Sunday, March 18, 2012

නෙළුම් විල

නෙළුම් විල


මල් සුවඳ අපි සැමටයි

Posted: 18 Mar 2012 02:28 AM PDT

 
 
 
 
මන් අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න ගත්තේ අකුරු කියවන්න ගත්තු දා ඉඳලමයි . මුද්‍රණ අංශයේ රැකියාවක් කල තාත්තට හුඟක් පොත්වල කොපියක් ලැබුන . සේරම වගේ නවකතා . ලාච්චු කීපයක් පුරවල තිබුන නවකතා කියවන්න අපිට තහනමක් තිබුනේ නැහැ . ඒ වගේම අපේ චිත්‍ර කර්මාන්තෙටත් ඒ නවකතා වලින් ලැබුන පිටිවහල මෙතෙකැයි කියන්න බැහැ. මොකද කියනවා නම් ඒ පොත්වල කවර ඇතුලේ වගේම පිටුවල අකුරු නැති සුදු දාර වල අපි හිතු හැටියට චිත්‍ර ඇන්ද. චිත්‍ර කලාවට නම් අඟුරුයි බිත්තියි ඊටත් වඩා උදව් කළා . ඒ ගැන වෙනම දවසක ලියන්න ඕන . මගේ කියවීම ගැන නම් ''බුරතිනෝ සහ ලි බෝනික්කයි '' මගේ ආදරවන්තයෝ '' කියන ලිපි දෙකේ කියවෙනවානේ .
 
මන් දැන් කල්පනා කරන්නේ මන් ලියන්න ගත්තේ කවදද කියලයි . පැහැදිලිවම මගේ ජිවිතේ යමක් නිර්මාණාත්මකව ලියල අගය කිරීමක් ලැබුනේ කවදද කියල . ඒක මට විශාල මතකයක් . එතකොට මන් හතරේ පන්තියේ . ''නොපෙනී ගිය සරුංගලය '' කියල මන් ලිව්ව රචනාව සිංහල උගන්නපු ඉන්ද්‍රානි ගුරුමහත්මිය විදුහපතිනියටත් පෙන්වල එතනින් නොනැවතී වර්ෂාවසාන තෑගී උළෙලේදී හොඳම නිර්මාණාත්මක ශිෂ්‍යාව කියල විශේෂ ත්‍යාගයකුත් ලබාදුන්නා . ආපසු හැරිලා බලද්දී එදා ඒ හැටි අගයක් නොදැක්කට ඒ සිදුවීම අද මට රත්තරන් වගේ .
එදා මුල් ගුරුතුමිය වුනේ එදිරිසිංහ ගුරු මාතාව . සතිස්චන්ද්‍ර එදිරිසිංහ , සුනිල් එදිරිසිංහ කියන කළා ලොව ප්‍රවීණයන්ගේ සහෝදරිය .
පහේ ශිෂ්‍යත්වෙන් පස්සේ කොළඹ බාලිකාවට එද්දී ''විශේෂ නිර්මාණාත්මක හැකියාවක් ඇත '' කියල අස්වීම් සහතිකේ ලියල දීපු වචන ටික එදා මට එච්චර වටිනාකමක් තිබුනද මන්ද . ඒත් අද ඒ වචන ටික මුතු මැණික් වගේ දැනෙනවා .
ඊට පස්සේ මන් ලියන්න පටන් ගත්ත . පිළිවෙලකට නෙමේ . පාසල් බස් එකේ කොන්දොස්තර මාමා ටිකට් රෝල අයින් කරනවා ඉවර වෙන්න කිට්ටු වෙනකොට . ඕක ඉල්ලා ගන්න මන් හැමදාම බලන් ඉන්නවා . ඒ ටිකට් රෝල් වල පොඩි පොඩි කවි ලිව්ව . කියවීමත් එක්කම ලිවීමත් වැඩි වුනා .
 
ඉස්කෝලෙට වඩා අපි සාහිත්‍ය රසය දැන ගත්තේ දහම් පාසලෙන් . ගැහැණු පාසල්වලටම ගිය මට හරි හරියට පිරිමි ළමයි එක්ක ආශ්‍රයක් ලැබුනේ දහම් පාසලින් තමයි . ඔය සමහර ළමයි දැන් බ්ලොග් හෙමත් ලියනවා . දහම් දැනුම තරඟ එක්කම ච්ත්‍ර තරග රචනා තරඟ වලට සහභාගී වෙන එක අපිට ලොකු විනෝදයක් වුණා .
 
ඔන්න ඔය කාලේ රට එච්චර ලස්සන වුනේ නැහැ . කියන්න ඕන නැහැනේ ඒ ගැන අලුතින් . එතකොට ලියවුනේ ආවේගශීලි දේවල් .[ හරියට නන්දා මාලිනීගේ සින්දු වගේ තමයි . එයයීත් දැන් කියන්නේ නැහැනේ ඒ වගේ සින්දු . ]
 
ඉස්කෝලේ කළා උළෙලවල් වලදී නොවැරදීම රචනා කෙටි කතා චිත්‍ර තුනටම මට තෑගී ලැබුන . අද නම් කට්ටිය හිතයි දාර නයි අත අරිනවා කියල . ඔව් ඔව් මෙව්වා නයි තමයි . හපා කයිම කියල හිතෙනවා නම් කකුල් උඩට ගත්තට කමක් නැහැ ඔන්න .
 
කේරී විද්‍යාලයේ සාහිත්‍ය දින තරගෙන් හොඳම කෙටි කතාවට තේරුනා මතකයි . ඔන්න ඔය කළා උළෙලට යන්න ගිය කතාවත් හරිම රසවත් . මේ අපි ටිකක් ලොකු කෙල්ලෝ කාලේ . ඔය කළා උළෙලවල් විද්‍යා දිනවල් හෙම සොයා සොයා යන කාලේ . ඉතින් පිරිමි ළමයින්ගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ආවහම යන්න කට්ටිය වැඩියි . හැබැයි ගුරුවරියක් එක්ක තමයි යන්න ඕනේ . ගුරුවරියක් සොයා ගන්න එක හරිම අමාරුයි . නොවඳිනා වැඳුම් වැඳලා තමයි කැමති කර ගන්නේ . ඒ ඉස්කෝලේ පැත්තට යන ගුරුවරියක් තමයි බොහෝ විට කැමති වෙන්නේ . අපේ පිස්සු වැඩ වලට එච්චර තරහ නොයන කොටින්ම කිව්වොත් ''ෆිට් '' ගුරුතුමියක් වෙන්නත් ඕනේ . නැත්නම් ඉතින් වසල හමාරයිනේ.
 
ඔන්න දැන් මට සහතිකයකුත් තියෙන එකේ අමාරුවෙන් චිත්‍ර ගුරුතුමිව අඬගහගෙන යන්න පිටත් වුණා කියමුකෝ . දැන් හොඳටම පරක්කු වෙලා . බස් වල යන්න වෙලාවක් නැහැ . කට්ටියම නැග්ග ත්‍රි විල් එකකට . මහත, කෙට්ටු කෙල්ලෝ හතරයි ටිචයි ඔක්කොම පහයි . මගදී පොලිස් මාමෙක් නැවැත්තුව . එයාටත් ටිකිරි හිනාවක් දාල කොහොම හරි ගමන ගියා .
ඔය එක එක දිනවල් වලට ගිය හැටි නම් පොතක් ලියන්න හැකි . එව්වා පසු දවසක .
 
මන් මේ ලිවිම ගැනනේ කියමින් උන්නේ . ඔයාකාරෙට ඉස්කෝලේ කාලේ තරග වලට ලිව දේවල් ඇරුනම පොත් වල අන්තිම පිටුවේ නැත්නම් යාලුවන්ගේ සමරු පොත්වල වගේ තැන්වල සුළු සුළු කවි කුරුටු ගෑවා මිසක හරි හමන් නිර්මාණයක් කළ බවක් මතක නැහැ . කම්මැලි කමද මොකක්ද මන්ද එක දිගට ගලන් යන කතාවක් වගේ දෙයක් ලියන්න නම් මට කවදාවත් බැරි වුණා .
 
ඉස්කෝලෙන් අස් වෙන කාලේදී සැහෙන යාලුවෝ පිරිසක් හිටියා විවිධ ක්ෂේත්‍ර වල . සමහරු ඉතාම නිර්මාණශීලි දේවල් ලියු අය. විකල්ප පත්තර කළ අයත් හිටියා . ඔය කාලේ වෙද්දී වෙන බැල්මකුත් වැටිලා රස්සාවලුත් කරන්න පටන් ගත් නිසා ජිවිතේ වෙනස් වුණා . ඉන් පසු ඇරඹෙන්නේ රස්තියාදු සමය. ඒවා ආයේ මොකට මේවයේ ලියනවද . විදුසරට ලිපියක් දෙකක් පරිවර්තනය කළ එක සහ විකල්ප පත්තරේකට කවියක් දෙකක් ලිව්ව  එක විතරයි සැලකිය යුතු යමක් වුනේ .
 
ඔය කාලේ වෙද්දී ආදර ලියුම් ලියන්න පටාන් ගෙන  තිබුනේ . ඉතින් එහෙම පටාන් ගත්තට පස්සේ වෙන එව්වා ලියවෙන්නේ නැහැනේ .
 
විටින් විට සේවා පුහුණු කාලේ සඟරාවලට සහ සේවා ස්ථානයේ අවශ්‍යතා  වලට කවි වගේ එව්වා ලියවුනා . පවුල් වෙලා ළමයි ලැබිලා පෑන දාපු තැනක් වත් සොයා ගන්න නැති වෙනකම් මන් වත් දන්නේ නැහැ .
 
වියට්නාමෙටත් ඇවිත් අවුරුදු ගානක් ගියා . නිවාඩුවට ගියහම අපේ සේවාස්ථානයේ කලාරිට වුන සමන් අය්යා ගේ තදබල දෝෂ දර්ශනයට ලක් වුණා . දිනපොතක් වත් ලියන්නේ නැත්තේ මොකදැයි .
 
ඔන්න ඔය අතරේ අපේ බනිලයි තාත්තා සයිබර් අවකාශයේ කරක් ගහද්දි සිංහල බ්ලොග් ඇති බව දැක්ක . මමත් කියවන්න පටන් ගත්තා . මාස කීපෙකට පස්සේ අතපත ගාල බ්ලොග් එකකුත් පටන් ගත්තා . [ඒ වෙනකොට අඳුන ගත්ත සයිබර් හිතවතුන්ගේ අපමණ උදව් මැද ...මේ උදව් විවිධාකාරයි . තාක්ෂණික සහය , ප්‍රචාරණය  වගේම කියවල කමෙන්ට් දැමීම . ඒ විතරක් නෙමේ මන් ඩිංගක් පටන් ගත්තම රසබර සංවාදයක් දක්වා ලිපිය වර්ධනය කිරීම .]
 
නම් වශයෙන් කියන්න යන්නේ නැහැ .මොකද නමක් අතෑරුනොත් කියල බය නිසා .
 
ඉතින් අද මේ පත නයි පිඹුරෝ බ්ලොග් එක පුරාම අතෑරියේ ඇයි  කියන්න එපාය . අද මට හරිම සතුටු දවසක් නිසයි . ''අසෙනිය කුසුම '' තරඟාවලියේ හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය තෝරා ගැනීමේදී නෙළුම් විලත් යෝජනා වෙලා .
 
පහේ පන්තියේදී අර තෑග්ග ලැබෙද්දී දැනුනට වඩා අද සතුටුයි . එදා ජිවිතේ එහෙම පිටින්ම මා ඉස්සරහ තිබුන . ඒත් අද ජිවිතේ භාගයක්ම වගේ ගෙවිල ඉවරයි . ඉඳහිටල මන් මගෙන්ම අහනව මන් සතුටින්ද , ජීවිතය ගැන තෘප්තිමත්ද කියල ...ඔව් මන් සතුටින් .
 
විහිලුවට වගේ තරඟෙට ඉදිරිපත් වුනේ . මෙතැන ලැබීම ලොකුම සතුටක් . අන්තිමට දිනන්න ඕන නැහැ . මේ සතුට මට හොඳටම ඇති . මන් හිතුවේ නැහැ මට කවදාවත් ආයේ මෙහෙම දෙයක් ලැබෙයි කියල . ජිවිතේ පුදුමයි . හැම දවසක්ම අලුත් .
 
එදාට නව රඟහලට යන්න ලැබෙන්නේ නැහැ .[ඔය ඉස්කෝලේ එක්කත් ඉතින් ලෙහන්න බැරි මතක ගොඩක් තියෙනවා .]
 
දිනපොතක්වත් ලියන්න බලකරපු සමන් අය්යාට හැකි නම් යන්න කියන්න ඕන . එයාගේ ඉස්කෝලෙත් වෙච්ච එකේ පුත්තරයත් එකේ ඉගෙන ගන්න එකේ බැහැ කියන එකක් නැහැ .
 
එච්චර ලස්සන දවසක් මග ඇරෙන එක දුකක් . ඒත් එහෙම තමයි . ලද දෙයින් සතුටු වීමයි මගේ ප්‍රතිපත්තිය .
ඉතින් ..
 
කාටද මන් ස්තුති කරන්න ඕන ..
 
කවදත් වගේ මුල්ම අකුර කියා දුන් අම්මට ..ගෙදර පොත් ගොඩ ගහපු තාත්තට ..අරක මේක කියවන්න එපයි තහංචි නොදැම්මට දෙන්නටම . මගේ ලිවීමේ යමක් කියවන්නට ඇතැයි අඳුන ගත් මගේ ගුරුවරුන්ට , පුංචි සහ ලොකු කළ මිතුරු මිතුරියන්ට ,
 
රෙදි ගොඩවල් අතන මෙතැන
පොත් පත් එහෙ මෙහෙ විසිවුන
ඇහැක් ඇරල එව්ව නොබල
අකුරු කොටන බිරින්දෑට
මුකුත් නොකිය ..
ලිව්ව අකුරු කියවන්නට
බලන් ඉන්න .. මගෙ ආදර'''බනියලාගේ  තාත්තාට ''
 
යන්තම් පොඩ්ඩක් ලිව්වම
අනුපානෙට කරුණු සොයල
ලොකු ලොකු කාරනා ලියපු
හඳ කමිටුවෙ මාමලාට ...නැන්දලාට
 
ලියපු ඒව කියව කියව
නිකන් නොඉඳ
රස වෑහෙන කමෙන්ට් දමපු
මගෙ ආදර යාළුවන්ට
 
විලට ඇවිත් මල් නෙලනා
සියල්ලන්ට
 
 
..ස්තුතියි ..
 
 
 
ඒකයි මන් කිව්වේ මේ විල  මගෙ විතරක් නෙමේ .විලට නිතර ගොඩ වෙන සැමටම මේ සතුට ඇතැයි මන් දන්නවා
 
 ඒ වගේම අපි කවි ලියන්න සහ ඒ කවි විවේචනය කරන්න පටන් ගත් කවි මුතු  සහ පොඩ්ඩන්ට පටන් ගත් පුන්චිත්තා ත් හැකි ලෙස පවත්වාගෙන යමු .
 
 
ප. ලි
දවස් කිපෙක ඉඳන් මන් හිනා වෙන්න ඕන වුනහම යන තැනක් තියෙනවා . ''සුර්ය දිවය රාජයා විසින් නිමවෙන ලද අනගි සම්භාව්‍ය කෘතියක් කරණකොටගෙන අපගේ ලි බෝනික්කා හෙවත් බුරාභිධාන කෙළෙඹි පුත් [ රවී අය්යේ හරිද මන් ලිව්ව ] ඇතුළුව සහිත්‍යම්බරයෙහි දිදුලන ''නිරීක්ෂක '' තෙම අතර ඇතිව තිබෙන්න වූ අති භයංකාර..උත්කෘෂ්ට විචාර ශීලි ....විවාදය ''