Sunday, October 28, 2012

නෙළුම් විල

නෙළුම් විල


පාට පාට කොඩි අරගත් පාට පාට ළමයි

Posted: 27 Oct 2012 10:34 AM PDT

ගිය අවුරුද්දේ වගේම මේ පාරත් එක්සත් ජාතීන්ගේ දිනය සැමරුනා. බෑන් කි මුන් මහත්තයාගේ ඉස්කෝලේත් ගිය පාර වගේම පාට පාට මල් වගේ ළමයි ඒ ගොල්ලන්ගේ ජාතික ඇඳුම් ඇඳගෙන .

කොරියානු හැන්බොක් ඇඳුම ඇඳපු ළමයි පුම්බපු කුරුල්ලන් වගේ ..ජපන් කිමෝනාව ඇඳපු ළමයි වෙනදට වගේ දුවාගන්න බැරුව .




අපේ බනිටයි අක්කටයි සිද්ධ වුනා ළමා සාරි අඳින්න . මහන්න දන්නා ආච්චිලා දෙන්නෙක්ම හිටියත් ඒගොල්ල මෙහෙ නෙමේ නිසා මහන්න නොදන්නා අම්මට සෑහෙන්න රස්තියාදු වෙන්න සිද්ධ වුණා. මන් ඉතින් මැහුම් ගෙතුම් ඉගෙන ගෙන ගෙදෙට්ට වෙලා ඉන්න නෙමේනේ හිතන් හිටියේ .

වදෙන් පොරෙන් අන්දලා සෑහෙන්න කටුගහල හෙම යැව්වේ . ළමා සාරිය ඇඳන් ස්කිපින් කරන්න බැරි වීම ගැන බනීට ටිකක් හිතට හරි මදි .

ගියපාර වගේම මේ පාරත් කොඩිය අරන් පෙරහරේ යන්න දෙන්නට අවස්තාව ලැබුන . සැහෙන වෙලාවක් වේදිකාවේ කොඩිය ඔසවාගෙන හිටන් ඉන්නත් අරගෙන පෙරහරේ යන්නත් ටිකක් අමාරු වැඩක් . මේක පුංචි කොඩියකුත් නෙමේ .

මොනයම් අවස්තාවක මොනයම් විදිහකට හෝ තමන්ගේ රට නියෝජනය කරන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් ලෙසයි මා නම් දුටුවේ .
















එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැමිණ සිටියේ ඉන්දියන් කාන්තාවක් . ඇයගේ පින්තුරයක් ගන්න නම් බැරි වුණා .

විවිධ  ජාතික ඇඳුම් ඇඳි පොඩිත්තන් පාට පාට මල් උයනක් තමා සිහිගැන්වූයේ.






පාසලේ මන් කැමතිම කෙනෙක් වන විදුහල් පතිතුමා ළමුන් සමග ගීතයක් ගායනා කලේ ගිටාරය වයමින් .


උසස් පන්තිවල සිසුන්ගේ නර්තනයද කදිමයි .



පාසලේ එකම ලාංකික ගුරුතුමා .



උත්සවය අවසානයේ පන්ති හෝ ශ්‍රේණි වශයෙන් කෑම වර්ග රැසක් සහිත භෝජන සංග්‍රහයක් . තම තම රටවල කෑම වර්ග ගෙනවිත් තිබුණා.





අපිත් හැදුවා පැණිවළලු.


සාමාන්‍යයෙන් මේ දවස්වල ළමයින්ට තම තමන්ගේ රටවල් ගැන සහ යාලුවන්ගේ රටවල් ගැන අවබෝධයක් ලබා ගන්න තමයි විශේෂ අවධානය යොමු වුණේ.

.

අපේ බනිටත් තමන්ගේ රට ගැන එක එක දේවල් දැනගෙන එන්නයි ගුරුතුමී කියා තිබුණා . ප්‍රසිද්ධ තැන්, ලස්සන තැන් . ගොඩනැගිලි , කෑම , ඇඳුම් , ප්‍රවාහනය වගේ කාරණා.

එන වසරේ සංචාරකයින්ට යන්න හොඳම තැන ලෙස ලංකාව නම් වෙලා තියෙන එකත් අපට ලොකු සතුටක්.


අපේ පවුලම එකතු වෙලා තමයි මේගැන සාකච්චා වුණේ . කියන කියන හැමදේම ලොක්කි නම් දන්නවා .

''හරි ඔය කොයි ඇඳුම දන්නවා වුනත් ඕගොල්ලෝ අමුඩේ දන්නේ නැහැනේ '' එහෙම කිව්වේ තාත්තා .

'' අපෝ මන් දන්නවා අර ගොවියෝ අඳින ඩයපර් එක වගේ එකනේ '' ඒ ලොක්කි .


අමුඩේ අඳින්නේ අපි විතරද ..ජපානයේ සුමෝ ලත් අඳින්නේ අමුඩයක් වගේ එකක් .



 කැමති නම් අමුඩය සහ අපේ අනන්‍යතාවය කියල සංවාදයකට යන්නත් පුළුවන් . ආදිවාසින් අමුඩය ඇඳන් ක්‍රිකට් ගහපු වගත් ආරංචි වුණා .