Thursday, May 17, 2012

නෙළුම් විල

නෙළුම් විල


යලිත් මල් පිපී

Posted: 16 May 2012 09:59 AM PDT

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.