Sunday, September 02, 2012

නෙළුම් විල

නෙළුම් විල


Once in a ..Blue Moon....

Posted: 01 Sep 2012 10:58 AM PDT





පින්තුරය මෙතනින්



අප මේ සිටින්නේ ගිම්හානයේ අග්ගිස්සේය . ඊළඟ දවසේ පාසල් නැත්නම් තරමක් රෑ බෝ වෙනතුරු සෙල්ලම් පිටියේ ගත කිරීම දැන් අපේ පුරුද්දයි .
කොතරම් උණුසුම් වුවද මා ගිම්හානය ප්‍රිය කරමි . සිසිරයේ පාලු සීතලට වඩා අව් රශ්මිය දාහෙන් සම්පතකි . සිතේ හැටියට නා ගන්නට පුළුවන . ළමයින්ට එලියට බැස සෙල්ලම් කිරීමට හැකිය . එබැවින් ගෙවී යායයි ලෝබයෙන් මේ ගිම්හානයේ අවසන් සමය උපරිමයෙන් විඳිය යුතු නිසා සවස් කල හැකිපමණ එලි පහලියේ ගැවසෙමු.

 ඊයේද අදද එසේ ගෙවී ගියේය . ඊයේ නිල් සඳක් [ Blue moon ] පායා යයි මගේ මිතුරිය දුන් ඔත්තුවක් නිසා අපි සඳ එනතුරු බලාසිටියෙමු . රැස් වළලු අතර රන් තැටියක් වන් පුර හඳ පායා ආවාය.

සුලඟ සුව දායකය . මද සුළං ඇති රැයක මද අඳුරේ ..පුරහඳක් යට ..සිතන්නට මොනතරම් දේ ඇතිද . සඳ පායන කල මානසික රෝග උත්සන්න වන බව මා අසා ඇත . අප සැවොම එක්තරා දුරකට පිස්සන් වෙමු . සඳ දියෙන් නැහැවෙන කල අතීත මතකයන්ගේ කිමිදී දහසක් සොම්නස් සහගත මෙන්ම යම් තරමකට පාළු  සහ කිව නොහැකි දොම්නස් සහගත සිතිවිලි ඇති වී නැති වී යන්නේ එබැවින් විය යුතුය .

සඳ උළෙලත් ළඟ ළඟ එයි . දැනටමත් සඳ කේක් කඩ ඉදි වී ඇත . නොකියවූ කෙනෙක් ඇත්නම් ගිය වසරේ ලියු ..සඳ කමිටුවේ මාමලාගේ අපමණ දැනුමින් පෝෂිත වූ මේ පුර සඳ ළමයින්ටයි කියවන මෙන් ඉල්ලා සිටිමි . සඳ කමිටුවේ මාමලා බොහොමයක් විවිධ වැඩ කටයුතු නිසා කාර්යබහුල වී ඇති සැටියකි . ඔවුන් සැමට ගෞරවයෙන් නැවතත් මේ ලිපිය සිහි කරමි .

සඳ සහ මම ගැන ලියන්නට බොහෝ දේ තිබේ . විදුලි එලි හිඟ වූ බාල කල අනගි වස්තුවක් වූ සඳ ..සහ මගේ මතක ලියන්නට ගියහොත් කොහෙන් නවතිදැයි නොදන්නා නිසා සහ සැමදා ඔබගේ සිත් වල සංවේදී තැන් පහුරු ගාන්නට අකමැති නිසා වැඩිදුර නොකියමි. අද මැදියම් රැයටත් අන්ධකාරය රිසිසේ නොදැනේ . අධික විදුලි පරිභෝජනය ..ලෝකයට අඳුර විඳින්නට අයිතියක් නැති කර වාගේය.ආසාවකට ජනෙල් තිර ඇර දමා නිදා ගත නොහැක . මේ සියල්ල අපගේ සැප පහසුවට බව සැබෑය.

නුතන දියුණුව ගැන ලෝකයේ වෙනස් වීම ගැන මගේ විරුද්ධත්වයක්ද නැත . එහෙත් කොයිදේත් පමණට වැඩි වීම නම් කරදරයකි. විපතකි . නියෝන් එළිය මොළයේ විවිධ ආබාධයන්ට හේතුවන බව කොහේ හෝ කියවූ දා සිට ජනෙල් තිර වසා නින්දට පුරුදු වුයෙමි . මේ නගර වලට සඳ ආවත් නැතත් ගනනක් නැතුවා වෙන්නට පුළුවන .

 තමා හමුවට ආ මුල්ම මිනිසා වියෝ වූ බව සඳ දන්නවාදැයි මට සිතේ . විදු ඇසින් කොයිලෙසක දුටුවත් අපට සඳ සැමදා සජීවී වස්තුවකි . හාවෙක් නැති බව විද්‍යාවෙන් කොපමණ උගත්තත් මා පුරසඳ මත තවමත් සාවා දකිමි. [ සැබවින්ම කියතොත් ඔය සඳේ හාවා හරියටම දැක ගත්තේ බොහෝ ලොකු කාලයේය . එයට හේතුව මා සඳේ සිටින්නේ කිරි සුදු හාවෙක් යයි වැරදියට සිතා සිටි හෙයිනි .]

යොවුන් වියේ දී පුවත්පතක පළවූ මුල්ම නිසදැසට සඳ පෙරවදනක් විය . ගීත සාහිත්‍යයේ සඳ ගැන කියවුන ගී ගණන් කල නොහැකි තරම්ය .

ළමයෙකු සේ මෙන්ම අදද මා සඳට ආදරය කරමි . එසේම පරිඝනක යුගයේ උපන් අපේ ළමයින්ද සඳට ආදරේය. ලෝකයේ කොහේ වුවද සඳ දැක සතුටු නොවෙන ළමයෙක් ඇතැයි නොසිතමි .

මන් ළමයා සහ මගේ ළමයි දෙන්නා නිල් පාට සඳක් දැක ගන්නට බලා සිටියෙමි . නිල් සඳ සැබවින්ම නිල් පාටද . දම් පාටින් ලා සඳ බැස යනවා කීවද මා කවදාවත් දම් පාට සඳක් දැක නැත . Under a violet moon ගියටද කොතරම් ආසාද . අහෝ කවදාවත් දම් පාට සඳක් දැක නැත්තෙමි .


Smurf චිත්‍රපටය බලා සැබවින්ම නිල් පාට සඳක් කවදා හෝ පායයි කියා පොඩි උන් මෙන්ම මාද මොහොතකට හෝ විශ්වාස කලෙමි . සඳ කමිටුවේ මාමලා මේ ගැන වැඩිපුර විස්තර දන්නවා ඇත . මා සොයා ගත් ඇබින්ද ලියා තබමි.
කුමක්ද මේ Blue Moon ..?? ඉතාම අඩු සම්භාවිතාවක් ඇති දෙයකට once in a blue moon කියනු අසා ඇත . මන් ඒ කියමනට ඉතාම කැමතිය .

සරලවම කිවොත් එක මාසයක සඳවල් දෙකක් .අපට තේරෙන පරිදි පෝයවල් දෙකක් [ අධිපෝයක් ] ඇති මාසයක දෙවන පුර සඳ යන්න අපට වඩාත් ගැලපේ .

මේ Blue මූන් හෙවත් නීල චන්ද්‍රයා ගැන සරල අර්ථකථනය ගැන මන් කියවූයේ මෙතනින්ය .
සැබෑවටම සඳ නිල්පාටින් පායන්නේ නැතිද ..කණගාටු විය යුතු නැත . කවර දිනක හෝ යමෙකුට නීල වර්ණ සඳක් දැක ගැනීමට අවස්තාවක් ලැබීමටද ඉඩ ඇත . වායුගෝලයේ විවිධ අංශු වර්ග නිසා සඳ නීල පැහැයෙන් බබලන්නට ඉඩ ඇත . එසේ නීල සඳ දුටු අයද සිටි . මෙතනින් ඔවුන්ගේ කතා කියවා බලන්න .


දහසක් විදුලි එළියෙන් නැහැවුන සවස
අගයක් නැතිද සඳ නුඹ දිලුණත්   අහස
වැඩියක් තරු නැතිද වාගේ පෙර   දවස
තනියක් දැනුන බව, සඳ නොකියූ රහස



සඳත් එක්ක පන්සල් ගිය ළදරු       යුගේ
මටත් හොරෙන් යනවා මුළු හිතම   මගේ
එදත් කෙලි දෙලෙන් අපි නැහැවුණා වගේ
අදත් ගලනවද සඳ දිය මිදුල              දිගේ

ඔය කවි දෙකේ අන්තිම පදය තමයි මන් ඊයේ හිතෙන් මුමුනමින් ළමයින්ගේ ඔන්චිල්ලාව මත නැලවූනේ . ඉතුරු ටික නම් ඉතින් අද තමයි ගැට ගැහුවේ . ළමයින්ට ලොකු වැඩ කරන නගරය ගැන අහල මාරයා ඇතුළු කීපදෙනෙක් අහල තිබුණ ලොකු අයට ළමයින්ගේ වැඩ කරන්න පුංචි නගරයක් නැද්ද කියල . මට කියන්න තියෙන්නේ ඉඳ හිටලා ඔන්චිල්ලාවක් හෙම පැදලා කාරිය සතුටු වෙන්න තහංචි පනවා ගන්න එපාය කියලයි. අපි කාගේත් හිතේ තවම  ළමයෙක් ජිවත් වෙනවනේ . ඉඳ හිටලා හරි ඒ ළමයට සන්තෝෂ වෙන්න ඉඩ දෙන එක අපේ යුතුකම .


ඊයේ දාපු පෝස්ට් එක කියවන්න බැරි වුන අයට මෙතනින් . මට ඉතින් හිතුනාම නොලියා ඉවසන්න බැරිකමට සමාව දෙන්න