Wednesday, April 25, 2012

නෙළුම් විල

නෙළුම් විල


ජම්බෝල ...අඹ .ලුනුදෙහි කැවුම් ...රීල් නැති කැමරා සහ තවත් මිහිරි මතක

Posted: 24 Apr 2012 09:32 AM PDT

අවුරුදු ඇවිත් ගියා


ගම සහ අවුරුදු මතක


අවුරුදු දවස්වලට මහගෙදර කට්ටිය පිරිලා . කාමර හතරක් විතර තිබුනා . ඒත් මදි . සාලයේ පැදුරු එලනවා . මදිපාඩුවට පුටු වල කුෂන් පවා එලනවා . පොරවන්න දෙන්නේ ආච්චිගේ සාරි . ආච්චිගේ අය්යලා හිටියේ කොළඹ . ඒ අයගේ කට්ටිය ආච්චිට ලස්සන ලස්සන සාරි ගෙනත් දෙනවා . ආච්චි එව්වා කාට හරි දෙනවා . අපිට පොරවන්න දුන්නෙත් කිසිම ලෝබකමක් නැතුව . අද ගෙදරකට එක්කෙනෙක් දෙන්නෙක් නවාතැන්
ගන්න එද්දී අපි කොයිතරම් නම් හිතනවාද . නිදා ගන්නේ කොහෙද . නාන කාමර බෙදා ගන්නේ කොහොමද . අනේ ඇත්තටම ඒ කාලයේ සියක් ආවත් ඒ අය නෙමේ ගණනකට ගත්තේ . කොහොම හරි ඉඩකඩ තිබුනා .
ඒ කාලයේ මදුරුවෝ කියලා ජාතියක් හිටියේ නැහැ ගමේ . ඒකටත් එක්ක ලේ උරා බොන්න කුඩල්ලෝ නම් බුරුතු පිටින් . එලියට බැස්සොත් ගෙට එන්නේ කකුල් සෝදිසි කරන්. සමහර විට දන්නෙම නැහැ කකුල් වල ලේ පෙරෙනවා . ලේ බිල බෝල වගේ වෙච්ච කුඩල්ලෝ .. තුවාලෙට කඩදාසියක් පුච්චලා අළු ගානවා . ඇවිදින්න යද්දී සබන් ගාගෙන යන්නේ උන් එල්ලෙන එක වලක්වන්න .


ගෙදර මිදුල ටිකයි . කඳු පළාත්වල මිදුල අඩුයි . මොකද කන්ද කපලා සමතලා කරන්න ඕනනේ . එතනින් එහාට වදුල . පුවක් කොස් අඹ ජම්බු ගස් තිබුනේ කැලේට. ජම්බු ගස් යට රතු රෙදි එලලා වගේ .කොස් ගස් යට වැල වැටිලා කුණු වෙනවා . ටිකක් ඈතට වෙන්න ජම්බෝල ගස් තිබුනා . අපි ආසයි ජම්බෝල කන්න . ලොකු අය කිව්වේ බඩේ පනුවෝ හැදෙනවා කියල . ඒත් අපි ඒවා කෑවා කැලේටම වෙලා . ඒ කාලේ වැඩිය මිනිස්සු ජම්බෝල කෑවේ නැහැ .
වියට්නාමයේ ජම්බෝල හරියට කනවා . විශාල ගෙඩි . ගැහැණු අය උදේට ගෙඩි දෙකක් යුෂ හදලා බොනවා . කෙට්ටු වෙන්න කියලා . සමහරවිට කෑමට කලිනුත් කනවා .

ඒ දවස්වල කොයික කන්නද කියලා හිතා ගන්න බැරි තරම් පලතුරු ජාති . කොයිකත් ටික ටික කටේ දාගන්නයි අපි පුරුදු වෙලා හිටියේ . කුස්සියට උඩහින් රසම රස නාරන් ගහක් තිබුනා . එතනම
 ලොකු උක් පඳුරක් . බාප්පා තමයි උක් කපලා සුද්ද කරලා දුන්නේ . අපේ බාප්පා හරිම තරුණයි ඒ කාලේ . විහිලු තහළු ඉවරයක් නැහැ . අපිව ගොනාට අන්දන්න රුසියා . තෙලිජ්ජ , රා හෙම ගෙනත් කාමරේක හංගනවා .අපි එක එක්කෙනාට එන්න කියලා ටික ටික බොන්න දෙනවා . ආච්චි දැක්කොත් උන්ද ඉවරයි . ඒ හන්දා හොරාට තමයි දෙන්නේ . තෙලිජ්ජ හරිම රසයි . රා නම් මට එච්චර ඇල්ලුවේ නැහැ .

දවසක් කොහෙන්දෝ කැමරාවක් ගෙනත් තිබුනා . අපිව පේලියට හිටවලා , ඉන්දලා, නානාප්‍රකාර පින්තුර ගත්තා . අපිත් ඉතින් විරිත්තාගෙන පෙනී හිටියා . අන්තිමට මෙයා කැමරාව ඇරලා බක බක ගාල හිනාවුනා . රීල් නොදා තමයි අපිව රවට්ටලා තියෙන්නේ . ඔය මොනවා කලත් අපි තරහ වුනේ නම් නැහැ . කැලේ ඇවිදින්න යන්න වගේ මගෝඩි වැඩ වලට බාප්පා හරියට උදව් කළා .


එක දවසක් ගෙයින් උඩහ තියෙන ගුලන කන්දේ උඩටම නැග්ග අපි කට්ටිය . හරි හමන් පාරක් නැහැ .කඳු නැගීමේ නුතන ආම්පන්න හෙම ඇතුව නෙමේ . හරිම ලස්සන කැලේ . අමුතු ඕකිඩ් වර්ග ගොඩක් තිබුනා . ගුලන කන්ද සිංහරාජ කැලේට මායිම් වෙනවා කියලයි කට්ටිය කිව්වේ . ජීවිතේටම සරිලන අත්දැකීමක් . ඒ කාලේ මන් හරි පොඩියි . පස්සේ උසස්පෙළට උද්භිද විද්‍යාව හදාරන සමයේ ඒ කන්ද නගින්න තිබුන නම් තව ගොඩක් දේ ඉගෙන ගන්න තිබුනා .

දැන් නම් අර ටෙල් මේ ටෙල් ඔක්කොම කුළුණු ටික හදලා මන් හිතේ ඒ කන්ද උඩ.  

ඉඳහිට පිල්ලෙන් වතුර එන ඒක නැවතුනා . හේතුව සොයන්න කන්ද උඩහට යන්න ඕන . එහෙම වෙන්නේ පුවක් පිල්ල අතරමගින් කැඩුනම හරි රොඩු හිර වුනහම හරි . මේ පීල්ලට වතුර ආවේ කන්දේ උල්පතකින්. පසු කලෙක පහල උදාගම් හෙම හැදිලා ඒවාට වතුර පොම්ප කලෙත් මේ උල්පතින් .

ගමේ පීලි මහා ගොඩක් තිබුනා . ඒවාට නමුත් තිබුනා . ලොකු හල් ගහක් ළඟ තිබුන පිල්ලේ ගමේ අය හල් ගෙඩි බඳිනවා තිත්ත යන්න . හල් ගෙඩි ගෝනියක දාල වතුරේ තැනක ගැට ගහන්න ඕන . එතකොට තිත්ත යනවා . ඊට පස්සේ පිටි හදලා පිට්ටු තම්බන්න පුළුවන් ..ම්ම්ම්ම් හරිම රසයි . කිතුල් පිටි වලිනුත් කෑම හැදුවා . මේවා හදපු හැටි මන් එච්චර දැක්කේ නැහැ . කුස්සියට වෙලා උයන පිහන එව්වා බලනවට වඩා කොච්චර වැඩ තිබුනාද අපිට .
හදල දෙන දේ කටට දා ගන්නත් වෙලාවක් නැති තරම් .

අවුරුදු කාලෙට විතරක් නෙමේ අපි මේ විනෝදය ලැබුවේ . මගුල් ගෙවල් දාන ගෙවල් ඔය කොයිකෙදිත් කට්ටිය එකතු වෙන දවස් මේ වගේ . කොටින්ම ආතාගේ මරණ ගෙදර නැන්දලා පොලවේ හැපී හැපී විලාප දුන්නා . අපි ළමයි නට වගක් නැහැ . ඔහේ සෙල්ලම් කළා .
නැන්දලාගේ මගුල් ගෙවල් වලදී නම් පුදුම සතුටක් ලැබුවා .මගුල් ගේ ඉවර වෙලා පෝරුව ගලවන්න කලින් අපි ළමයි පෝරුව උඩ සෙල්ලම් කළා . පෝරුව හැදුවෙත් අපේ තාත්ත හෙම . එයාලට හොඳට ඒ වැඩ පුළුවන් . ලොකු තාත්තලා නැන්දලගේ මාමලා 71 අත්දැකීම් තිබුන අය. ඒ අයගේ දේශපාලන කතා වලට හොට දාන්නත් මන් ආස කළා . 80 දශකයේ මන් පොඩි වුනත් මේ කයි කතන්දර අහල සැහෙන ඔලුව මෝරලා උන්නේ .
එක මාමා කෙනෙක් ඇර හැමෝම ජේ ආර් ට කැමැත්තෙන් කතා කළා . 90 විතර වෙද්දී අපිටත් දේශපාලන උණ බෝවෙලා . මහප්පලා හෙම පෙනුනේ හරිම මෝඩයින් විදිහට . නිස්කාරනේ තර්ක විතර්ක
කළා . දවසක් කට්ටිය කෙහෙල් කැනක් කකා ඉවර වෙනකම්ම් වාද  කළා .

දැන් නම් හිනහත් යනවා .
මේ ලොකු එක් රැස්වීම් ඇරුනම අනිකුත් නිවාඩු කාලවලත් ඇතැම් විට ගමේ යන්න අවස්ථාව ලැබුනා . .අක්කයි මමයි හෝ මන් තනියම . එතකොට කතන්දරේ සම්පුර්ණයෙන්ම වෙනස් . එතකොට තව ළමයෙක් දෙන්නෙක් ඉන්න ඇති . නැත්නම් තනියමම හිටි වෙලාවලුත් තිබුනා . එතකොට දැක්කේ ගමේ සාමාන්‍ය දින චරියාව . කරන්න එච්චර දේකුත් නැහැ .

ආතාගේ කාමරේ පොත් රාක්කෙ තිබුන පොත් සේරම කියවන්නත් . අටුවේ තිබුන පරණ ශ්‍රී සඟරා , රසවාහිනී එලියට ගන්නෙත් මේ වගේ වෙලාවල . උඩහ වත්තේ ගෙදර චිත්‍රකතා එකතුවට වහ වැටුනෙත් මේ කාලවලදී . උඩහ වත්තේ ආච්චි අටුකොසුයි යකා ගහපු පොලුයි දෙනවා . ඒවා කකා තමයි පත්තර කියවන්නේ . එහෙ නැන්ද කෙනෙක් හිටියා හරියට විහිලු කරන . මගේ කැවුම් පෙරේතකම දන්නා නිසා දවසක් '' චුටි දුවේ මෙන්න අලුත් කැවුම් ජාතියක්'' කියල රවුම් බෝල ජාතියක් ගෙනත් දුන්න . කාල බැලින්නම් ලුණු දෙහි ...තාමත් කට ඇඹුල වගේ මතක් කරද්දීත් .


චුටි නැන්දා A /L කරනවත් මට මතකයි එයා පාඩම් කලේ ඈත ගලක් උඩ වාඩි වෙලා . එයා විවාහ වෙලා යන්න කලින් ගෙදරට යන ගල් වැටිය දෙපැත්තේ ලස්සනට මල් හිටවල තිබුනා . හැමදාම හවසට වතුර දානවා . බුත්සරණ , බුනිල වගේ මල් තමයි ගල් වැටිය දෙපැත්තේ තිබුනේ . මිදුල නම් ඇන්තුරියම් ,රෝස , පිච්ච මල් පිරුන මල් උයනක් . ඔව්ව දැක්කම අපිත් තන්හාවට අතු කපන් එනවා . සමහර ඒවා බාල්දි වල පරිවාස සමයක් ගත කරද්දීම මැරිලා යනවා . හිටෙව්වත්    අර  වගේ මල් එන්නේ නැහැ .
 දේශගුණ වෙනස නිසා . ඒ කාලේ අපේ ගම නුවර එළියේ පිපෙන මල් පවා හිටවන්න පුළුවන් සිසිල් පළාතක් .


ඉඳහිට එහෙ යන අම්ම කිව්වේ දැන් නම් ඒ පැත්තත් වේලිලා කියලයි . අර ඔලුව ඇල්ලුවම බෙල්ල කඩන යන තරම් ලොකු වතුරක් ආපු පිලි වලත් දැන් පුංචි කෙස් ගහක් විතරලු වතුර . ගොඩක් හින්දිලම ගිහින් . දෙවෙනි පරම්පරාව ගෙවල් හැදුවා . ඕනෑවටත් වැඩිය ගස් කැපුවා. එක අල්මාරියක් ඕන තැනට තුනක් හදා ගත්තා .

හැමෝම ගේ ඉඩමේ තේ වවන්න ගත්ත . ආච්චිලා ඉන්න කාලේ ගමම නෑයෝ. ගෙවල් වලට එක එක නම් තිබුන . නාවල ගෙදර , හල් ලිඳ , පතින්ගස්වත්ත ..හැබැයි හැමෝම නෑයෝ. ඉඩම් වලට මායිම් තිබුනේ නැහැ . කටවචනෙන් තිබුන සම්මතයන් මිස . පසු කලෙක ජනගහනය වැඩි වෙද්දී ඉඩකඩම් බෙදා ගැනීමේදීත් පොඩි පොඩි ප්‍රශ්න වෙන්න ඇති . සමහර විට තැනිතලා තැන් වල ගෙවල් හදන්න කාටත් ඕන වෙන්න ඇති .

ආච්චිගේ අය්යල කොළඹ හිටියත් එයාල මියගියහම අළු තැන්පත් කලේ ගමේ ලොකු ගල් දෙකක් උඩ . ඒ අපි උපදින්නත් කලින් . එයිනුත් එකක් උඩ නගින්න හැකි . එතනට නැග්ගම රක්වාන කඳු වැටිය ලස්සනට පේනවා . රක්වාන ඇල්ලත් එක්කම . ඔය කඳු වැටියේ තියන විශේෂම දේ තමයි රාවණා කපොල්ල . අහල තියේද . රාවණාගේ දඬු මොනරය හැපිලලු එතන කඩතොල්ලක් ඇති වුනේ .




පින්තුරය නම් ගත්තේ ගුගල් වලින්

පුංචි කාලේ ඒ ගල උඩට නැගලා මන් දුටුවේ ඈත සිහින දේශයක් . මැරුණ කෙනෙක්ගේ අළු තැන්පත් කරලා කියල කිසිම බයක් හෙම තිබුනේ නැහැ . ඒ ආතා කවියෙක් නිසා අපි එතන ඉඳන්  දකින සිහින කවදා හරි කවි වෙලා ලියවෙයි කියල එයා හිතන්න ඇති .

ඒ ගල කිට්ටුව තමයි අපේ ආතලගේ මය්යෝක්ක කොරටුව තිබුනේ . ආතා වැඩ කරද්දී ආච්චි මය්යෝක්ක තම්බලා [කොච්චි සම්බෝල එක්ක ] ප්ලේන්ටි ත් එක්ක අරන් එනවා . කෙල ගිල්ලට වැඩක් නැහැ දැන් .

නෑයෝ නොනැයෝ එක්ක මට අමතක නොවෙන කෙනෙක් ඉන්නවා . තේ වත්තේ හිටපු ආඬි ..ආච්චි එකතු කරන පුවක් හෙම ටවුමට අරන් යන එක වගේ වැඩ කරලා දෙන්නයි එයා ආවේ . මන් ඔය ආඬි වැඩ කරන හැටි හරි ඇන තියාගෙන බුලත් හපන හැටි හරි බලන් ඉන්නවා . මට ඒ හන්දා ආඬි ගේ දුව කියල කට්ටිය විහිලුත් කළා .

ආච්චි පුවක් ඇහිඳින කොට අපිත් වෙනම මල්ලකට එකතු කරනවා . ඒ ටික විකුණන සල්ලි අපිට ලැබෙනවා . කුඩල්ලෝ හින්දා මේක හරිම අමාරු වැඩක් . ගස් වල පුවක් කන්න ආපු රිලව් අපිට බයක් හෙම නැහැ .

කහවත්ත නගරයෙන් ගලන වේ ගඟ මඩ පාටයි . රත්නපුරේ හරියේදී කළු ගඟයි වේ ගඟයි එකතු වෙනවා . ටිකක් දුරට යනකම් පාට වෙනස පැහැදිලිව පේනවා .වේ ගඟ ඒ පාට වුනේ මැණික් ගරලා හින්දද මන්දා .
අපේ නෑදැයෝ වැඩියම හිටියේ රත්නපුරය , කහවත්ත , පැල්මඩුල්ල පැත්තේ . ඒ හින්දා ඒ පළාත් ගැන හොඳටම දැන ගෙන හිටියා . එකක් ඒවායේ ඇවිදලා . අනික මහගෙදරට එක්කහු වෙන නෑයින්ගේ කතා වලට ඇහුන්කන් දීලා . ගමේ සමහර තරුණ අය මැණික් ගරන්න ඈත පැති වලට ගිහින් අවුරුද්දට ගමේ එනවා . ඒ අයගෙන් විස්තර අහන ඉන්න එකත් ලොකු විනෝදයක් වුනා . අපේ ගෙදර කෝප්පයක් පුරවලා එච්චර වටිනාකමක් නැති ''දලන් '' කියන ගල් වර්ගය තිබුනා . ඒ අර මැණික් ගරන අයගෙන් ඉල්ලා ගත්තු ඒවා . ඒවා අපි සෙල්ලමට අරගෙන නැති කළා . මට මතකයි මැණික් ලැබිලා හදිසියේ පෝසත් වෙච්ච අය . ඒ අය ටක් ගාල අඳුනන්න හැකි . අලුත් ඇඳුම් ඇඳලා.. රත්තරන් මුදු මාල දාල තරුණයෙක් හිටියොත් හිතා ගන්න පුළුවන් මැණිකක් ලැබිල කියල .


 . නිවාඩු ඉවර වෙලා ගෙදර එද්දී ලොකු දුකක් දැනුනේ නම් නැහැ . අපි ඉස්කෝලේ යන්නත් ආස නිසා .

ගම ගැන ලියන්න මතක කප්පරයි . විටින් විට ඉඩ ඇති විටක ඒවා ලියවෙයි .

මන් ආච්චි නැති වුනාට පස්සේ ගමේ ගියේ විවාහ වෙලා දුලා ඉපදුනටත් පස්සේ . එත් එක වතාවයි . එකක් ආච්චි කියන්නේ පවුලේ මුදුන් මුල . මුදුන් මුල මැරුණමගහකින් වැඩක් නැහැ . අනික ඒ ලස්සන දැන් නැහැ . ලොකුම දේ අපි ගොඩක් දිහා වල ඇවිදලා ගොඩක් දුර ගිහින් . ළමාවියේ සතුට ලබපු දේවල් දැන් පුංචි දේවල් .

ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද .