Wednesday, May 02, 2012

නෙළුම් විල

නෙළුම් විල


වියට්නාම ඇමරිකන් සටන 1...චීනයෙන් රට ගලවා ගත් සුර වීර Trung සහෝදරියෝ

Posted: 01 May 2012 07:43 PM PDT

ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .

 දිය මකර රජුගේ ළමයි  කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .

 මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .

මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .

මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]

චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි


.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ .  ක්‍රි වර්ෂ  39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .

මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .


මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .

 චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].


ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .

 43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .