Sunday, July 15, 2012

නෙළුම් විල

නෙළුම් විල


කඳුළු දේශයේ සොඳුරු මිතුරී...

Posted: 14 Jul 2012 09:42 AM PDT

ඊයේ රාත්‍රී කෑමට  අපට ඊශ්‍රායල් මිතුරියගෙන් ආරාධනාවක් ලැබුණා . ඊයේ කියන්නේ සිකුරාදා . සිකුරාදා රෑට එයාල ගන්නේ විශේෂ රාත්‍රී භෝජනයක් . අපටත් එයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ එක මට හරිම අලුත් අත්දැකීමක් වුණා. උණු උණුවෙම නොලිවොත් අගය අඩු වෙන නිසා සුරතලුන් ගැන ලිවිල්ල කල් දාන්න හිතුවා.

ඊශ්‍රායලය කියන්නේ යුදෙව් රට කියල දැනන් හිටියට යුදෙව් ආගම සංස්කෘතිය ගැන මට නම් තිබුනේ අල්ප දැනුමක් . සත්සමුදුරේ යුදෙව්වන් ගැන දීර්ඝ ලෙස ලියවුන නිසා ඒ ගැන විස්තර කරන්න මහන්සි වීම අනවශ්‍යයි .

කොහොමත් මේ රට ගැන අපිට තිබුනේ එච්චර හොඳ ආරංචි නෙමේනේ . පලස්තීනුවන් පිඩනයට පත්කරන ,ඇමරිකාවේ අතකොළුවක් වෙච්ච කොටින්ම සමහර පත්තර වල මැදපෙරදිග ත්‍රස්තවාදියා විදිහට හඳුන්වලා තියෙනවාත් දැක තිබෙනවා . යුදෙව්වන් බරපතල සංහාරයකට ලක්වුණ දෙවෙනි ලෝක යුද්ධය ගැනත් අපි ඇති තරම් අහල කියවල බලල තියෙනව.

ඊශ්‍රායලය ගැන ලියවුන සත්සමුදුරේ ලිපි වලට මෙතනින් යන්න

ඒ සියල්ල අත ඇරලා සාමාන්‍ය මිනිසුන් ලෙස ඊශ්‍රායල් ජාතික පවුලක් ආස්සරය කරන්න ලැබුණ එක මට අලුත්ම අත්දැකීමක් . මගේ මිතුරිය හරිම ලස්සනයි . ලස්සන මුණකුයි ලස්සන හදවතකුයි දෙකක්ම එකට පිහිටපු විරල නිර්මාණයක් වගේ ඇය.
ඇය කවදාවත් කිසිම දෙයක් ගැන පැමිණිලි කරනවා ,නෝක්කාඩු කියනව මන් අහලම නැහැ . කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නේ . හැමදේකම හොඳ පැත්ත දකින්න හැකි එහෙම උදවිය හරිම අඩුයි .

පුංචි කෙල්ලෝ තුන් දෙනාත් සුරංගනාවියෝ වගේ . ඇයගේ සැමියත් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් .
ලෝකේ කොහේ හිටියත් සිකුරාදා රාත්‍රිය මෙයාලට විශේෂයි . ''ශබාට් '' නමින් හැඳින්වෙන සති අන්තයේ ඇරඹුම තමා සිකුරාදා රාත්‍රී භෝජනය . හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ .

ආගමික අදහස කෙසේ වුවත් මට හිතුනේ මේ කොතරම් වටිනා සංස්කෘතික අංගයක්ද කියායි.

මේ ගැන අන්තර්ජාලගත කාරණා කියවීම කම්මැලි හිතෙන තරම් සංකීර්ණ වුවත් මගේ මිතුරියගේ නිවසේ අපදුටු චාරිත්‍ර අතිශය සරලයි . ඒ වගේම අපටත් පිලිපැද්දට කමක් නැති තරම් වටිනා දෙයක් .
මුලින්ම කරනුයේ කෑම මේසයේ ඉටිපන්දම් දැල්වීම . ඉර බැස   යාමට ඔන්න මෙන්න තියා මේ ඉටිපන්දම් දැල්වීම කරනුයේ පවුලේ කාන්තාවක් . මව හෝ දියණියක් විය හැකියි.

නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ].


පින්තුරය මෙතනින්

මේසය මත නිවසේ සාදන ලද පාන් ගෙඩියක් සහ රිදී වයින් බඳුන් දෙකක් තිබුණා. එකක් එයාලගේ පවුලට . අනික අපට .

පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට . [ මේ ගෙදර නම් පුත්තු නැහැ . කෙල්ලෝම තුනක් . ]
ඉන් පසුව බිරිඳට . ඔහු කි පරිදි නිකන්ම නිවසක් උණුසුම් ගෙදරක් බවට පත් කරන්නේ බිරිඳක් නිසා ඔහු ඇයට ස්තුතිවන්ත වන බවයි . අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.


ඉස්සරටත් වඩා අද අපි ජිවිතේ ගෙනියන්නේ දුවමින් . හැල්මේ යන ගමන පොඩ්ඩක් නතර වෙලා සිංහලෙන් කිව්වොත් බ්රේක් එකක් අරන් මේවගේ තමන්ගේ පවුලේ වටිනාකම මතක් කරන්න එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඊ ළඟ සතිය නැවුම් විදියට අරඹන්න අපි වැඩිය නොදන්නා ජාතියකින් ලැබෙන පාඩම හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ .

කල්පනා කරලා බලද්දී අපේ සමාජයේ මේ ස්තුති කිරීම් සිදුවන්නේ බොහෝ කොට අලුත් අවුරුදු සිරිත් මුල් කරගෙන . අනික් දවස්වලදී බොහෝ ගෙවල් වල වුණේ සැමියාට ළමයින්ට හොඳම දේ බෙදා දීල අම්ම කුස්සියේ ඉඳන් ඉතුරු වුන යමක් කන එක . මේ වෙද්දී බොහෝ දුරට මේ තත්වයන් වෙනස් වෙලා වුනත් ආදරය ප්‍රකාශකරන්න , ස්තුතිවන්ත වෙන්න අපේ සමාජය ටිකක් පැකිලෙනවා කියලයි මගේ හැඟීම .
ගෙදර පුච්චපු අලුත් පාන් , පාර්ස්ලි සහ කුස් කුස් සලාදය , ඇතුළුව බොහොම ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න කෑම ජාති ගොඩක් සහ පලතුරු සමග පලතුරු තේ රසවින්දා . සේරම එළවලු කෑම .

කවදාවත් විසදෙන්නේ නැති ඒ රටේ ප්‍රශ්න ගැනත් අපේ රට ගැනත් කතා වුණා. උපන්දා සිටන් යුද්ධේ ආනිසංස අත්වින්ද නිසා අපි දෙගොල්ල අතර සමානකම් හුඟක් තියෙනව . අදට වුනත් කොයි වෙලේ බෝම්බ පිපිරේදයි නොදන්නා ඔවුන්ගේ සදා කඳුළු දේශයට හෙට අනිද්දා ඔවුන් ආපසු යනවා . ඒ ගැන නම් මට ඇත්තේ හරිම දුකක් . ඉඳහිට හමු වෙන සුන්දර මිනිසුන් මේ ලෙස සමුගෙන යාම නම් කණගාටුවට කාරණාවක් .

මන් ඇයට තෑගී කලේ අපේ රටේ සිතියමක් සහිත චිත්‍රයක් . ලෝකයේ කොහේ හෝ කොනක මේ වගේ ලස්සන පුංචි දුපතක් ඒ ගොල්ලන්ටත් ඇත්නම් කියල ඈ කිවේ ලොකු සුසුමක් පිටකරන ගමන්