Wednesday, October 12, 2011

නෙළුම් විල

නෙළුම් විල


සේද මාවත .....2

Posted: 12 Oct 2011 03:05 AM PDT

කියවා ඉවර කල නොහැකි මහා විස්තර ගොඩක් තියෙනවා සේද මාවත ගැන . විවිධාකාර සංස්කෘති ගැනද ඒ ඒ කලාපයන්හි විකාශය ගැනද දිගින් දිගට විහිදුන ඉමක් කොනක් නැති කතන්දර රාශියක් සේද මාවතට පැටලිලා. දවස් ගානක් තිස්සේ කියවනවා කොහොමද මේක සරල කරලා ලියන්නේ කියල . පොඩි කාලේ අපට මේක නොතෙරුනේ මේ සංකීර්ණ බව නිසා කියලයි මට හිතෙන්නේ .
බොහෝ දෙනෙක්ට ඉතිහාසය අප්පිරිය වෙන්නේ මේ එකිනෙක පටලැවී ඇති සංකීර්ණ විලාසය නිසා කියලයි මට හිතෙන්නේ . ඉතිහාසෙට බොහොම ආස මටත් මෙහෙම නම් ඕක පේන්න බැරි සඳරු මලය ගැන හෙම කවර කතාද .
හද ගී පොතේ තිස්ස කියල තිබුන තමන්ට යමක් හොඳටම තේරුනා නම් මිත්තනියට පැහැදිලි කරන්න හැකි වෙන්න ඕන කියල .
මෙතනදී මගේ ඉලක්කය සඳරු වගේ අයට තේරෙන විදියට ලිවිම .
සේද මාවත සරලවම කිව්වොත් මධ්‍යධරණී කලාපයේ විශේෂයෙන් රෝමයේ සිට චීනය දක්වා ගිය මාර්ගය . චීනය සහ බටහිර ලෝකය අතර සම්බන්ධය ඇති කල පාර . වැඩේ ලේසි වෙන්න මෙන්න සිතියමක්. මේ සිතියමේ පේනවද චීනයෙන් බටහිරට වෙන්න ඇති රටවල් ටික .




කවුරුත් දන්නා පරිදි චීනය ලෝකෙට නව නිපැයුම් රැසක් ලබාදුන්නා .  , වෙඩි බෙහෙත් ,කඩදාසි ,මුද්‍රණ කර්මාන්තය , කාන්දම් මාලිමාව , මල්වෙඩි .තේ .තව මහා ගොඩක්  . මොනව හරි හොයාගත්තේ කව්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැත්නම් බය නැතුව චීනය කියන්න . බොහෝ විට හරියනවා.
ඉතින් මුලින්ම සිල්ක් සොයා ගත්තේ චීනය . ඒ ගැනත් රසවත් කතා තියෙනවා .
කලෙක චීන අධිරාජයා වුන Huang Ti [ කහ අධිරාජයා ] ගේ දේවිය Lei Tsu තමයි මුලින්ම සිල්ක් [සේද ] සොයා ගත්තේ . දිනක් ඇය උද්‍යානයේ තේ බොමින් ඉදිද්දී උණු තේ කෝප්පෙට පණු කෝෂයක් [cocoon ] වැටිලා . සමනලයාගේ ජිවන චක්‍රය දන්නා ඕනකෙනෙක් කෝෂය දන්නවා .
උණුවතුරෙන් තැම්බිලා මේ කෝෂය වටේ ඇති නුල් දිලිසුනාලු. මේ නුල් දිග ඇරලා රෙදි විවීමේ අදහස මේ බිසවට ඇති වුනාලු.
ඒ තමයි පටපණු කෝෂයෙන් සේද නිපදවීමේ කතාව .
ඉතින් චීනයේ සේද වලට
 යුරෝපයේදී සහ මධ්‍යධරණී කලාපයේ ඉහල ඉල්ලුමක්  ඇති වෙලා . විශේෂයෙන් රෝම අධිරාජයේ . කොහොමද මේ සේද මිලට ගන්නේ . මොකෝ  දැන් වගේ ඉන්ටර්නෙට් එකෙන් ඉල්ලුම් කරලා ගේ දොරකඩට ගෙනත් දෙන කාලයක් නෙමේ  ඒක


ඒත් එක්කම චිනේටත් ඕන වුනා බටහිර සමග සම්බන්ධකම් ඇති කරගන්න . ඒ වගේම විවිධ දේවල් මිලදී ගන්න . විශේෂයෙන් අශ්වයන් . දැන් ඇෆ්ගනිස්ථාන් තියෙන පැත්තෙන් හොඳ අශ්වයෝ මිලදී ගන්න එක චීනයට ඉතාම වැදගත්  වුනා . තව බටහිරත් එක්ක තානාපති සබඳකම් ගැනත් චීනය උනන්දු වුනා .
ඔය කොයිකටත් තිබ්බ විශාල බාධකය හරි හමන්පාරක් නැති එක . පාරක් තියෙන්න විදිහකුත් නැහැ . චීනෙට ඇතුල් වෙන්න නම් ඇති බිහිසුණු ''ටක්ලමකාන් '' කාන්තාරය පසු කල යුතුම වුනා .


මොකක්ද මේ ටක්ලමකාන් කාන්තාරය .

ලෝකයේ විශාලම කාන්තාර අතරින් එකක් . ඒ වගේම ලෝකයේ ඇති දුෂ්කරම පරිසර තත්වයන් ගෙන් එකක් . වත්මන් චීනයේ වයඹ පැත්තට වෙන්න විහිදිලා තියෙන්නේ . වැඩි විස්තර කැමති අයට ලින්ක් එකෙන් යන්න පුළුවන් .
කෙම් බිම් ඉතාම අල්පයි . වැඩිහරියක් වැලි කඳු . ගිම්හානයේදී අංශක 40 ක් [සෙල්සියස් ] විතර 50 ක් වෙනවා බොහෝ විට . රැය සීතලයි සෙල්සියස් අංශක 20 ට අඩුයි .  ''ටක්ලමකාන් '' කියන එකේ තේරුම '' ඔබට එහි යාහැකියි . නමුත් එලියට ආ නොහැකියි '' .
නමින්ම තේරෙනවනේ අමාරුව.
ඒත් මේ කාන්තාරය තරණය කරන්න තරම් දිරිමත් මිනිස්සු හිටිය . කතර මැද ඇති කෙම් බිම් කීපය හරහා අතුරු මාවත් කීපයකින් චීනය සහ බටහිර ලෝකය සම්බන්ධ වුනා . මේ පාරෙන් ගෙන ගියේ සේද විතරක් නොවේ. දකුණින් විශේෂයෙන් ඉන්දියාවෙන් මැණික් , ඇත් දල චීනෙට ගියා . බටහිරින් අශ්වයින් රට ඉඳි විදුරු භාණ්ඩ සහ නොයෙකුත් දේ චීනෙට ගියා .



ඒ එක්කම සංස්කෘතීන් මිශ්‍ර වුනා . ආගම් මිශ්‍ර වුනා . විශේෂයෙන් බුද්ධාගම ඉන්දියාව පැත්තෙන් චිනේටත් බටහිර සහ මධ්‍යම ආසියාවටත් යාමට මුලිකම හේතුව මේ මාර්ගය . ඉන් පසු ක්‍රිස්තියානි ආගම බටහිර පැත්තෙන් ආසියාව දෙසට පැතිරුනා .
විශේෂම දේ තමයි ඒ කාලේ මේ පාරට සේද මාවත කියා කිවේ නැහැ . 19 වන සියවසේ ජර්මන් ජාතිකයෙක් තමයි මේ නම දැම්මේ .

අදට මදැයි. වැඩියම ලිව්වොත් එපා වෙයි. කාට හරි විශේෂ තැන තියෙනවා නම් අහන්න පුළුවන් . ඊළඟ පොස්ට් ඒකට දාන්න .
ලකී සහෝදරයා සොයා දීපු යු ටියුබ් ලින්ක් එක මෙන්න . හරිම ලස්සනයි . එකතැන ඉඳන් බලන්න වෙලා නැති එක තමයි ප්‍රශ්නේ . අපිට මෙව්වා පෙන්නද්දී අගයක් නැති හැටි.

ගල්මල් අඩවියේ ඩීන් අය්යා විශේෂයෙන් විස්තර ටිකක් එව්වා . ලංකාව මේකට සම්බන්ධ වෙන හැටි . ඉදිරි ලිපියකදී කතා කරමු .



විශේෂම ප්‍රශ්නයක් ඇර මේ ලිපි පෙලේදී එක එක කමෙන්ට් වලට පිළිතුරු දෙන්න ඉඩකඩ මදි නිසා ඒ ගැන නම් සමාවෙන්න ඕන . කමෙන්ට් එකක් දැම්මම වචනයක් හරි නොකීම හරියට ගෙදරට ආපු මනුස්සයට තේ එකක් නොදී ඇරිය වගේ . මේක ඉවර වුනාම කේක් කාල තේ බොමු . කමක් නැහැනේ


විස්තර නම් අන්තර්ජාලයෙන් තමයි . හැබැයි කියෙව්ව තරමට ලින්ක් ටික මතක නැහැ . අන්තිමට සේරම එකතු කරලා දාන්නම්


No comments:

Post a Comment