Monday, April 23, 2012

නෙළුම් විල

නෙළුම් විල


ගම සහ අවුරුදු මතක

Posted: 22 Apr 2012 10:38 AM PDT

අවුරුද්දට ගමේ යන්න තමයි අපේ පරම පැතුම වුනේ . ගෙදර ගිනි මොලවන්න ඕන කියල අම්මගේ තදබල විරෝදය හින්ද කලාතුරකින් අවුරුදුවල ගමේ ගියේ නැකත් වලින් පස්සේ . ඒ ඇරුනම අනික් හැම පාරම නැකත් වලට කලින් ගමේ ගියා . ඇඹිලිපිටිය බස් එකේ ගියොත් කහවත්තෙන්ම බහින්න පුළුවන් . රත්නපුරේ බස් එකේ ගියොත් තව බස් එකකට මාරු වෙන්න වෙනවා .වීදුරුවක් ළඟ සිට එකක් ලැබෙනවා කියන්නේ සුපිරි වාසනාවක් . අවිස්සාවේල්ල කිට්ටු වෙද්දී කඳු පේන්න පටන් ගන්න කොට මට හරිම සතුටුයි. පාරේ ඒ පැත්තට මේ පැත්තට මාරු වේවි යන පුංචි කෝච්චි පාර දිහා බලන් යන්නත් මන් හරි ආසයි . රත්නපුරේදී බස් එකට නගිනවා නාරං සහ ඉඟුරු දෝසි වෙළෙන්දෝ . සුවඳම සුවඳ ජමනාරන්. මෙහෙත් තියනවා ඒ ජාතියේ නාරන් . කන හැම වෙලේම අර පරණ සුවඳ මතක් වෙනවා .


කහවත්තෙන් බැස්සම තමයි අමාරුම රාජකාරිය . මහ ගෙදර ලඟට බස් තිබුනේ නැහැ . වාහන යන පාරක් තිබුන වුනත් අද වගේ ත්‍රිවිල්තිබුනේ නැහැ . මගට යන බස් එක ගියෙත් වෙලාවකට .පයින් යන්නත් විදි කීපයක් තිබුනත් කවුරුත් කන්ද නැග්ගේ පයින් යන කෙටි පාරෙන් . ගමේ අය අඩියට දෙකට අපිව පහු කරන් ගියා . තාත්තට හය්යෙන් යන්න පුළුවන් . අපිට නම් ඉතින් දනිස් රිදී රිදී බාගෙට පන යනවා . එකම හොඳේ අතරමග තැනින් තැන සිතල දිය වෑහෙන පිල්ලවල් වලින් මුණ සෝදා ගත්තම දැනෙන සනීපය .


අන්තිමට සැනසීමක් දැනෙන්නේ ආච්චිලගේ ගෙවල් පහල නාගහ දකිද්දී . එතන තරමක තැන්නක් . එතනට මහගෙදර වඩිම්බු පෙළත් එක්ක උළු වහලේ පේනවා . නාගහ ලඟින් උඩට ගල් පඩිපෙළ . ගල් පඩි පෙලට උඩින් ඉස්තෝප්පුවේ කණුවකට හේත්තු වෙලා ආච්චි අපි එනකම් බලන් ඉන්නවා . අපිව පහුකරන් ගිය කෙනෙක් අපි එන බව කියන්න ඇති . එතනින් පස්සේ සියලු දුක් වෙහෙසවල් ඉවරයි . ආච්චිගේ ආදරය ..නැන්දලගේ සුරතල් බාප්පාගේ විහිලු , ලෝකෙම හරිමලස්සනයි එතකොට .

කන්දේ ඈත උල්පතකින් පුවක් පිල්ලයක් දිගේ සිතල වතුර කුස්සිය දොරකඩටම එනවා . මහගෙදර දවස් පුරාම බත් තිබුනා මෙසේ උඩ. කෙනෙක් ආවොත් බත් කන්නයි අඬ ගහන්නේ දවසේ කොයි වෙලේ වුනත් . අදත් ගෙදරට ගොඩ වෙන කෙනෙක් බඩගින්නේ යවන්නට හිත නොදෙන්නේ අපිට ජාන වලින් ඒ ගතිගුණ ලැබිලා නිසා වෙන්න ඇති .

ඒ කාලයේ බත් වලට මාළු පිනි ගොඩක් හදන්නේ නැහැ .පරිප්පු , වම්බටු , මැල්ලුම් වගේ දේවල් තමයි . සැමන් බැදුම තමයි නිතර මාළු වෙනුවට හැදුනේ . කඳු පළාත්වලට මාළු ආවේ නැහැනේ වැඩිය . මස් නම් උයපු බවක් මතකම නැහැ . පිල්ලෙන් වතුර ගලන පාරේ කොහිල තිබුනා හිටවල . හේනක් තිබුනා මය්යෝක්ක බතල හෙම තියෙන . කැරන් කොකු මාලුව ආච්චි රසට ඉවුවා . ඔයින් දෙකක් තුනක් තමයි බතට ඉවුනේ .

අලුත් රතු හාලේ බත් නිසාත් බඩගිනි නිසාත් හොඳටම කන්න පුළුවන් . බත් කෑවට පස්සේ කැවිලි කන්න පුළුවන් . ඒ වෙනකොට ළමයි ගොඩක් එකතු වෙලා මහ ගෙදරට . ළඟ ඉන්න අයයි දුර ඉන්න අයයි. තාත්තගේ පවුලේ නම දෙනෙක් . පොඩි අය ගොඩයි . බොහොමයක් ළමයි අවුරුද්දට එහෙ එනවා . හැමෝම මේසෙට වැඩි වෙලා කැවුම් කද්දී ආච්චි මට විතරක් පොඩි මුට්ටියකට කැවුම් දාල කුස්සියේ බංකුවක් තියල වාඩි කරවනවා .

මට සැහෙන ප්‍රසිද්ධියක් තිබුනා මේ කැවුම් කෑමේ පෙරේතකම ගැන . මොනවා වෙනස් වුනත් කැවුම් කෑමේ ආසාව නම් තවමත් එහෙමමයි .


අනික් පළාත්වලදී කොණ්ඩ කැවුම් රත්නපුරේදී හැඳි කැවුම් වෙනවා . එකම මිශ්‍රණය වුනත් හැඳි කැවුම් හදන්නේ කොණ්ඩේ නැතුව . ආච්චිට ආස්මි හදන්නත් පුළුවන් හොඳට . ආස්මි මිශ්‍රණය තෙලට වත් කරන්නේ අතේ ඇඟිලි වලින් . ඇත්තටම ආස්මි කොච්චර රස කෑමක්ද. හැබැයි දවුල් කුරුඳු හැමතැනම නැහැනේ . කාට හරි බැරිද ඕකට ආදේශකයක් සොයා ගන්න .

ඇත්තටම ගෙදර පිටි කොටලා දර ලිප් වල ඔය රාජකාරි කරන එක කොයි තරම් ලොකු වැඩක්ද . හොඳ වෙලාවට ආච්චිලට ඉන්ටර්නෙට් හෙම තිබ්බේ නැත්තේ . හැබැයි අපේ ආච්චි පොත් කියෙව්වා . අන්තිම කලේ වෙනකම්ම රෑට පොතක් කියෙව්වා නිදාගනිද්දි . වැඩේ කියන්නේ බණ පොත් නම් නෙමේ . ආච්චි කියෙව්වේ නවකතා හෙම . ජයසේන ජයකොඩිගේ පොතක් කියවනවා මට හොඳට මතකයි .

අවුරුදු චාරිත්‍ර කොළඹට වඩා ටිකක් වෙනස් . ආතා මුලින්ම දෙබලක් තියෙන ලියක් හිටවනවා . ඒ උඩ අවුරුදු කුමාරයාට කෑම තියනවා . අපේ තාත්තලා ආතාට කිව්වේ අපුච්චා . ආතාට පුංචි කොණ්ඩ පොඩිත්තක් තිබුනා . වැඩි කතාවක් නැහැ . අපි පොඩි බිය මුසු ගරු සරුවක් තිබුන වගේ මතකයි හැබැයි ආතාගේ කාමරේ තිබුන පොත් රාක්කෙට බැල්ම හෙලන්න ඒක මට බාධාවක් වුනේ නැහැ . පුංචි වක් පිහියෙන් අඹ කපලා දුන්න මතකයි අපිට .

ඉතින් අවුරුදු නැකතට අවුරුදු කුමාරයට කෑම තියලා අපි හැමෝටම බත් කට කට කවනවා . අවුරුදු මේසේ විශේෂයෙන් හත්මාළුව වරදින්නේ නැහැ . ඒ පැත්තේ කජු හරිම විරලයි . හැබැයි ආච්චි කොහෙන් හරි කජු ටිකක් හොයා ගන්නවා මේකට . ජාති හතක් දානවා . මට මතක නම් නැහැ ඒ හතම . කවුරු හරි දන්නවා නම් ලියා තියන්න.

ඊට පස්සේ ගනු දෙනු . පිනි බිඳු කිව්වා වගේ මේක අපිට නම් ගනු විතරයි . බුලත් කොලේ ඔතලා සත පනහ රුපියල දෙක ලැබෙනවා . ඒ ගෙදරින් . ඊට පස්සේ ගෙවල් වලට කෑම පිඟන් බෙදීම . අපි හරිම කැමති වැඩේ . ගිය ගිය තැනින් කන්න දෙනවා . පොඩ්ඩක් වත් නොකෑවොත් හොඳ නැහැලු . අන්තිමට බඩවල් හොඳටම පිරිලා . ඒ ගෙවල් වලිනුත් බුලත් කොලේ ඔතලා සල්ලි ලැබෙනවා .
මෙහෙ චීන අවුරුද්දට ලස්සන කවර වල දාල ළමයින්ට ලකී මනි දෙනවා . බලන් ගියහම අපිටත් බුලත් කොලේ ඔතලා ලකී මනි ලැබිලානේ.

ඉතින් අවුරුදු කාලෙට අපි හරි පෝසත් .
අපි පොඩි කාලේ ඇටඹ ගහක ලොකු ඔන්චිල්ලාවක් බඳිනවා . හරිම උසයි . බඩ පපුව දනවා උඩ යද්දී . ඔන්චිල්ලාව බැන්දේ වෙනිවැල් වැලකින් බවයි මතක . එක වරක් අපේ පුංචි කෙනෙක් ඔන්චිල්ලවෙන් වැටුනා . කලන්තේ හැදිලා අපි හරිම බයෙන් හිටියේ . ආතා වක් පිහියෙන් ඔන්චිල්ලාව කපා දැම්ම . ඒ තමයි ඒකෙ අවසානය .

තව ගමේ තැනක කතුරු ඔන්චිල්ලාවක් හැදුවා මතකයි . අපි පොඩි නිසා පදින්න දුන්නේ නැහැ . අවුරුදු දවස් ගෙවුනේ හරිම සතුටින් . එක එක වයසේ ළමයි ගොඩක් හිටි නිසා අපි හරියට සෙල්ලම් කළා . පංචි දැම්ම , බට්ටෝ පැන්නා. ඇවිදින්න ගියා .

කළුවර වැටෙන කොට කට්ටිය සාලයේ එකතු වෙනවා . කතන්දර සින්දු කියන වෙලාව . මන් බාලාංශ පන්තියේ ඉඳිද්දී මන් කතාවක් කිව්වා . අපේ බනි විතර ඇති . උස නැති නිසා බංකුවක් උඩ නැගල කතාව කිව්වේ .
''ඔන්න එකමත් එක රටක ගෙඹි අම්මෙකුයි පුතෙකුයි හිටියා . දවසක් අම්ම ගමනක් යනකොට පුතාට ලුණු ටිකක් දුන්න සුද්ද කරලා තියන්න කියල . පුතා ලුණු ටික කාල දැම්ම . අම්ම අවහම පොතු ටික විතරයි . අම්ම තරහ ගිහින් පුතාට ගැහුවා . [ අපේ බනි නම් මේ වැඩේට විරුද්දයි. එයාට කියද්දී නම් මේක පොඩ්ඩක් වෙනස් කළා . අම්ම ගැහුවේ හිමින් . ඊට පස්සේ උම්මා එකක් දුන්න කියල ]
ඉතින් පුතා මේ සින්දුව කිව්වා ...
''අම්ම මට ..චක් චක්
ගැහුවා මට ..චක් චක්
යනවා මන් ..චක් චක්
ගමට යන්න ..චක් චක් ''
ඒ කාලේ මට ටයන්න කියවුනේ ත යන්න විදිහට . ඔය සින්දුව කට්ටියට කොච්චර විනෝදයක් ගෙනාවද කිවොත් පසු කලෙක මාව දැක්ක ගමන් ඕක කියල විහිලු කරනවා


 ඒ ළමයි සේරම ලොකු වෙලා අම්මල තාත්තලා වෙලා . එයාලටත් මට වගේ මේවා මතකද දන්නේ නැහැ .

අවුරුදු ගැන විතරක් නෙමේ ගම ගැන කියන්න ගොඩක් දේ තියෙනවා කලෙක ඉඳන් මට ලියන්න ඕන වුන .
.


  කමෙන්ට් කරන්න දෙයක් නැති වෙන්න පුළුවන් . නිකන් කියවලා හරි සතුටක් ලැබුන නම් මගේ සතුට එයයි .