Wednesday, July 11, 2012

නෙළුම් විල

නෙළුම් විල


මිනිසෙක් වූ බල්ලෙක්

Posted: 10 Jul 2012 09:21 AM PDT




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .