Thursday, March 22, 2012

නෙළුම් විල

නෙළුම් විල


මධුර ප්‍රේම කල්පනා යනු කුමක්ද ?

Posted: 21 Mar 2012 10:16 PM PDT



ප්‍රේමය යනු කුමක්ද ..ළමයින් මේ ගැන දන්නේ මොනවාද . ප්‍රේමය ගැන කියවෙන ගී පොඩි වුන් ඇසුවාට කමක් නැද්ද . ප්‍රේමය සම්බන්ධ වූ චිත්‍රපට ටෙලි නාට්‍ය පොඩි වුන් බැලුවාට කමක් නැද්ද . හැම දෙමාපියෙක්ම දවසක මේ ප්‍රශ්නයට මුණ දෙනවා . අපි පොඩි කාලේ වුනේ කොහොමද කියල හිතා බලද්දී අපේ අම්මලට මේවා එච්චර ප්‍රශ්නයක් වුනේ  නැහැ කියල හිතෙනවා . රුපවාහිනිය බහුල නැහැ . අන්තර්ජාලය ...පිස්සු කතාකරන්න එපා .

එකම ප්‍රශ්නෙකට තිබුනේ නවකතා සහ චිත්‍රකතා . අපේ වාසනාවට ඕන දෙයක් කියෙව්වට කමක් නැහැ කියන අදහස අපේ ගෙවල්වල තිබුන . හැබැයි චිත්‍ර කතා පත්තර ගෙදරට ගෙනාවේ නැහැ . කොහේදී හරි බැලුවට තහනමකුත් නැහැ. අනික පොඩි පොඩි මාමල නැන්දලා බාප්පල ගොඩක් හිටිය නිසා ඕව වලකන එකත් නිෂ්පල ව්‍යායාමයක් කියල අම්මලට තේරෙන්න ඇති .

ඔය හන්ද කැරලි කොණ්ඩයක් තිබුන ''කැලුම් '' සහ ''වලාකුලක් වගේ කෙස් කළඹක් තිබුන '''දේදුනු '' අතර තිබ්බ ප්‍රේම පලහිලව්ව මන් හිතන්නේ මන් දැන ගත්තේ දෙකේ තුනේ පන්ති වලදී .[  ඒක කියවල නැති අර ටෙලිය බලපු අයගේ හිතේ ඇත්තේ ඒ නළුවයි නිළියයි ] ප්‍රතිපත්තියක් විදිහට කියවපු පොතක හරි කතාවක හරි චිත්‍රපට මන් බලල තියෙන්නේ හරිම අඩුවෙන් .

බලපුවත් මගේ චිත්ත රූප විනාශ කරන්න සමත් වුනේ නැහැ . චිත්‍රපට කීපයක් බැලුව වුනත් ටෙලි නම් බලන්නෙම නැහැ .

 අර ඉස්සර හදපු ෆිල්ම් අලුතින් ටෙලි කරපුව ..එව්වා දිහා නම් හොරෙන්වත් බලන්නේ නැහැ . ''ගැහැණු '' ළමයි කියවල හදන් උන්න චිත්ත රූප වලට සමකරන්න සුමිත්‍රා පිරිස් ටත් බැරි වුන එකේ [ සිනමාව තුල ඇති සිමා මායිම් තුල ] වෙළඳ දැන්වීම් කියල නම් නොකර ටෙලි නාට්‍ය කියල වැරදි නමක් පාවිච්චි කරන රූප පෙට්ටිය ඇතුලේ ...මන් නම් අහුවෙයි ඕවට .

මෙලෝ රහක් නැති ''ගඟ අද්දර '' ලස්සන සිනමා සිත්තමක් කල එකට නම් මෙතනදී සුමිත්‍රා මැතිනියට ස්තුති කරනවා හදවතින්ම . ඒකෙත් ටෙලියක් තිබුන කියල දැක්ක . නොබැලුවෙමි


ඉතින් මන් දන්නේ අර පරණ දේදුනු සහ කැලුම් විතරයි . ඊට අමතරව දයා රාජපක්ෂගේ චිත්‍රකතාවල තිබුන ටිකක් ග්‍රාමය බස් වහරත් මට මතකයි . ගජ මෑන් ගේ දෙපිට කැපෙන විහිලු වුනත් රස වින්ද . ඔන්න ඔය හින්ද ''අම්මේ අර වචනේ මොකක්ද .. ඒකෙ තේරුම මොකක්ද '' කියල ප්‍රශ්න අහල අම්මලාව අමාරුවේ දාන්න අපිට අවශ්‍ය තාවයක් තිබුනේ නැහැ . එහෙම මෝඩ ප්‍රශ්නයක් දෙකක් ඇහුව නම් සමහර විට ඔව්ව කියවන එක තහනම් වෙන්නත් ඉඩ තිබුන .
එහෙව් මගේ ළමයි දැන් ලොකු වෙන නිසා මන් අද මේවා හිතන්න පෙළඹිලා . අපේ ලොක්කි හරිම සිරු මාරුවට ඔය කොයිකත් තේරුම් අරගෙන සද්ද නොකර ඉන්න ජාතියේ . ''ටයිටැනික්'' බලද්දී අර කාරෙකේ දර්ශනය යන්න ඔන්න මෙන්න වෙන නාලිකාවකට මාරු කරලා ටිකකින් ආපසු චිත්‍රපටයට මාරු වුන වෙලා වේ මන් හරිම සතුටු වුනා .
අද ළමයින්ට අපිට වඩා ලෝකය විවර වෙලා . ඕනෑම ළමා කාටුන් එකක බල්ලෝ පුසෝ ..විතරක් නෙමේ කාර් රොබෝලා ගැන තියෙන කතා වලත් අදරේ ගැවිලා. ඉතින් හංගන්න දෙයක් නැහැ . සින්ඩරෙල්ල , ස්ලිපින්ග් බියුටි ගේ ඉඳන් එකී නොකී හැම එකක්ම ඉවර වෙන්නේ සිප ගැනීමකින් . අපේ උන් ඒ වෙලාවට ඇස් වහගන්නවා . නිකන්ම බලන් උන්න නම් දන්නේ නැහැ කිව්වැකි . ඇස් වහගන්නේ මෙයාල මෙව්වා දන්නා නිසානේ . දෙය්යන්ගේ පිහිටයි මගෙන් ඔව්වා අහන්නේ නම් නැහැ .
ඒත් අපි බලන හැමදේම බලන්න නම් ඉඩ දෙන්න තවම මන් ලෑස්ති නැහැ . ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැති නිසා . කොච්චර ගහගත්තත් ''ජැක් ස්පැරෝ'' මහත්තය ඉන්න පයිරේට් කතා ටික නම් පවුලම බැලුව .


මේ කොයිකත් ඉරක් ගහල වෙන් කරන්න බැහැ කියලයි මන් හිතන්නේ . හැබැයි තම තම පවුලට ගැලපෙන විදිහට තමන්ගේ ක්‍රමයක් හදා ගැනීමයි වැදගත් . මට  ටිකක් අනුන්ගේ උපදෙස් කියවන්න බැරි ගතියක් තියෙනවා ඔය ළමයි හදාගැනීම වගේ විෂයන්ට . මගේ තක්කඩි කම වෙන්න ඇති . මටම හරියන ක්‍රමයක් හදාගන්න ඕන කියන මතයේ මන් ඉන්නේ . උපදෙස් අහන වෙලාවලුත් නැත්තේ නැහැ . ඉස්සරහට ඕන වෙන්නත් ඉඩ තියෙනවා ..හැබැයි ගොඩක් සම්මතයන්ට යටත් වුනොත් අවුල් වෙන බවයි මගේ හැඟීම . උදාහරනෙකට පිරිමි ළමයි ඉන්න පවුල වලට අපේ  රුපවාහිනී ප්‍රතිපත්තිය නොගැලපෙන්න පුළුවන් . ළමයිත් එක එක්කෙනාට වෙනස් . සමහරු පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රශ්න අහනවා . සමහරු හොරෙන් දැනගෙන සද්ද නොකර ඉන්නවා .


මාත් අලිම අමාරුවේ වැටුන වෙලාවල් තියෙනවා ඔය සම්බන්ධව . එකක් භාෂා ප්‍රශ්නය නිසා .දන්නවනේ අපේ පොඩ්ඩෝ යන්නේ බෑන් කි මුන් මහතාගේ එක්සත් ජාතීන්ගේ පාසලට කියල .
මේ ඉස්කෝලේ ටිකක් විශේෂ එකක් කියල මන් කලිනුත් කිව්වා නේ . කොයි ක්‍රමේ හොඳද  නරකද  මන්දා .

අපි අපේ බසින් කිව්වොත් සෑහෙන කට්ටක් කාල ඉගෙන ගත්ත අපේ අධ්‍යාපනය නරකයි කියන්නත් බැහැ. අපේ අධ්‍යාපනයයි මේ අධ්‍යාපනයයි අතර මන් දකින ලොකුම වෙනස තමයි අපේ ක්‍රමේ දක්ෂයෝ ටික පෙනේරෙන් හලලා අරන් රොඩු ටික විසිවෙන එක .

ඒ පෙනෙරේ හිල් හරිම කුඩා එකයි තියෙන ප්‍රශ්නේ . මේ ක්‍රමේ තියෙන හොඳේ තමයි හැමෝටම හැමදේම උත්සාහ කරලා බලන්න අවස්ථාවක් ලැබෙන එක . උදාහරනෙකට අපේ ලොක්කි මේ දවස්වල ''චෙලෝ'' කියන මහා තඩි සංගීත උපකරණය ඉගෙන ගන්නවා . දවස් දෙකක් බැරි අමාරුවෙන් ඕක උස්සන් යනවා . ඒක ළමයට වඩා උසයි කොටින්ම . හැබැයි මන් දන්නේ නැහැ එයා කවද හරි ඉදිරියට ඕක වාදනය කරයිද කියල . ඒත් ඒක උත්සාහ කරලා බලන්න එයාට අවස්ථාවක් ලැබිල තියෙනවා .
ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා .

හැබැයි තරඟයක් නැහැ . මේ තරඟයක් නැතිකම දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ . හැබැයි ළමයි සතුටින් . ඒක තමයි අන්තිමට අපෙත් සතුට .

අපේ පොඩි දෝනි සිංහල වලට කලින් ඉංග්‍රීසි තමයි ඉගෙනගත්තේ . දැන් නම් බොහොම උනන්දුවෙන් සිංහල ඉගෙන ගන්නවා . හැබැයි ගෙදරදී විතරයි සිංහල ඇහෙන්නේ . හැනොයි වල ලාංකිකයෝ කීප දෙනයි ඉන්නේ . ඒ ටිකත් එක්කහු වෙන්නේ නිදහස් දවසටයි වෙසක් දවසටයි විතරයි . මුල් කාලේ අපි වෙසක් ඒකට බණ අහපු හැටි පොස්ට් එකකුත් ලිව්වා .

ඉතින් මේ ළමයින්ට සිංහල භාවිතා කරන්න තියෙන්නේ හරිම පොඩි පරාසයක් විතරයි . ලොකු සිංහල ජනගහනයක් ඉන්න ඔස්ට්‍රේලියාව වගේ රටවල් මිට වෙනස් . අනික් අතට බැලුවම මෙයාල භාෂා සෑහෙන ගණනක් ටික ටික දන්නවා . කොටින්ම බනියා හිබ්රු බසත් ටිකක් දන්නවා . ඒ එයාගේ ඊශ්‍රායල් යෙහෙළිය නිසා . මව් බස උගන්නන දාට මට යන්න බැරි වුනහම ඔය වෙන අම්මෙක් ළඟ ට හේත්තු වෙනවා . හිබ්රු ..තුර්කි ..පෝලිෂ්..වගේ අපිට හුරුම නැති බසවල් එයාලට ඇහෙනවා .

කොරියන් ජපන් වියට්නාම රුසියන් එකී මෙකි නොකී භාෂාවලින් කතාකරන ළමයි ඉන්න ඉස්කෝලෙක ඉගෙනීමේ සතුට ඒකයි.

කෑම බිමත් එහෙමයි . මන් ලඟදි කල්පනා කළා රොටි ගැන . හැම රටේම වගේ රොටි වර්ගයක් තියෙනවා . අපේ අසල්වැසියාගේ රටේ චපාති ..නාන්..පුරි දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේදී ටෝටිලාස් ..මධ්‍යධරණී පැත්තේදී පිසා..අපේ ඉතින් පොල් රොටිය . ඒකත් හරිම විශේෂයි බලන් ගියහම .

ඉතියෝපියාවේදීත් රොටි වර්ගයක් තමයි එයාලගේ ප්‍රධාන ආහාරය . මේ රොටි වර්ග වගේම ආප්ප වගේ මදක් පැසෙන්නට ඇරලා සාදන රොටි වර්ගත් හැම තැනම තියෙනවා . තෝසේ ඒ වගේ එකක් . ප්‍රන්ශේ ප්‍රකට Crepe කියන පෑන් කේක් එකත් ඒවගේ .

වියට්නාමේත් තියෙනවා අපේ ආප්ප වගේම කෑමක්. හැබැයි ඉතින් මැද්දට මස් මාංස .සහ තව දේවල් පුරවල හදන්නේ . මෙහෙ තියෙන සමහර කෑම හොඳයි . ටි ජිත් ඉල්ලලා තිබුන සහල් පිටි කෑම ගැන ලියන්න කියල .

වැඩේ ඉතින් මේ සහල් ටිකක් ඇලෙන සුළුයි . අපේ සහල් පිටි වලින් මේවා හදන්න බැහැ .ඒ නිසා ලියන්න වෙන සහ කියවන්න වෙන මහන්සිය අපරාදේ . මුන් ඇට වලින් හදන කෑම වුනත් ටිකක් ප්‍රයෝගික නැහැ . රසම රස මුන් ඇට කේක් වුනත් පොඩ්ඩක් ඌරු තෙල් මිශ්‍ර කරනවලු .


කතාව කෑම දිහාට ඇදිල ගියාට පටන් ගත්තේ අපේ ළමයින්ගේ සිංහල දැනුම ගැනනේ. මුලින් ඉංග්‍රීසි ඉගෙන ගෙන පස්සේ සිංහල ඉගෙන ගැනීමේදී වෙන හාස්‍යජනක සිදුවීම් අනන්තයි අපේ දිහා . එකක් තමයි උක්තය .කර්මය අඛ්‍යාතය අනුපිළිවෙලින් සිංහල වලදී එන්නේ . ඉංග්‍රිසියේදී ඕකේ වෙනස් .
මම බත් කෑවා = I ate rice

දෙවනුව සිංහල උගෙන ගනිද්දී ''මම කෑවා බත් '' .

අද බොහෝ දේ අමතක වුනත් එකල මව් බස මගේ ප්‍රියතම සහ පහසුම විෂයක් වුනා . කොටින්ම වතුර වගේ . ඒත් භාවිතයේ නැතිකොට ඒක ඉගෙන ගන්න ලමයෙක් ට කොච්චර අමාරුද කියල අද තේරෙනවා .



මේ පාර ගෙදර ගිය වෙලාවේ නන්දා මාලිනියගේ නෑසෙන ගී තැටිය ගෙනාව . දවසක ඔය තැටිය වාදනය වෙමින් තිබුන . අපේ දෙන්නත් ගෙදර .

මන් එයාලගේ සිංහල දැනුම අවතක්සේරු කරලා ඔහේ මගේ වැඩ කරන හිටිය .

එයාලත් එයාලගේ වැඩ .

සින්දු හයක් විතර ගියාට පස්සේ පටන් ගත්ත '' මධුර ප්‍රේම කල්පනා '' ගීතය .


පොඩි - ''අම්මේ මොකක්ද මධුර ප්‍රේම කල්පනා කියන්නේ ''


අක්ක - '' අහන්න එපා නංගි. මන් හිතන්නේ ඕකේ සම්බන්ධයක් තියෙනවා ආදරේට ''


මේ දෙබස වුනේ ඉංග්‍රීසියෙන් .මන් හීන් සැරේ තැටිය අරන් තිබ්බ .

ආයේ දවසක ලංකාවට ගිහින් ආපු අලුතම .

පොඩි - අම්මේ මන් දන්නවා MY GOD කියල සිංහලෙන් කියන්න විදි තුනක් තියෙනවා .


1. බුදු අම්මෝ
2. ජංජාලයයි
3. අම්මට සිරි
.

අපේ බනිලගේ තාත්ත උදේට ගෙදරින් යනකොට ''අපි ගියා '' කියන පුරුද්දක් තියෙනව . බනි නිතරම මතක් කරනවා ''අපි ගියා නෙමේ මන් යනවා කියන්න '' කියල .


ඔව්වට හිනා වෙලා මන් උගත් පාඩම තමයි '' ළමයින්ගේ දැනුම අවතක්සේරු නොකරනු '' කියල .


මේවා කියද්දී මට තව ලස්සන සිදුවීම් ගොඩක්  මතක් වුනා .


1.අපේ ලොකු දු යන්තම් බැහැ තෝරන කාලේ  කාරෙක යට පුස් පැටියෙක් මැරිලා හිටියා . අපි ඉතින් එයාගේ පුංචි හිත රිදවන්නේ නැතුව පුස් පැටිය නිදි කියල එයාට හොරෙන් අයින් කරලා දැම්ම .
හවස ලොකු ආච්චි ආවා . 
ලොක්කි -'' ආච්චි හරි වැඩේ . අද කාරෙක යට පුසෙක් මැරිලා හිටිය ''


2.මෙයාලගේ සියා පන්ති වගයක් කළා ඒ කාලේ . ලියුමක් පරිගණකයෙන් හදා ගන්න හන්දියට යන්න ලෑස්ති වෙලා
සියා ..දුවේ මන් යනවා මේ ලියුම හදන් එන්න
ලොක්කි ..- ඇයි සියේ ලියුම කැඩිලද??



3. ලොක්කි තමයි තාත්තගේ පැත්තේ පළවෙනි ළමය . ඒවෙනකොට අපේ නෑනා විවාහ වෙලා හෙම නැහැ . ඉතින් ඉස්සරහ වැඩ කටයුතු ගැන හිතල අපේ නැන්දම්මා ගේ දොර හෙම වැඩිය කිලිටි වෙනවට කැමති වුනේ නැහැ . හැබැයි යන්තම් හිටගන්න පුළුවන් වෙද්දීම අපේ කෙලී ගත්ත පාට කුරු අතට .


නැන්දම්මාට තරු පෙනුනේ බිත්ති පුරා සිගිරියටත් වඩා හොඳට බිතු සිතුවම් මතු වෙද්දී . ඒක තැනක් අතුල්ලලා සෝදාලා මකනකොට මෙන්න තව බිත්ති දෙකක් විතර ඉවරයි . ළමයාගේ තාත්තයි අම්මයි ළමයාගේ චිත්‍ර හැකියාව ගැන පුදුම ආඩම්බරයකින් ඉන්නවා දැක්කම ලේලි ගැන මාර ආදරයක් ඇති වෙන්න ඇති හිතේ . අම්ම අඟුරු වලින් බිත්ති වලයි තව අතට අහුවෙන පොත් පත්තර තිර වල චිත්‍ර කලාව ප්‍රගුණ කල එකේ දුවට එපා කියයිද .


නැන්දම්මට තව තරහ යන්න ඇත්තේ ළමයාගේ තාත්ත බිත්තියට බෝල ගහල ක්‍රිකට් පුරුදු වෙනවා . ක්‍රිකට් කිව්වට ඒක ඉතින් ස්කොෂ් වගේ . බෝල වල මඩ පාරවල් බිත්තිය ගන්න දෙයක් නැහැ ,. මෙන්න ඒ මදිවට කෙල්ල බිත්තිය වනසනව .


ළමයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා . බලාගන්න ගෑනු ළමයත් අපේ ලොක්කිටම හරියනවා . අපි ඉන්න වෙලාවට නැන්දම්මා මොකුත් කියන්නෙත් නැහැ . ඉතින් අපිටත් ඕක එච්චර ගානක් නැහැ .
දවසක් කොලේක ලොක්කි ඇන්ද ලොකු මුණක් . ඇස් දෙකෙන් කඳුළු බෝල දෙකක් කඩන් වැටෙනවා ඇන්ද ඒ මුණේ.
අපි ඇහුව ඇයි මේ බබා අඬන්නේ කියල


ලොක්කි - '' ඒ බබා අඬන්නේ එයාගේ ආච්චි බැනල , බිත්තියේ චිත්‍ර ඇන්ද කියල ''
මදැයි කළා .ආච්චිගේ මුණ ඒ වෙලාවේ පින්තුරයක් අරන් තියන්න බැරි වුනානේ .


මන් හිතන්නේ ආච්චිත් ඉගෙන ගන්න ඇති ''ළමයින් අවතක්සේරු නොකළ යුතුයි කියල ''[ මේ සිද්ධිය මන් චිත්‍රාට ඉර ඇබින්දක් ලිපියේ කමෙන්ට් එකක් විදිහට දැම්ම කියල දැන් මතක් වුනා . ඔන්න ඔහේ කෑමක් නැහැ ]


ගෙවල් අවුල් වෙන එක වැඩිය ගණන් ගන්න එපා කියල තමයි මන් ඔය ''අලුතින් තාත්තල ''අම්මල වෙච්ච  අයටත් කියන්න තියෙන්නේ . ''ලස්සන ගෙයක්ද බුද්ධිමත් ළමයෙක්ද '' හිටපු විදුහල් පතිනියක් කල කතාව මගේ හිතේ හැමදාම තියෙනවා . අනික මොකට ඔය හැටි අස්පස් කරලා තියා ගන්නවද . මේ


ගෙවල් අස්පස් කිරීම ගැන මන් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නේ . ඒක ලිව්ව දාට ස්වාමි පුරුෂයෝ තම බිරින්දෑ වරුන්ට මේ පැත්තේ එන එක තහනම් කරන නිසා බ්ලොග් ලියවිල්ල එපා වෙන දාකට ඒක ලියන්නයි  හිතන් ඉන්නේ .

බනිලගේ ඉස්කෝලේ සිද්ධි ගොඩක් තියෙනව බෙදා ගන්න . ඒ සමහර දේවල් අපිටත් කල හැකි දේවල් . හොඳ දේ කාගෙන් වුනත් මොකද . ඒවා හොඳ නම් . ඉඩ ඇති විදිහට ඒවා ලියන්න බලාපොරොත්තු වෙනවා .එහි අරමුණ ඉංග්‍රීසිය කරමත තබා ගැනීමවත් අපේ දේවල් අවතක්සේරු කිරීමවත් නෙමේ . ලස්සන දෙයක් බෙදා ගැනීමත් අපිට හැකි නම් ඒවා අපේ අධ්‍යාපනයට එක් කර ගැනීම හොඳ දැයි සිතීමට ත් පමණයි .
  .


අදට බනිගේ මගේ කතා එපමණයි . අසා සිටි සැමට ස්තුතියි .


මේ ස්තුතියි ගැනත් අපේ ලොක්කි ලඟදි හරි කතාවක් කිව්වා . අපේ රටේ අය එච්චර සිරිත් දන්නේ නැහැ නේද කියල . මොකෝ ඇහුවම එයා කියනව ස්තුතියි කියනව ආයුබෝවන් කියනවා  එයාට වැඩිය ඇහිලා නැහැලු . ඇයි දෙය්යනේ අපි කට පුරා ''තෑන්ක් යු '' කියන්නේ . මේ ළමයට හිතෙන එව්වා
අනික මන් කිව්වා මෙලෝ තේරුමක් නැතුව සුද්දා හව් ආ යු කියනව .  මෙලෝ හොඳක් නැති මුස්පේන්තු දවසක වුනත් I am fine කියල උත්තර දෙනවා .


අපිත් එහෙමමයි ''කොහෙද යන්නේ ..'' අහනවා පෙනී පෙනී
''මේ ලඟට යනවා '' වැඩි හිතවත් නම් යන ගමන පැත්තක තියල රටේ නැති වල්පල් කතා කරනවා . කොයිකත් එකයි. ඒ ඒ රටේ ඒ  ඒ විදිහට . මන් නම් ඔය කොයිකත් හොඳයි කියල තමයි හිතන්නේ හිනා පොදක් නැති පැතලි මුණක් දකිනවට වඩා .


පොරොන්දු කීපයක් තියෙනවා වෙච්ච .එයින් එකක් ඉටු කරන්න ලැබෙන ආකාරයේ පොඩි ගමනක් යන්න ලැබෙනවා හෙට අනිද්දට . සතියක වසන්ත නිවාඩුව හින්ද . හැබැයි මේ නිවාඩු බෑන් කි මුන් මහත්තයගේ ඉස්කෝලේ විතරයි . ඒකට සල්ලි ගෙවන තාත්තලාගේ රාජකාරි තැන එහෙම නිවාඩු තියා සති අන්තෙත් ගෙදර ඉන්න බැරි තත්වයක් තියෙන්නේ . ඒ හන්දා ගමනක් යන්න දවස් දෙකක් තුනක් ගැට ගහගන්නේ හරිම අමාරුවෙන්. ගමන ගිහින් ඇවිත් බුරතිනෝ [ බුරභිධාන ] ට කාලෙකට පෙර වුන පොරොන්දුවක් ඉටු කරන්න හිතන් ඉන්නවා . වැඩි විස්තර දැන් කිව්වොත් අගයක් නැහැ ලඟදි හරි හමන් ලිපියක් ලියවුනේ නැහැයි මන් වගේම තව කීප දෙනෙක් හිතන් බවත් මන් දන්නවා . පසුගිය දවස්වල වෙන කොහේ හරි යයිද කියන වගේ වැට උඩ තත්වයක් තිබුනා . බරපතල දෙයක් ලියන්න හිතක් සහ වෙලාවකුත් නැති වුනා . ඉදිරියට හොඳ දවස් ටිකක් එයි යයි හිතනවා .


වසන්තය ආයෙත් ඇවිත් . මල් ගොඩක් පිපෙනකම් ඉන්නේ පින්තුරත් අරන් පෝස්ට් එකක් දාන්න . පසුගිය වසන්තයේ ලියුව ලිපිය කියවන්න කැමති නම් ඒ වෙනකම්

ප ලි.
අසෙනිය කුසුමෙන් හොඳම බ්ලොග් එකට සම්මානය අරන් නිකන් ඉන්නේ නැතුව පුසටයි මටයි නොදී හොඳම පුද්ගලික බ්ලොග් අඩවියේ සම්මානෙත් අරන් ගියපු සඳරු මලයට මගෙයි බනිලගේ තාත්තගෙයි උණුසුම් සුබ පැතුම් . හිටින්කෝ තව ඉතිහාස පාඩම් ටිකක් කියා දෙනවා තරහටත් එක්ක .[ මලය දන්නවනේ මේ විහිලුවට කියල ] සිංහල බ්ලොග් නොකියවන මිතුරියන්ටත් මන් ඔබ ගැන කිව්වා . ඒ අයත් හිස් අහසට ඇබ්බැහි වෙයි .

 picture from