Thursday, October 20, 2011

නෙළුම් විල

නෙළුම් විල


සේද මාවතේ මුතු ඇටය

Posted: 19 Oct 2011 08:24 PM PDT

කලින් ලිපියේ කතාකල විදියට චීනයේ Han යුගයේ සේද මාවත දියුණු වෙච්ච ආකාරය . හෑන් වරුන්ට පස්සේ මේ මාර්ගයන්ට සැලකිය යුතු මෙහෙයක් වෙන්නේ Tang යුගයේදී . හත්වන සියවසේදී Xuan Zhuang නමැති සංචාරකයා ටක්ලමකාන් කතරේ උතුරු පැත්තෙන් ගිහින් ඉන්දියාවට පැමිණෙනවා . බෞද්ධ ලේඛනයන් රැගෙන ආපසු චීනෙට යන්නේ දකුණු දිග කරාකොරම් හරහා වැටුන පාරෙන්.
ඔහු මග දිගට සංස්කෘතීන් සහ බුදුදහමේ ස්වරූපය හොඳින් අධ්‍යනය කළා . ඔහු චීනයේ බෞද්ධ ප්‍රබෝධයේ නියමුවෙක් ලෙසයි සැලකෙන්නේ . මේ යුගයේදී සේද මාවතේ ඇරඹුම වෙච්ච Changan ඉතාම දියුණු වුනා . ඒ වගේම විවිධ දිශාවෙන් ආපු වෙළෙන්දන් වගේම වෙනත් අයත් විශේෂයෙන් මිෂනාරි වරු සහ සැඟවුන චීනය ගැන කුතුහලයෙන් යුතු උදවිය Changan වල බහුල වුනා . චීනුන් මොවුන් දෙස ''බාබේරියන් ''නැත්නම් ම්ලේච්ඡ අය ලෙස බැලු බවයි සඳහන් . කොහොමටත් ඔටු තවලම් වලින් කාන්තාර වල මාස ගණන් යන්න මට සිලිටු අය ඉදිරිපත් වෙන්න නැතුව ඇති . මොවුන් තුර්කි ඉරාන වගේ බටහිර අය සහ නැගෙනහිරින් කොරියන් ජපන් වැනි ජනයාගෙන්  සමන්විත වුනා .
මන් බලපු කොරියන් වැඩ සටහනක තිබුනා චීනයේ මුස්ලිම් වරුන් ගැන . ඒ කාලේ ආපු අය වෙන්න ඇති .

Tan යුගයෙන් පස්සේ සේද මාවත ට විවිධාකාර බලපෑම් ඇති වුණා. එකක් චීනය දේශපාලනිකව අස්ථාවර වුණා . උතුරු ප්‍රදේශ වලින් ආයෙමත් ආක්‍රමණ ඇති වුණා . ඒ නිසා සේද මාවතේ ගමන් ගන්නන්ට ආරක්ෂාව අඩු වුණා .

අනික් හේතුව ඔය කාලේ වෙද්දී මධ්‍යම ආසියාව මුස්ලිම් වෙන්න පටන් අරන් . කුරුස යුද්ධය  ගැන අහල ඇතිනේ . දැනටත් ඔය මැදපෙරදිග , ඉරානය , ඉරාකය සහ '' ස්තාන් '' කියල අවසන් වෙන රටවල් බොහොමයක් මුස්ලිම් . මුස්ලිම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි අතර තිබ්බ ගැටුම් නිසා බටහිර පැත්තෙන් ආපු අයට මේ පළාත් තරණය කරන්න අපහසු වුණා . බොහෝ විට වුනේ මුස්ලිම් වරු අතරමැදි වෙළෙන්දන් විදියට කටයුතු කරපු එක . අදටත් මතයක් තියෙනවනේ මුස්ලිම් වරු ව්‍යාපාර වලට දක්ෂයි කියලා .
කොහොමින් හරි මේ නිසා චීනයත් බටහිරත් අතර යම් කිසි වෙන්වීමක් වුණා වගේ ආයිමත් . හැබැයි ඔය කාලෙටත් කලින් ඒ කියන්නේ Han වරුන්ගේ කාලේ වෙද්දීත් [ ක්‍රි. ව. 1 වෙනි සියවස කාලේදී පවා ] චීනය ත් මධ්‍යධරණී කලාපයත් මුහුදින් සම්බන්ධ වුණා .
විශේෂම සිද්ධිය වෙන්නේ මන් මේ ඉන්න හැනොයි වලට පහලින් තමයි ඒ මාර්ගය පටන් අරන් තියෙන්නේ . එය මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාව සහ ලංකාව හරහා වැටිලා තියෙන්නේ . පුදුමයක් නැහැ නේද මේ යුගයේදී ලංකාව සෞභාග්‍යමත් දේශයක් වීම ගැන . පොළොන්නරු යුගය පටන් ගත්තේ 7 වන සියවසේ විතර ඉඳන් නේද . මේ ගැන නම් කියවල ලියන්න මට වෙලාව මදි. අනික ලංකා ඉතිහාසය ගැන මට වඩා ලියන්න හැකි අයත් ඉන්න නිසා මන් මෙතන ඒ ගැන කියන්නේ නැහැ . හැබැයි මේ අනගි සම්බන්ධය ගැන මට හරිම සතුටුයි . වියට්නාමයත් ලංකාවත් අතර සම්බන්ධය ඈතට විහිදෙන නිසා .
වියට්නාමෙට බුදුදහම ආපු හැටි ගැන ගැන දැන් හිතා ගන්න පුළුවන්නේ . කෙලින්ම ලංකාවෙන් සහ උඩහ පැත්තෙන් චීන ආභාෂයෙන් වෙන්න ඇති . තව ඒ ගැන සොයන්න ඕන .
ඉතින් ගොඩබිම් මාර්ගයන් ටිකක් අඩුවෙන් පාවිච්චි වෙද්දී විකල්පයක් ලෙස පහලින් සමුද්‍ර මාර්ගය දියුණු වෙන්න පටන් ගත්තා . හරියටම සේද මාවත කියන මුහුදු මාර්ගය ඇරඹුණේ චීනයේ Guangzhou වලින් .
සමුද්‍ර සේද මාවත ....
මේක තේරුම් ගන්න නම් ලෝක සිතියම ගැන පොඩි අවබෝදයක් ඕනෑමයි . මට පොඩි කාලේ ඉඳන් තිබ්බ පිස්සුවක් තමයි සිතියම් පොත බලන එක . අන්තර්ජාලය නැති කාලේ මන් ලෝකේ පුරා ගියේ සිතියම් පොතේ නැගල . ස්කුල් බස් එකේදී අපි නිතර කරන සෙල්ලමක් තමයි සිතියම් පොතේ එක එක දේවල් සොයන එක . වෙන සෙල්ලමුත් කළා . ගල් සියඹලා කාල ඇට විසිකරන  එක වගේ .
ඔන්න ඔය නිසා මට නම් ලෝක සිතියම බොහෝ දුරට කට පාඩම් . මන් වගේ පිස්සෝ නොවෙන අය ට උඩ තියෙන සිතියම උදව් වෙයි මේක තේරුම් ගන්න ,.
දකුණු චීනයේ Guangzhou වලින් පටන් ගෙන වියට්නාමය පැත්තෙන් පහලට ඇවිත් තාය්ලන්තය , මලයාව [ ඒ කාලේ සිංගප්පුරුව කියල රටක් තිබ්බේ නැහැ . නුතන මැලේසියාවයි, සිංගප්පුරුවයි එකට ගත්තම කලාපයම හැඳින්නුවේ මලයාව කියල ] එතනින් මලක්කා සමුද්‍ර සන්ධියත් පහුකරලා බුරුමය ඉන්දියාව , ශ්‍රී ලංකාව ඔස්සේ ගොස් අරාබි  මුහුදට සම්බන්ධ වුණා . . තව පිලිපීන දුපත් සමුහයත් මෙයට එක්කහු වුණා .
අරාබි මුහුදින්  ගිහින් ඒඩන් වරාය හරහා ඊජිප්තුව ටත් අනික් පැත්තෙන් පර්සියන් බොක්ක හරහා ඉරානය අවට ප්‍රදේශය සම්බන්ධ කළා . පහලින් අප්‍රිකන් මහද්වීපයේ සෝමාලියාවේ ඉඳන් එන මාර්ගය ඒඩන් වලදී මේකට සම්බන්ධ වුණා .
සිතියමේ කහ පාටින් තියෙන්නේ ගොඩබිම ඉඳන් වරායන්ට සම්බන්ධ වුන මාර්ගයන් .
මට නිකන් හිතෙනවා ලංකාව මේ සේද මාවත කියන මාලයේ පෙන්ඩන්ට් එකක් වගේ කියල . පෙරදිග මුතු ඇටය කියල කියපු එකේ වරදක් නැහැ .
යුරෝපය සේද මාවතට සම්බන්ධ වුනේ මධ්‍යධරණී මුහුද පැත්තෙන් ඊජිප්තුව හරහා . නැත්නම් අප්‍රිකානු මහාද්වීපය වටේටම යන්න ඕන . පහු කලෙක ''සුවස් ඇළ'' නිසා රතු මුහුදයි මධ්‍යධරණී මුහුදයි යාවුනා .ඒ 19 වන සියවසේ ඒගැන ලින්ක් එකෙන් කියවන්න නොදන්නවා නම් .
 සේද මාවතේ අපේ රට ගැන ලස්සන ලිපියක් ගල් මල් අඩවියේ තිබුන . ඔහු ඒ ලිපියෙන් ඕනෑම දෙයක් ගන්න කියන්න තරම් පරිත්‍යාගශීලි වුනත් මන් හිතන්නේ එක ඒ හැටියෙන්ම කියවන එක වඩා සාධාරණයි කියල . මෙතනින් යන්න ඉකිබිඳියි ඔරලෝසු කුළුණ.
 මගේ වැටහීමේ හැටියට ගාලු වරාය සේද මාවතට සම්බන්ධ වෙන්නේ පසු කලෙක . උතුරු පැත්තෙන් තමයි මුල් පාර වැටිලා තියෙන්නේ . ඒ ගැන නම් මට සොයා ගන්න බැරි වුණා . ලංකා ඉතිහාස පොත් ආයේ පෙරලන්න වෙනවා . අවාසනාවට මට කිසිම පොතක් සොයා ගන්න බැහැ. ඇවිදින පුස්තකාලෙකින් හරි පොත් ගුලෙන් හරි ණයට ගන්නයි වෙන්නේ .හරියට නොබලා බොරු ලියවෙයි මන් ඕව ලියන්න ගියොත් . ඔලුවත් නැති කරගන්න වැඩ ඕවා .
මන් කල්පනා කළා නිකමට ඔය කාලේ අපේ රටවල් කොයිතරම් දියුණු වෙලා තියෙන්න ඇත්ද . සේද මාවතේ තිබ්බ ඉසුරුමත් රටවල් වල අද තත්වේ මොකක්ද . කොයි හොඳ දේත් නරක පැත්තක් තියෙනවා නේ . සේද මාවත හරහා හොඳ වගේම නරකත් අපට ලැබුනා . පහු කලෙක ආක්‍රමණ වලටත් මුල ඕක තමයි.
ඊ ළඟ කොටසින් මාර්කෝ පොලෝ සහ මොන්ගෝලියාව ගැනයි සේද මාවතේ අද තත්වය ගැනයි කියල මේ ලිපි පෙළ නවත්වන්නැයි මගේ අදහස . මෙයට සම්බන්ධ අතුරු කතන්දර විටින් විට ගෙන එන්නත් හිතන් ඉන්නවා කියවන්න ඉඩ ලැබෙන විදියට .
ප.ලි.
කාලය සොයා ගන්නේ කොහොමදැයි කවිකාරි අක්කයි , පොඩ්ඩි නගයි අහල තිබුන . මහ රෑ තමයි . ඊයේ සටහන හදල අද උදේ ලිව්වේ . බනී වේලාසන නිදා ගත්තම පොඩි බෝනස් කාලයක් ලැබෙනවා . තව ඔය සමහර අයට රාත්‍රී භෝජන හෙම තිබුනම ටිකක් වෙලාව තියෙනවා . අනික ඔය රෙදි ගොඩවල් දිහා හෙම බලන්නේ නැතුව ඉන්නත් පුළුවන් මට . ගානට නුලට ගෙදර වැඩ කරන යහපත් ගෘහනියක් නම් නෙමේ . පිළිවෙලට වැඩ ඕන කියල කරදරයකුත් නැහැ ගෘහමුලිකයගෙන් .


චීනයට ගොහින් හැබැහින්ම දැකල ලියන කවිකාරි අක්කගේ බ්ලොග් එකේ චිනේ ගැන අලුත් ලිපියක් පලවෙලා . පින්තුරත් එක්ක

No comments:

Post a Comment