Sunday, October 16, 2011

නෙළුම් විල

නෙළුම් විල


සේද මාවත 3 .... පර්සියාවේ සිට කනිෂ්ක රජු දක්වා ....

Posted: 15 Oct 2011 11:27 AM PDT

සේද මාවතේ පළමු කොටස
                 දෙවන කොටස



සේද මාවත මුලින් ගොඩබිම් මාර්ගයක් පමණි . පසු කලෙක එක් වූ මුහුදු මාර්ගයද ඇතුළුව කොටස් තුනකි  .

1. උතුරු ගොඩබිම් මග


2. දකුණු ගොඩබිම් මග

3. මුහුදු මග


ගොඩබිම් මගෙහි මුලික අරමුණ ටක්ලමකාන් කාන්තාරය තරණය කර චීනයට ඇතුල් වීමත් චීනයෙන් පිටවීමත් කියල හිතන්න පුළුවන් .

සරලව ගත්තොත් මේ කාන්තාරයට බටහිර පැත්ත ඉරානය [ පුරාන පර්සියාව ]සහ ඒ අවට රටවල් . එයිනුත් ඔබ්බට මධ්‍යධරණී ප්‍රදේශය [ රෝමය සහ අවට ප්‍රදේශය ]. යුරෝපයද මේ බටහිර කොටසටයි අයිති වුනේ .

කාන්තාරයට නැගෙනහිරින් චීනය . බටහිරයි නැගෙනහිරයි දෙවිදියකට දියුණු වුනා .
සේද මාවතේ බටහිර අන්තය ඉක්මනින් දියුණු වුනා . ඒ බටහිර පැත්තේ ප්‍රබල අධිරාජ්‍යයන් ඇති වීම වගේම නැගෙනහිර පැත්තට වඩා පහසු භූගෝලීය සැකැස්ම නිසා .

ඒ කාලයේ පර්සියන් අධිරාජ්‍ය මැද පෙරදිග විශාල කොටසක් අල්ලාගෙන හිටියා . දකුණින් ඉන්දියන් රාජධානිය දක්වාම විහිදුනා . ඉන්දියන් රාජධානියත් එක්ක වෙළඳ ගනු දෙනු සිදුවුනා . එකල ඇති වුනමාර්ගය සේද මාවතේ කොටසක් වර්ධනය කළා . මෙය ප්‍රධාන මාවතේ හරස් පාරක් කියන්න පුළුවන් . මෙම ප්‍රදේශය නුතන පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අයිති කලාපය .

හැබැයි මහා ඇලෙක්සැන්ඩර් ක්‍රිස්තු පුරවා 325 දී පමණ පර්සියන් [ ඉරාන ] අධිරාජ්‍ය යටත් කරගත්තා . මේ ප්‍රදේශයේ ග්‍රීක් සංස්කෘතිය පැතිර ගියා . තියෙන සාක්කි අනුව මහා ඇලෙක්සැන්ඩර් ගේ හමුදාවල අයගෙන් පවත එන අය දැනට උතුරු පකිස්ථානයේ Hunza නිම්නයේ ඉන්නවා.

පාර්තියන්[Parthiyan ]  අධිරාජ්‍ය විසින් මේ ප්‍රදේශය ග්‍රිකයින්ගෙන් අල්ල ගන්නවා . පාර්තියන් කියන්නේ ඊසාන දිග ඉරානයෙන් බිහිවෙලා ඉරානය ,ඉරාකය , ආර්මේනියාව , තුර්කියේ කොටසක් , ජෝර්ජියාව, අසර්බයිජානය , ටර්ක්මෙනිස්ථානය , ටජිකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සහ කෙටිකලකට පකිස්ථානයද අයිති  වෙච්ච අධිරාජ්‍යයක් .

මේ කාලේදී උතුරු ටක්ලමකාන් පැත්තෙන් පලවා හැරපු Yuezhi ජනතාව උත්තර ඉන්දියාව වාසභූමිය කරගත්ත . ඔවුන් පසුකලෙක ඉහත කිව්ව ප්‍රදේශයට සංක්‍රමණය වෙලා කුෂාන් අධිරාජ්‍ය පිහිටුවනවා . ඒ සමග තමයි ඔවුන් ඉන්දියාවෙන් ගෙනා බුදුදහම ප්‍රදේශයේ ස්ථාපිත වෙන්නේ .
කනිෂ්ක රජතුමා ගැන කට්ටිය අහල ඇති . බුදුදහම මහායාන හීනයාන විදියට බෙදෙන්නේ ඔහුගේ කාලේදී . මේ ගැන මට වඩා දන්නා කෙනෙක් විස්තර කරයි කියල බලාපොරොත්තු වෙනවා .


මෙතනදී තමයි සංස්කෘතීන් කීපයක් මිශ්‍රණයෙන් අපුරු සංකලනයක් මැවෙන්නේ . පර්සියන් [මැදපෙරදිග පැත්තේ ] ...ග්‍රීක [ මධ්‍යධරණී පැත්තේ ] ....උතුරු චීනයෙන් ආපු මිනිස්සුන්ගේ සහ අපි දන්නා ඉන්දියන් සංස්කෘතියේ මිශ්‍රණය කොයිතරම් අපුරුද.

ග්‍රීක අභාෂයෙන් මේ කුෂාන් රාජධානියේදී තමයි බුදු හිමියන්ගේ පිළිරූ වලට මිනිස් ස්වරුපයක් ලැබෙන්නේ . මම වැරදි නම් නිවැරදි කරන්න . මේ කාරණා ගැන අන්තර්ජාලය මතම විශ්වාසය තබන්න මන් අකමැතියි .

සේද මාවත කියන්නේ මන් සලකුණු විතරක් කියල ඉවර කරන්න බැරි කතාවක් .

. මේක අති විශාල සංස්කෘතීන් මිශ්‍ර වෙච්ච කතන්දර ගොඩක් . සේද මාවතේ මේ හරස් පාර වැටුන ප්‍රදේශයේ කතාව සංකීර්ණයි . ඒත් ලස්සනයි .


සේද මාවත ගැන ලියද්දි මේ අතුරු කතා ලිවිම ගැන අමනාප නොවෙනු ඇතැයි සිතනවා .පාන්දර එකත් වෙලා . මන් තාම ටක්ලමකාන් කාන්තාරෙට ඇතුල් වෙන්නේ නැතුව අහල පහල රස්තියාදු වෙනවා .
පරණ පුරුදු රටාවේ ලිපි නැතුව බලාපොරොත්තු කඩ කරන් යන අය සමාවෙන්න . මේ වැටිච්ච වලෙන් ගොඩ එන්නත් එපාය  මන් . අතරමග නවත්වන්නත් බැහැනේ . එක පාරට ලියන්න වෙන්නෙත් ටිකයි . මේ ටික ලියන්නත් ගොඩක් කියවල මමම තේරුම් අරන් සැක අර දැනගෙනනේ ලියන්නේ . කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා වගේ තමයි .

අදට ඇති ..මතු සම්බන්ධයි

No comments:

Post a Comment