Saturday, April 21, 2012

නෙළුම් විල

නෙළුම් විල


..අවුරුදු ඇවිත් ගියේය

Posted: 20 Apr 2012 10:39 AM PDT

අවුරුදු ඇවිත් ගියේය . අලුත් අවුරුද්ද යනු ලැබූ නව වසර වන නමුදු බක්මහ උළෙල පවතින දින කීපය පමණි අවුරුදු කී සැනින් මට සිහි වන්නේ . එනිසාය මා අවුරුදු ඇවිත් ගියා යයි කිවේ .

කොහා තියා කපුටෙක්වත් අඬන්නේ නැතුවම , එරබදු මලක් නොදැකම අවුරුදු ඇවිත් ගියේය . කැවිලි සාදා ,පන්සල් ගොස් ,නැකතට කිරි උතුරවා , උදේ කිරිබත් කැවුම් කා අවුරුද්ද සැමරුවෙමු . ළමයින් ටිකක් හෝ මේවා දැන ගන්නට ඕනය . පුරුද්දට ලංකික නාලිකාවන් දමා තිබුනද එව්වා නම් මෙලෝ රසක් නැත . ''සෝ බෝරීන්'' කියා මටද සිතුනි . හැම නාලිකාවකම කට්ටියක් වටවී කියවයි . මේ ගැන රංග මගේ ලෝකයේද කියා තිබුණි .

ඊයේ පෙරේදා දවසක ආසියානු ගෑණු සංගමයට අපි වගේම අවුරුදු කන රටවල් තුනක් සහ ලංකාව අවුරුදු කන හැටි අනික් අයට පෙන්වන්නට තීරණය කර තිබුණි . මේ සංගම් වල ඉන්නේ ගෑණු පමණකි . පිරිමින් ඇවිත් ඉන්නේ රස්සා වලටය . ගෑණුන් නිකන් ඉන්න විට ''සෝ බෝරීන් '' නිසා මෙව්වගෙ සංගම් අටවා ගනිති . වැරද්දක් නැත . මගේ විරුද්ධත්වයක්ද නැත . මාත් මේ බැඳෙන වද නැද්ද කියා සිතා සිතා සිටිමි . ඉතින් මේ කාන්තා අවුරුදු උළෙලට අපිටද ආරාධනා ලැබිණි . එය නම් තරමක් රසවත්ය . ඇසු කාරණා අනුව මේ හැමෝගෙම අවුරුදු බොහොම සමානය..

තායිලන්තයේ නම් අවුරුද්දට ''නාගැනීම '' සිදුවේ . මුලින්ම බුදු පිළිම නාවා ඉන්පසු එකිනෙකා වතුර විද ගනී . අවුරුදු සමයේ අධික රස්නය නිසා මේ පුරුද්ද ඇති වුවා විය හැක .

 මියන්මාරයේ දීත් වතුර විදීම සිදුවේ . නමුත් ඒ අප්‍රේල් 12, සිට 16 තෙක්ය . අවුරුදු දිනය ලෙස සලකන්නේ 17 ය . හාල් පිටි වතුරින් අනා ගුලි සාදා උතුරන වතුරට දමන අතර ඒවා උඩ පාවීම සෞභාගය ලඟා වීමේ ලකුණකි . අපේ කිරි ඉතිරවීම වගේම යයි සිතේ .

නේපාලයත් මේ අවුරුද්ද සමරයි . සාමානය හින්දු පුද පුජා සහ මුදල් තෑගි දීම ඔවුන්ගේ සිරිතයි .
අලුත් අවුරුද්දට මුදල් දීම නම් කොහෙත් කෙරෙයි .

 චීන අවුරුද්දේද ''ලකී මනි '' කියා ලස්සන පොඩි කවර වල දමා මුදල් තෑගි දේ . විශේෂයෙන් ළමයින්ට , සේවකයින්ට මේ මුදල් ලැබේ .

ඉන්දියාවේත් විශේෂයෙන් දකුණු ඉන්දියාවේ මේ අවුරුදු සරනු ලබයි . සිරිත් විරිත් පළාතෙන් පළාතට වෙනස් වන බවයි කියවෙන්නේ .

කොයි රටෙත් අවුරුද්ද යනු අස්වනු කපා ගෙට ගත් සතුට සැමරීමත් ., වසර පුරා ඒකාකාරී වැඩ ගොන්නෙන් මිදීමත් මුල් කොට ගෙන ඇති වුවක් බවයි මගේ මතය .

 අපේ ළමයින්ට අවුරුදු එතරම් චමත්කාරයක් නොවේ . එහෙත් මම නම් බක් මහේ අසිරියෙන් අපමණ ආනන්දයට පත් ළමයෙක්මි . අවුරුද්ද ගැන මිහිරිම සුන්දරම ළමා මතක ගොන්නක හිමිකාරියක්මි. මේ අවුරුද්දේ ඒ මතක ලියා තබන්නට හැකිය . පරිගණකය ලෙඩ වී පසුගිය දිනවල හරි හමන් බ්ලොග් බැලීමක් නොවිය . බනිලාගේ තාත්තගේ පරිගණකය උදේ ගොස් ගෙදර එන්නේ රෑ බෝ විය . කොහොමටත් මගේ පුරුදු මුල්ලේ මිසක මට ලියනට හිතක් නැත .

ඊයේ ලැබුන අලුත්ම කිරි කිරි පරිගණකය මත අලුතින්ම ලියන පළමු වෙනි පිටුව මෙයයි .




බක් මහේ අවුරුදු නිවාඩුව එනතුරු අපි බලා සිටියෙමු . හිතු විටක ගන්නට කඩ පිලක් ගානේ ඇඳුම් එල්ලා නොතිබූ යුගයක අලුත් ඇඳුමක් ලැබීම විශේෂිත විය . අඩුවෙන් තිබු තරමට අගයද වැඩිය . ගෙදරට අඳින්නට චීත්ත ගවුමකුත් ගමනට අඳින්නට තරමක් හොඳ ඇඳුමකුත් මසා දෙන්නේ අම්මාය . ඒ අම්මගේ දුවලා නම් ඇඳුමක් මහන්නට ඉගෙන නොගත් බව ලජ්ජාවෙන් වුවද කිව යුතුය . ඒ චීත්ත ගවුම් වල සුවඳ අද වගේ මතකය .

කැවුම් තැනුයේ ගෙදරම පිටි කොටාය. හාල් පොඟවා වංගෙඩියේ කොටා පෙනේරයෙන් හලාගෙන කැවුම් සැදීම වැඩ රාශියකි. එහෙත් ඒවා කරදරයක් ලෙස සිතු බවක් මතක නැත . සිඟිති අත් වලින් අපිද උදව් කළෙමු . පෙනේරයෙන් පිටි හැලීම හරිම අමාරු කාරියකි . අතිරස වලට අනන පිටි ගුලියෙන් කුඩා බෝල සාදා වඩවා දීමට මන් හරි කැමති අමුවෙන්ම ටික ටික කටේ දාගන්නට ආසා නිසාය . අද කල්පනා කරන විට අම්මා ද එදවස කැවිලි සාදන්නට පර්යේෂණ මට්ටමේ සිටි බව සිතේ . අලුවා සදන්නට ගොස් වැරදුන වාර අනන්තය . නොවරදින කැවිලි වුයේ අතිරස , මුන් කැවුම් සහ කොකිස් ය . අම්මාගේ අම්මා ට හොඳින් කැවිලි සදන්නට හැකි වූ බව කිව යුතුමය . කෙසේ වුවත් අද මා උයන පිහන සියලු ලාංකීය කෑම වර්ග එදා ළමයෙකු ලෙස අම්මා උයන අයුරු බලා සිට උගත් දේය. විවා පත් වී යන තුරු තනිවම බතක් උයා නැති මා අද යම් තරමකට හොඳ මට්ටමේ කෑම සාදන අතර එයට ''පර්යේෂණාගාර මියෙකු වුවෙමියි'' ඉඳහිට සමහරුන්ගේ කතන්දර අසන්නට සිදුව ඇත .

මගේ විදේශීය මිතුරියන්ට නම් මගේ කෑම ඉතාම අගනේය . ඔවුන් ඒවා කන්නේ මගෙන් පමණක් වන නිසාය .
කෙසෙල් කැනක් ඉදවීම හරිම විනෝදයකි . වළක් කපා කෙසෙල් කැන වලදමා දුම් ගැස්සීම තාත්තගේ රාජකාරියකි . අවුරුදු කාලෙට අපේ ළමයින් වගේ '' සෝ බෝරින්'' කියන්නට අපි දැනන් උන්නේ නැත්තේ කරන්නට බොහෝ දේ තිබුන නිසාය . ''සෝ බෝරින් '' වී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නම් නෙමේ . ලෝකය කැරකෙන හැටි එහෙමය . ඒවාට මගේ විරුද්ධත්වයක් ද නැත . නුතන දියුණුව එපායයි කියා මොරදෙන්නටද මට අයිතියක් නැත . මා මේ කරනුයේ මගේ සිතේළමා මතකයන් අතගා බැලීම පමණි . මේ සටහන් ඇතැම් විට ඔබට නීරස විය හැක . මේවා සරල සහ පොදු අත්දැකීම් කියා සිතෙනු ඇත . එහෙත් මා මේ ලියන්නේ කලෙක මතකය දුබලව ගිය තරමට මා ජිවත් වුවහොත් කියවා රස විඳීමටත් මේවා කොහේ හෝ ලියා තැබිය යුතු බැවිනි .
ඒ ඒ නිවාඩු කාලයන්ට අපිට කරන්නට කුමක් හෝ වැඩක් තිබිණි . අගෝස්තුවේදී සරුංගල් පිස්සුවය . සරුංගලයක් තැනීමට දවසම ගතවේ . ඉරටු හෝ බට කපාගැනීමට , තට්ටුව සැදීමට වරුවක් යයි . සව්කොළ , නුල් පාප්ප සැදීමට පිටි ගන්නට මුදලක් සොයා ගත යුතුය . කැට හාරා හෝ අම්මලාට කෙඳිරි ගා සල්ලි සොයා ගෙන කඩේ යා යුතුය . ඊළඟට සරුංගලය අලවා ගත යුතුය . සරුංගලය අනික් කොල්ලන්ගේ මාට්ටුවකට අසුවී හෝ නුල කැඩී හෝ ගහක පටලැවී හෝ විනාශ වෙන තුරු දවසම උඩ අහස දිහා බලන් සරුංගල් අරිමු . අහසේ පාවෙන අනෙකුත් සරුංගල් බලා සතුටු වෙමු . ඒ සරුංගලය නැති වූ පසු අර වයාපෘතිය යලි මුල සිට . නිවාඩුව කවදාවත් ''සෝ බෝරින් '' වුයේ නැත .


අවුරුදු නිවාඩුව නම් ඊටත් එහාය . කැවුම් කොකිස් හදන්නට ගෙවල් දොරවල් මකුළුදැල් කඩා පිරිසිඳු කරන්නට අම්මාට උදව් කළෙමු . හොඳින් ගැලවෙන හොඳ කොකිස් අච්චු හැම ගෙදරම තිබුනේ නැත . තිබුනේ ගමේ ගෙවල් කිපයකය . අපේ ගෙදරට කිලෝමීටරයක් පමණ දුරින් වූ නදී අක්කලාගේ ගෙදර ගොසින් ගෙනා සමනල් කොකිස් අච්චුව හරිම ලස්සනය . කොකිස් අච්චුව ගේන්නට ගිය විට ඒ වත්තේ වෙරළු අහුලාගෙන අක්කලා සමග ටිකක් සෙල්ලමටද ඉඩක් ලැබේ . අපිට බොහෝ කලකට පෙර දිග ගිය ඒ අක්කලා අද කොහේ ඉන්නවාදැයි නොදනිමි . සැබවින්ම අතීතයේ හමු වූ සුන්දර මිතුරු මිතුරියන් අද කොහේ කොහේ ඉන්නවාදැයි නොදනිමි . ඒ ගැන විටක සියුම් දුකක් ඇති වුන ද ඔවුන් චීත්ත සන්තානයේ යස අපුරුවට ඉන්නා ඉන්නා බව මට සිතේ . ආපසු ගමට ගොස් වරිච්චි බිත්ති කුහර වල සැඟවූ නිධන් සොයනා ''අපු '' මෙන් සිත නමැති බිත්තියේ කුහර වල සැඟවූ අතීත මතකයන් අතගා බලන්නට මමද ආසා ය .


ගෙවල් අස් පස් කලද කැවුම් තැනුවද මොන දේ කලද අවුරුද්දට ගෙදර හිටියේ කලාතුරකිනි . නිවාඩුව ලබද්දීම අපගේ පරම පැතුම වෙනකකි . කොයි වේලේ ගමේ යන්නට ලැබේදැයි කියාය . ගමින් කොළඹට ආ අපේ තාත්තා හිතින් උන්නේ ගමේය . වයසට ගොස් කවදා හෝ ගමට යන්නෙමියි ඔහු හිතා උන්නේය . එහෙත් ඔහුට කොළඹම නවතින්නට සිදුවිය . ජීවිතය එහෙමය .

අපිත් අම්මගේ නෝක්කාඩු මැද වුවද ගමට පැන ගැනීමට ඇඟිලි ගැන්නෙමු. වැඩි චන්දය බලවත්ය . ඇතැම් විට නොනගතයට පෙරම අපි ගමේ යමු . අපේ අවුරුදු ගමන හරිම දිගය . කෙටියෙන් ලියා ඉවර කරන්නට බැරිය . අද හෙට හෝ කවදා හෝ ඉතුරු ටික ලියමි .


ජිවිතයේ එක එක යුගයන් වෙන් කිරීමට හොඳම නිර්ණායකය සිංහල අවුරුද්දයි . ප්‍රශ්න නොකරම සියල්ල රස විඳි ලස්සන ළමා කාලය . ...සියල්ල විද්‍යාවෙන් ඔප්පු කරන්නට තැත්කළ පුර්ව ගැටවර විය ..කැරලිකාර යව්වනය ..දරු මල්ලන් ලබා ජීවිතය සන්සුන් වන කාලය .....බැහැර ගිය දරු මුණුබුරන් අවුරුද්දකට වරක් වත් ඒ යයි පෙරුම් පුරන අවසාන සමය ...

අගක් මුලක් නැති කතන්දර ගොඩක් වුවාට සමාවන්න . මේවාගේ ලිපි වලට කමෙන්ට් කිරීම අමාරු වගත් දනිමි . හිතු විට ලියාගෙන යනවා මිස වෙන කුමක් කරන්නද . වෙනස් වෙන්නට දැන් පරක්කු වැඩිය .


ලැබූ අලුත් අවුරුද්දේ සැමට සතුට ලැබේවා !!!!