Monday, April 09, 2012

නෙළුම් විල

නෙළුම් විල


චම්පා ..පාලි සහ සංස්කෘත මිශ්‍රිත චාම් බස

Posted: 08 Apr 2012 05:38 AM PDT

කලින් ලිපියේ කි පරිදි චම්පා රාජ්‍ය බිහි වුනේ ජාවා පෙදෙසින් පැමිණි මිනිසුන්ගෙන් , දෙවෙනි සියවසේදී . ඒ කාලේ ඉන්දියන් බලපෑම මේ ප්‍රදේශයේ තදින්ම තිබුන නිසා චම්පා හි මුලික හරය වුනේ ඉන්දියන් සංස්කෘතිය . මෙයට සමගාමී ක්මෙර් ශිෂ්ටාචාරයත් එහෙමමයි . වියට්නාමයේ ප්‍රධාන ජාතිය වන වියට්නාම් [ Dao Viet ] අයට චීන බලපෑම ලැබෙද්දී චම්පා ට ලැබුනේ ඉන්දියන් බලපෑම .
හොඳට හෝ නරකට Dao Viet ල චම්පා විනාශ කල නිසා අද ඉන්දියන් ලක්ෂණ ඇත්තෙම නැති තරම් .

සංචාරක ව්‍යාපාරයට මුක්කුවක්  ලෙස චාම් සංස්කෘතිය මෑතක සිට එලිබැස ඇති බවයි  පෙනෙන්නේ .
 
 
අච්චර බලවත්ව තිබුන චම්පාට මොකද වුනේ කියන එක සොයා බලන්න වටිනා කාරණයක් .
කලින් ලිපියේ සහ කමෙන්ට් වල සඳහන් පරිදි 17 වන සියවසේදී සම්පුර්ණයෙන්ම යටත් වුන චම්පා රජ තුමා තම පිරිවරත් එක්ක මිකොන්ග් ගංගා නිම්නයෙන් පහුබැස ගොහින් වත්මන් කම්බෝජියාවේ පදිංචි වුනා . ඒත් සුළුතර ජාතියක් විදිහට . ඒ වෙනකොට මේ චම්පා පිරිස මුස්ලිම් වෙලා හිටියේ .

මධ්‍යම වියට්නාමේ ඉතුරු වුන සුළු පිරිස හින්දු සහ බුදුදහම මුලික කොට ගත්තා . අදටත් කම්බෝජියන් චාම්ලා බහුතරය මුස්ලිම් . වියට්නාම් චාම්ලා බහුතරය හින්දු සහ බෞද්ධ . හැබැයි දේශීය විශ්වාසයන් සහ ඇදහිලිත් එක්ක මිශ්‍ර වෙලා මේ ආගම් සියල්ලම මුලික තත්වයෙන් සැහෙන වෙනස්කම වලට බඳුන් වෙලා .
කම්බෝජියවේදී චාම් ලට පොල්පොට්ගේ කාලේදී සැහෙන වන්දියක් ගෙවන්න වුනා . පොල්පොට්ටත් අර හිට්ලර්ට වගේ ම ලෙඩක් තිබුන වෙනස් අයව විනාශ කිරීමේ . චාම් ජනතාව විශාල ලෙස ඝාතනය වුනා . ඉන්දු චීන අරගලයන් තුලත් මොවුන් සැහෙන්න පොඩි පට්ටම් වී ගියා .

වරින්වර චාම් නැගිටීම් වෙලා තියෙනවා වියට්නාමය තුලත් .නමුත් අද වෙනකොට සුළුතර ජාතියක් ලෙස අන්‍යයන් සමග මිශ්‍ර වෙමින් ජිවත් වෙනවා . චාම් බස උපතින් මැලේ- පොලිනිසියන් වර්ගයේ වුනත් පසුව පාලි සහ සංස්කෘත සම්මිශ්‍රණයෙන් යුතු වුනා .




 
අද වෙනකොට මධ්‍යම සහ දකුණු පළාතට වෙන්න තැන තැන විසිරුන කුඩා ජන සමුහයන්ගෙන් සමන්විතයි . සමස්ථය ලක්ෂයක් ඉක්මවන්නේ නැති තරම් . මෙයිනුත් අඩක් පමණ වෙසෙන්නේ Ninh Thuan පළාතේ Phan Rang නගරයේ . අදටත් මාතෘ මුලික සමාජයක් . පවුලේ වගකීම් දරන වැඩිමහල් දියණිය දිග යන විට වගකීම් බල දියණියන්ට අනුපිළිවෙලින් පැවරෙනවා . දියණියන් විවාහ වූ පසු වෙනම නිවසක් ඒ ආසන්නයේ ගොඩ නැගෙනවා . සැමියා ප්‍රයෝගිකව ගැහැනියගේ නිවසේ පදිංචියක් තමයි සිදුවන්නේ . බින්න බැසීම කියා අපි කියන පරිදි .
මේ පළාතේ ශිව දේවාලයක්ද පිහිටා තිබෙනවා.
 
මා සිත් ගත් කාරණයක් වන්නේ අතීතයේදී මොවුන් නිවෙස් ආසන්නයේ ලොකු ගස් වැවිමක් නොකළ කාරණයයි . රාත්‍රියට බකමුනන් මේ ගස්වල වසා නද දීමෙන් මළගියවුන් පැමිණේ යයි තිබු විශ්වාසය නිසා . අප කුඩා කල රෑට හඬ නගන බකමුණන් එළවීමට පොල් කටු දෙකක් සද්ද කල හැටි මට මතකයි . එදා ගහකොළ වැඩි නිසාත් විදුලි එලිය අද මෙන් වැඩිපුර නොතිබුන නිසාත් බකමුනු හඬ ගෙන දුන්නේ අමුතුම ගුප්ත හැඟීමක් .



මේ චාම් ජනතාව වී ගොවිතැන මුලික කොට ගත් අය. ඒ වගේම මැටි කර්මාන්තය ප්‍රසිද්ධයි . මොවුන් අප දන්නා සක පෝරුව භාවිතා නොකර අතින්ම මැටි නිර්මාණ එළිදක්වනවා . නමුත් වියට්නාම ජාතිකයින් නම් සකපෝරුව තමා භාවිතා කරන්නේ .
 
මිට අමතරව ප්‍රදේශය රන් කැනීමත් සිදුවෙනවා . සොයා බැලීමේදී වියට්නාමය පුරා රන් ආකාර 500 ක් පමණ ඇතිලු . අපිටත් එකක් වත් තිබුන නම් .
 
මේ පළාත වෙරළාසන්න නිසා අද වෙනකොට චාම් මිනිසුන් ඉස්සන් වගාව පවා සිදු කරනවා .
 
චාම් ජනතාවගේ ප්‍රස්ථාව පිරුළු කීපයකින් මේ ලිපිය නිමා කරනවා .
 
1. දෙකොනම කඩලා කන්නේ
 
2.ගලවා ගත්තොත් විසිකර දමන්න හැක . නැත්නම් ගෙදර ගෙන යාමට සිදුවේ
 
3.කවර දෙකක් අයින් කලොත් හමු වෙයි රන්
 
4.රැවුල ඇති ආච්චි
 
5.දිග ඇදුන විට කෙලින් සිටි. කෙලින් සිටි විට සිටියි හරහට
 
6.වයස සියා හඬවන නරක කොල්ලා
 
7. කාල අහවර වූ විට මොහුගේ බෙල්ල ගැට ගසයි
 
8.තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය
 
 
 
 
තෝරන්නට හැකි දැයි බලන්න
 
 
මුලාශ්‍රයන් ..
 
WANDERING THROUGH VIETNAMESE CULTURE ...BY Huu Ngoc
 
 
මේ පොත ටික කලක් මෙහි සිටි හංසනී නැගණිය මට දුන් තෑග්ගක්