්ම ඉඳන් හිස අතගගා ඉන්නම්'' කිව්වට ගෑනු ළමයි දැන ගන්න ඕන කියන තරමට එව්වා වෙන්නේ නැති වග .


කොහොම හරි උපන් රට දැක ගන්න ආසාවත් පාළුවත් නිසා ඇය දරුවනුත් එක්ක ගිහින් එන්න හිතනවා . ඒත් දේශ  සීමාවේදී ආරංචි වෙනවා මුල් සැමියා මරා දාල Hoang De කියන කෙනෙක් පාලකයා වෙලාකියල . ඇගේ ආගමනයට ඔහු කැමති වෙලා නැහැ . රටවල් දෙක අතර සටනක් වෙයි කියල ඇය බය වෙලා ආපසු ඇවිත්.

හැබැයි මේ සේරම වුනේ ඔයා හින්ද තමයි කියල Lac Long Quan එක්ක නොහොඳ නෝක්කාඩු වෙලා . ඔන්න පිරිමි ''ළමයි අපි ඕන දෙයක් වෙද්දෙන් කියල පැනල යමු '' කියල ගෑනු ළමයි කිව්වට ,පස්සේ ඔයා හින්ද මට මගේ සනුහරේම නැති වුණා කියන්න ඉඩ තියෙන බවත් මතක තියා ගත්තත් හොඳා .

මේ නෝක්කාඩු වලින් පස්සේ රජතුමා පැහැදිලි කරලා මම දිය මකරෙක් ..ඔයා සුරන්ගාවියක් . ඒක තමයි ඇත්ත තත්වය කියල . මේ දෙන්න කතා බහ කරලා තීරණය කලාලු ළමයි 50 ගානේ බෙදා ගන්න .

මේ ළමයි බොහොම හොඳ අය. එයාලම කොටස් දෙකකට බෙදිලා . 50 ක් තාත්තා එක්ක දිය යටට ගිහින් . 50 ක් අම්ම එක්ක ගොඩ බිම ජිවත් වෙන්න තීරණය කරලා .


Au Co එක්ක ගොඩ බිම නතර වුන ළමයින් ගෙන් තමයි වත්මන් වියට්නාම ජාතිකයෝ පැවතෙන්නේ කියලයි කියවෙන්නේ . ආයේ දෙකක් නැහැ මෙහෙ අයට දිය ගොඩ දෙකම හොඳට හුරු වෙන්න ඕන තියන ගංගා.. වැව් සංඛ්‍යාව දිහා බැලුවම .


අපේ ගේ ඉස්සරහින් යන ලොකු පාරේ නම  Au Co . ඒකෙ ගිහින් Lac Long Quan පාරට හැරිලා තමයි අපි ඉස්කෝලේ යන්නේ . අනික් අතට Au Co සහ  Lac Long Quan දෙන්න හමු වෙනවා වගේ තමයි.


ඔන්න බලන්න ඇස් ඇරලා බැලුවොත් කියන්න කතන්දර කොයිතරම් තියනවද ...අප අවටම . Au Co පාර දිහා බලාගෙන ඇය කිසිකලෙක නොදැන සිටි බසකින් අද මන් ඇය ගැන ලියන බව ඈත ..ඈත දවසක ඇය සිතන්නට ඇද්ද .


මේ ප්‍රවාදය මෙහෙ හරිම ජනප්‍රියයි. අර අපි සිංහයාගෙන් පවත එන ගානටම . චිත්‍ර කැටයම් ..නාටක හෙම බොහොමයි . දකින දකින තැන් මකරු
මේ දෙන්න ඉන්න මුද්දරයක්



ඉස්සරහට තව කතා ගොඩක් කියන්න හිතාගෙන අදට නවතින්නම් .

Pictures by Google

No comments:

Post a Comment