Thursday, March 14, 2013

නෙළුම් විල

නෙළුම් විල


අතීතයෙන් මල් අහුලන වසන්තයේ

Posted: 12 Mar 2013 11:38 PM PDT

සිතල අහවරයි . ඇවිදින්න යන්න හොඳ කාලේ . හිතුනම උදේට වැව වටේ රවුමක් යනවා . මේ ඉතින් වසන්ත කාලය . සිතල කාලය ඉවර වෙලා මෙහෙ අවුරුදු සමයේදී වැඩියම දැක්කේ පිච් මල් . තද සිත සමයේ තිබුනේ රෝස වගේ මල් වර්ග වැඩිපුර .

වසන්තයේ උදාවත් එක්ක නම දත් සහ නොදත් බොහෝ මල් වර්ග දාගත්තු මල් කුඩා බයිසිකල පාර පුරාම .

රෝස ඩේලියා දන්නා මල් . නම දන්නේ නැති පාට පාට මල් දැක්කම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි .


 ඒ වගේම තැන තන වවලා තියෙනව ලෝකේ තියෙන ලස්සනම පාට වල මල් . දාස් පෙතියා , සිනියාස් , කපුරු .......කුඩලු වර්ග ...සුරිය කාන්තා මල් ...

දැක්ක තැනක මල්වල පින්තුරයක් ගන්න එක සතුටක් . ඒ මල් නෙළුම්විලේ අයිනේ හිටවන්නමයි හිතෙන්නේ .

කලින් ලියාපු වැව ගැන මතකද . ඒ වැව ගාව වසන්ත උදානයේදී මලින් සරසලා තිබුණ . රාත්‍රියේදී විවිධ වර්ණයේ බකට් සහ වර්ණවත් විදුලි එලි වලින් ලස්සන කරලා තිබුණ . මල් වල ලස්සන බලන්න දවල් වෙනමම ගියා .



මේ නම් මල් කඩනවද කොහෙද ....




සොබාදහම කියන්නේ පුදුම දෙයක් . ටිකක් කල්පනාවෙන් හිතුවොත් හරිම පුදුම දේවල් දකින්න පුළුවන් . නිවර්තන රටක් වුන අපේ මල් හුඟක් සුවඳයි . හේතුව මොකක්ද දන්නේ නැහැ . පාට පාට හුඟක් තිබුනට මේ කාලයේ පිපෙන මල් එච්චර සුවඳක් නැහැ .

කොබෝලිල...
කැළණි පන්සලේ කොබෝලිල ගස් ගොඩාක් තිබුණ මතකයි

බිම වැටුන කොබෝලිල

ජම්බෝල මල් ..මේ මල් නම් හරිම සුවඳයි

ඩේලියා


සුවඳ හමන මල් මෙහෙ පිපෙන්නේ ගිම්හාන කාලෙට . රස්නයයි මල් වල සුවඳයි අතර මොකක් හරි අපුරු සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ .

මේ මල ඉඟුරු පවුලට අයිති එකක් කියලයි කෙනෙක් මට කිවේ . ඉඟුරු වගේම මේකේ අලයත් යම් යම් දේ වලට ගන්නවලු .

 
 
අහන දකින නහයට දැනෙන ඕනෑම දෙයක් ඔස්සේ අතීත මතක ඇත්නම් ඒ දේවල් දැනෙනවා වැඩියි . හරියට අර ජමනාරන් කතාවේ කිවා වගේ .

අපි හොඳට ගහකොළ ඇසුරේ හැදුන ළමයි . මලක් ගහක් කොලක් කියන්නේ අපේම ජිවිත වල වෙන් කරන්න බැරි දේවල් .

අපේ ගෙදර අම්මයි අය්යයි මල්ලියි ගස් වැවීමට අත්ගුනේ ඇති අය . අක්කයි මමයි එහෙමකට වැවිලි කාරියෝ නෙමේ . හැබැයි කොයි පොඩි ගැහැණු ළමයත් වගේ අපිත් පොඩි කාලේ මල් වැවුවා . කාලෙන් කාලෙට එක එක මෝස්තරේට .

මට මතකයි කාලයක් තිබුණ ඩුබායි රෝස , දවල් කුමාරි කියන නමින් අපි හඳුන්වපු පොඩි පාට පාට මල් ජාතියක් . හරිම ලේසියි . අතු කෑල්ලක් නිකන් ඇන්නත් පැලවුනා .

අපි දෙන්නා වෙන වෙනම පාත්ති දැම්මා . තව සිනියාස් ..අට පෙතියා ...දහස් පෙතියා ..[ අට පෙතියාට නම් පෙති අටයි . දාස් පෙතිය කවදාවත් පෙති ගණන් කරලා නැහැ . ඇත්තටම දාහක් ඇතිද කියල ]

අද වෙද්දී දකින්නම නැති තරම් රාජ කපුරු . මෙහෙ නම් මිටි බැඳ විකුනනවා රාජකපුරු .දැක්කම ඉතින් යාලුවෙක් දැක්කා වගේ .

ඒ ඇරෙන්න අරලිය ගහක් වතුසුදු ගහක් දෙකක් ,,ගාඩිනියා පඳුරක් අනිවාර්යයෙන් හැම ගෙදරකම වගේ තිබුනනේ . ඉද්ද හෙම නම් ඉඩම් වල නිකමට වගේනේ වැවිලා තිබුනේ . අපේ අම්මගේ ගමේ මහගෙදර මායිමේ රබර් වත්තක් තිබුණ . ඉද්ද ගස් පිරිලා .


පොඩි මාමා ගෙවත්ත ලස්සන කරන්න හරිම මහන්සි වුන කෙනෙක් .
මල් වත්තක් වගේ . සල්ලි වියදම් කරලා හෙම නෙවේ . මහන්සියෙන් .

බොරළු පවා එක තරමේ ගල්ද කියල හිතෙන තරමට පිළිවෙලට අතුරලා . [අම්මගේ ගම ගැන ලිපියක් ලියන්න ඕනේ ]

තාත්තගේ මහගෙදර එයිට දෙවෙනි නැහැ . ඒ ගැන නම් කලින් කිවනේ . නුවර එළියේ වගේ ලස්සන රෝස මල් . අපිත් ඉතින් තන්හාවට ඔය ගිය දිහාකින් අතු අරන් ඇවිත් හිටවනවා . කලාතුරකින් තමයි එහෙමකට හරි ගියේ .

දහම් පාසල යද්දී හරි පන්සල් යද්දී හරි අපිට මල් ගොඩාක් ඕන වුනා . ඒ කාලයේ ඉඩකඩම් වලට ලොකු තාප්ප වැටවල් තිබුනේ අඩුවෙන් . සමහර ගෙවල් වල සේපාලිකා ගස් තිබුණ . වතුසුද්ද වගේ මල් නම් නිකන් වැටවල් වලට හිටවලා . පාරේ යනගමන් වුනත් කුඩේ පුරෝ ගන්න පුළුවන් .

ඒ වගේම තමන්ට ඉඩ තිබිලත් ගහක් වවන්නේ නැතුව හැමදාම අනුන්ගේ ගස් වලින් මල් කඩන පන්සල් යන අයත් ඕනෑතරම් හිටියා . එහෙම මල් කඩන ගමන් ඉඩමට අලාබ හානි කල නරක ළමයිනුත් හිටියා .


සමහර ගෙවල් වල ලස්සනට මල් වවලා තිබුනට ඒ මල් පන්සල් ගෙනිච්චේ ගෙදර අය විතරයි .

තමුන් පන්සල් යන්නෙත් නැතුව අනුන්ට මලක් කඩන්නත් නොදෙන ගෙවලුත් තිබුණ .  ඔන්න ඔය වගේ එදිනෙදා අත්දැකීම් අහල දැකලා අපි ලොකු ළමයි වුනා . ගම දාල ගියා .

වාහන දුම විඳගෙන කලබල නගරයේ වටරවුමක පිපිච්ච අටපෙතියා මලක් දන්නෙවත් නැතුව ඇති අපිට ඒ මලුත් එක්ක කොයිතරම් සම්බන්ධකම් තියෙනවද කියල .


පින්තුර සේරම මගේ ...