Wednesday, June 05, 2013

නෙළුම් විල

නෙළුම් විල


ගෙම්බෝ

Posted: 04 Jun 2013 08:14 PM PDT


විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි . පෙඳ පාසි වැවී කොළ පැහැති වූ එවැන්නක් අප නිවාස අසලත් තියෙනව . රාත්‍රියට කවුළු පියන් පත් හැරිය කල ගෙම්බන්ගේ ගේ හඬ තැලුම අපට එතරම් අරුමයක් නොවේ.

වෙසෙසින් වැසි කලට අතොරක් නැතුව ගෙම්බන්ගේ හඬ ඇසෙයි . වැසි කාලෙට පෙරම ගෙම්බන් දෙවියන්ට වැස්ස දෙන්නයි කියා හඬන්නට පටන් ගන්නා බව මෙරට වාසීන්ගේ මතය . කොහොමත් කඩපිල් වල ගෙඹි දෙවිවරු හට පුද පුජා කොට අල්තාරයක් තැබීමත් සුලබයි .
තෙත් කලාපයේ විසු අප කුඩා කල නිතරම ගෙතුළ ගෙම්බෙක් දෙන්නෙක් පදිංචියට පැමිණීම අරුමයක් වුනේ නැහැ . උන්ගෙන් ඒ හැටි කරදරයක් නැති මුත් උන් පසුපස සර්පයින් එයි කියා සැක කල බැවින් ගෙඹී අමුත්තන්ට එතරම් පිළිගැනීමක් ලැබුනේ නැහැ .

පොල්කටු දෙකකින් අල්ලා ගෙන ඈතකට ගෙන ගොස් දැමීම තමා අපේ රාජකාරිය . වැඩකට ඇත්ද ..පසුදා එම මුල්ලෙන්ම ''ක්රෝක් '' කියා අපට සවුත්තුව දමයි .

උසස්පෙළ හදාරන වයසේ ළමයෙක් සිටි ගෙදරක් නම් ගෙඹි හාමිලාට දෙවි පිහිටය . වාසනාවට හෝ අවාසනාවට මට උවමනා කාලයේ එක ගෙම්බෙක් වත් පාසලට ගෙන යාමට නොහැකි විය .
අපේ මිතුරියක් දිනක් ගෙඹි ඇටකටු ගන්නට සිතා ගෙම්බෙක් තම්බා නිවෙනකම් බලා ඉද්දි කපුටෙක් එය ඩැහැ ගෙන ගිය බව කිවේ ඉතාම දුකින් .
අනේ ඒ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පරලොව සැපත් සුවහසක් ගෙඹි කැරපොතු පරපුරට මගේ කණගාටුව .

එයින් පසු මට සැලකිය යුතු ගෙම්බෙකු හමුවන්නේ මගේ ලොකු දියණිය ඉපදී මාස කීපයකට පසුව
ඌ නිකන්ම ගෙම්බෙකු නොවේ. ඇට ගෙම්බෙකි . බිත්ති කබඩ් උඩින් තිබු කොන්ක්‍රීට් ලෑල්ල අනවසරයෙන් අල්ලා ගත් මේ ඇට ගෙම්බා කාලයක් ගෙදර හොඳ නාටකයක් වුනා . [මේ ලෑල්ල වරින් වර එක එක සත්ව වර්ගයාගේ පදිංචියට සින්න වුවත් එතන තිබුනේ පොත් සහ පත්තර . ඒ කාමරේ හිමියා පොත් ගුල්ලෙක් වූ අතර කැන්දන් ආ මනාලිය එයිට දෙවෙනි වුනේ නැහැනේ .]

ගෙදර පිරිස ගෙම්බන්ට බය සහ බය නැති ලෙස දෙකට බෙදුනා . බය නැති අය කොසු ඉලපත් රැගෙන සටනට බට අතර අනික් පිල පුටු මේස උඩට නැග සටනට අවශ්‍ය උපදෙස් සැපයුවා . කොළඹ සිට යුද්ධය මෙහෙයවූ අය මෙන් .
ඇට ගෙම්බා වැටුනොත් ළමයා කෙට්ටු වේ යයි කියමින් ඌ පසුපස පැන්නුවේ රාණි . අපේ ගෙදර උදව්වට පැමිණි නානා ප්‍රකාර චරිත අතර රාණි විනෝදකාමී කෙනෙක්. ඒ අය ගැන වෙලාවක ලියන්න ඕන [ අතට පයට දැසි දස්සන් උවමනා නිසා නොවේ ඔවුන් ගෙන ආවේ . මා එකල රැකියාවක් කල නිසා පොඩි එකා බලා ගැනීමට . අනෙක් අතට ඔවුන්ට අප හොඳින් සැළකු බවත් වේලාසනින්ම කියන්න වෙනවා . ]

ඒ කතා පසුවට ..දැනට ගෙම්බන් .
කෙසේ හෝ ඌටම එපා වී ගෙම්බා දිනක අප අත්හැර ගිහින් තිබුණ

එයින් පසු මේ පොකුණේ බක බක ගාන [ මුන් බක බක ගාන්නේ නැති බවත් '' ක්රෝක් '' ගැන බවත් අපේ කෙල්ලන් මට කිවා ]. ගෙම්බන් හමුවන තුරු සැලකිය යුතු ගෙම්බෙක් හමු වුනේ නැහැ .
යාන්තමට අටවා ගත් බ්ලොග් එකට නෙළුම්විල කියා නම තැබීමත් අහම්බයක් . ඉඳහිට විලට ගෙම්බෙක් දෙන්නෙක් පැන්නාට එතරම් හානියක් වුනේ නැහැ .


මෙය මහා ලොකු විලක් නම් නොවේ . සයිබරය කියන අපමණ විල් ඇති නගරයක කුඩා පොකුණක් පමණයි . ඉඳහිට වැව අද්දර ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන වගේම ලෝකය ගැන රසවත් ඕපාදුප කතා වෙනවා තමයි. දැන් එච්චරකට සාර නැති වුනත් මේ ඉතින් අපේ සතුට . මගේ දියණියන් දෙදෙනාගේ ළදරු පින්තුර දෙස බලා සතුටු වෙනවා සේම ඉඳහිට අපේ රසවත් කතා බහ නැවත කියවා සතුටු වෙන්නේ .

එදවස නිදහසේ අනෙක් අඩවි වල අදහස් පල කලත් අද ඒ නිදහස නැතුවා වගේ දැනෙන නිසා ..කොටින්ම බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න බැරි ගතියක් දැනෙන නිසා ඇතැම් විට මා නිහඬව සිටියත් කාලෙකට පසු ලොකු සතුටක් ලැබූ මේ බ්ලොග් අඩවියට මා ඉතාම ආදරෙයි තවමත් .

ඇතැම් විට ගෙදර වැඩකටයතු දහසක් තියෙද්දී මේ ලියන්නේ ඒ ආසාව නිසා . පාරේ යන ගමන් ගල් ගසා විල බොර කරන්නට සමහරෙක්ට සිතෙන්නේ ඇයිදැයි මට නොතේරෙන නමුත් ඉතාම ආදරයෙන් ඉල්ලනවා අනෙක් සහෝදර බ්ලොග් කරුවන් ගැන මඩ විලට ගෙන එන්න එපා කියා .

එමෙන්ම මගේ නම අනෙක් අයට අපහාස කරන්නට යොදා ගන්න එපා කියා .

කමෙන්ට් මොඩරේට් නොකර තබන්න මට ඉඩ දෙන්න . එවිටයි කතාවන් රසවත් වන්නේ .

 පින්තුරය