Sunday, February 19, 2012

නෙළුම් විල

නෙළුම් විල


සපත්තුව නැති වූ සින්ඩරෙල්ලා....සහ තවත් පර්ත් කතා

Posted: 18 Feb 2012 06:58 AM PST

ඕනෑම රටක නගරයක මට නම් හොඳම තැන කෞතුකාගාරය ..දවස් දෙකකට අඩිස් අබාබා ගිය වෙලාවෙත් කොහොම හරි කටු ගෙට යාගන්න අමතක කලේ නැහැ .ඒ වගේම පර්ත් වල කටුගෙට ගිය ගමනත් කිසිසේත්ම පාඩුවක් වුනේ නැහැ . අපේ බනිලගේ තාත්ත නම් ඒ තරම් ඉතිහාසයේ  කුණු කන්දල් අවුස්සන්න කැමති නැති වුනත් ඉතුරු තුන් දෙනාම නිසා ඔප දුපා සෙවීමේ සහජ උරුමය ලත් කාන්තා පක්ෂයේ වීම නිසා කටුගෙදර ගමන අනිවාර්ය වෙනවා .

අපේ බනිය නම් කකුල් රිදෙන තරම් ඇවිදින්න හොරයි . පර්ත් දුම්රිය පොලින් අරන් දුන්න අයිස් ක්‍රීම් කප්පම නිසා එයා අන්තිමේදී කැමති වුනා. නගර මාධ්‍යය සම්පුර්ණයෙන්ම වගේ ආවරණය කරන ''කැට්'' බස් සේවය හරිම අපුරුයි . දියුණු නගර වල ඉන්න අයට මේවා අලුත් දේවල් නොවුනත් මේක කියවන ගොඩක් දෙනෙක්ට මේක අලුත් සංකල්පයක් බව මන් දන්නවා . මටත් ඇතුළුව . පැරිසියේදී මේ වගේ බස් සේවයක් තිබුන වුනත් අපි වැඩිපුරම ගියේ කෝච්චි වල .

පර්ත් වල දුම්රිය සේවයත් ඉතාම හොඳයි . සල්ලි ඇති රටවල්නේ. සිතියම හෙම බලල අපි කෞතුකාගාරයට යන්න හැකි නිල් පාට කැට් බස් රථයකට නැග ගත්ත . මේ බස් වල සේවය නොමිලේ . සංවර්ධිත රටක වෙනස නේද .

පර්ත් කටුගෙය නොමිලේ නරඹන්න හැකියි . කොටස් කීපයකින් යුක්තයි . ස්වභාවික විද්‍යා අංශයටයි මගේ සිත වැඩියම ඇදුනේ ...

ඕස්ට්‍රේලියාවේ  සත්ව සහ ශාක ප්‍රජාව එයට විශේෂිත වුවක් . marsupials එහෙම නැත්නම් පැසක දරුවන් රඳවා සිටින සතුන් කාණ්ඩය ඔස්ට්‍රේලියාවට ආවේනිකයි . මන් ඕවා ඉගෙන ගත්තේ ටිකක් කලකට පෙර නිසා දැන් පිළිවෙලකට සත්ව කාණ්ඩ මතකයෙන් බෙදීමට හැකියාවක් නැහැ . එහෙත් අවැසි විටක කියවා මතක් කර ගන්නට හරිම ආසා විෂයක් තමයි ඔය . ඉගෙන ගන්න කාලයේ මේ වගේ තැන් වලට එන්නට ලැබුන නම් කොයිතරම් හොඳද . හැබැයි අපේ රටේ තරමට අපේ සත්තු වත්ත ඉතාම ඉහල මට්ටමක තියෙනවා . කොළඹ පාසලකට ගිය නිසා කීපවතාවක් අපගේ පැවරුම් කටයුතු සඳහා සත්තු වත්තට යාමට වාසනාව ලැබුන අයෙක් මන් .  එක්තරා ප්‍රදර්ශනයකට ගෙඹි රූපාන්තරණය පෙන්වන්නට අපට ඕනා උනා . ගෙම්බන් අල්ලා ගැනීම ඒ කාලයේ අපට එතරම් අමාරු කටයුත්තක් වුනේ නැහැ . අපේ විෂයමාලාව නිසා ඒ කාලයේ අසරණ ගෙම්බන් කීදෙනෙක් ජිවිත පුජා කලාද. ගෙඹි බිත්තර සොයා ගැනීම තමයි අමාරු වුනේ . සත්තු වත්තට ගොහින් ගෙඹි බිත්තර සොයන් ආ ගමන හරිම විනෝදයි . තරුණ සත්ව වේදීන්ගේ සංගමයේ දන්නා කියන අය උන් නිසාත් සත්තු වත්තේ අධ්‍යක්ෂවරියක් අපගේ ගුරුතුමෙක්ගේ බිරින්දෑ වූ නිසාත් අපට ඒ සඳහා අවසර ගැනීම පහසු වුනා . අපි කෙල්ලෝ පස් දෙනෙක් විතර හිටිය ඔය වගේ ගමන් බිමන් වලට නම් දරාපු. හිතුනොත් දෙයක් කොහොම හරි කරන්න හිතන . අද වගේ ඉන්ටර්නෙට් සෙල් ෆෝන් තියා අපේ දිහා රුපවාහිනියක් වත් නොතිබුන කලෙක සමහර විට අද ආපහු හැරිලා බලද්දී පුදුමත් හිතෙන විදියට අපි වැඩ කලේ . මෙතනට ආදාල නැතත් මේ ටික කිව්වේ අපේ සත්තු වත්ත කොයිතරම් අධ්‍යාපනයට යොදා ගන්න හැකිද කියල කියන්නත් ඒ කාලයේ ලස්සන මතකයක් මතක් වුන නිසාත් . මේවා කවදාවත් පිළිවෙලකට නම් ලියවෙන එකක් නැහැ මෙහෙම තැන්වල මිසක  .


ඉතින් මේ පර්ත් කෞතුකාගාරයට ආයේ යමුකෝ . අලි කොටි වලස් කැන්ගරු සහ එකී නොකී ඕස්ට්‍රේලියාවේ ඉන්න නොඉන්න සත්තුන්ගේ ඇට සැකිලි ..වගේම පුළුන් පුරෝපු එවුනුත් සැහෙන හිටිය .
දැකපු ලොකුම සමනල් එකතුව එතන තිබුන .






මලත් මෙයා ගහක් උඩ ..
කෝලා
මෙයා ඉස්සර ඉන්න ඇත්තේ මෙහෙම

මේ නම් ඉතින් අපේ කවුරු හරි


තල්මහගේ කොඳු ඇටයක්

සමනලුන්ගෙන් ටිකක්




ස්වභාවික අංශය ඇරුනම අබෝරිජිනල් ඉතිහාසය ගැන වෙනම කොටසක් වෙන් කරලා තිබුන එකත් මගේ සිත ගත්ත . එතැනදී පින්තුර ගැනීම තහනම් . අබෝරිජිනල් නිජබිම් ..බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ ඔවුන් අතර ඇති වුන ගැටුම් වගේ දේවල් ගැන ගොඩක් විස්තර තිබුන . ඒ වගේම අබෝරිජිනල් වරු සහ සුදු ජාතිකයින් අතර විවාහ පවා සිදුවෙලා තියෙනවා . සමහර සුදු ජාතිකයින් අබෝරිජිනල් වරුන්ගේ නිදහස වෙනුවෙනුත් වැඩ කර ඇති බව දක්නට ලැබුන .


ජීවයේ සම්භවයේ සිට සත්ව පරිනාමයත් පෘථිවි ගර්භයේ ඇති වටිනා පාෂාණ ගැනත් සැහෙන විස්තර තියෙන අංශයකුත් එහි තියෙනවා . අධ්‍යාපනය ලබන අයට හරිම වැදගත් .



කැන්ගරු දත් වලින් හදපු මාලයක්

අබෝරිජිනල් වරුන්ගේ ආයුධ ...

ප්‍රසිද්ධ බුමරන්ගය ..දන්නවනේ යවපු කෙනාගේ අතට එන ආයුධය .. [මේ රුපය නම් ගත්තේ ගුගල් වලින් ..]

බ්‍රිතාන්‍ය ගැන විශේෂ ප්‍රදර්ශනයක් තිබුන ඒ දවස්වල . මේ තියෙන්නේ වික්ටෝරියන් රැජිනගේ කළු ඇඳුමක් . එයා සැමියා මිය ගියාට පස්සේ අන්දේම කළුලු. චිත්‍රපටයේ නම් හිටියේ කෙට්ටු ලස්සන නිලියක් . මේ ගවුමේ තරමට නම් ...???



අපි වැඩිහරියක් ගත කලේ පොඩි අයට පුංචි පුංචි ක්‍රියාකාරකම් කරන්න තිබුන අංශයේ .
මෙතනදිත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ බනිය නැති පින්තුරයක් හොයා ගන්න බැරි එක
.
පර්ත් කියන්නේ සමුද්‍රාසන්න නගරයක් . මේ වගේ තැනක මින් මැදුරක් අනිවාර්ය අංගයක් වෙනවා . ඔබා මාමා පුද්ගලිකව තමන්ගේ වටිනා කාලය කැපකරලා අපව එක්කරගෙන ගිය තැන් වලින් එකක් තමයි මින් මැදුර. මගේ ජිවිත කාලය තුල මන් මින් මැදුරු සැහෙන ගානකට ගිහින් තියෙනවා . කොච්චර දැක්කත් මාළු දකින්න අපි කවුරුත් ආසයිනේ . පොඩි සහ ලොකු ළමයි සේරම මාළු බලන්න නම් කැමති වුනා .


මෙන්න බලන්න අපේ ඔලුව උඩ විශාල මෝරු . විදුරු හය්ය හන්ද හොඳයි

මෙයා නම් නෝනා එක්ක තරහ වෙලා වගේ


.

කොහොමද දත් සෙට් එක




සිංහ මාළුවා ..ෂර්ලොක් හොල්ම්ස් කතාවක විෂ සහිත මේ මාළුවා ගැන තියෙනවා මතකද



මේ තියෙන්නේ ඉන්දියන් සාගරය...මේ ඉමක් නැති සයුරේ අනෙක් කෙළවරෙහි තැනක අපේ කුඩා රට ඇති නේද කියා හිතෙන කොට නම් පුංචි දුකකුත් ඇති වුනා .


මේ බෝට්ටු විනෝදෙට මුහුදු යන අයගේ ..බටහිර චිත්‍රපටවල මෙවැනි දර්ශන දැක තිබෙනවා නේද

ඔස්ට්‍රේලියාව කිව්වම අපිට මතක් වෙන්නේ අපේ පාර අයින් වල වෙල්යායවල් වල ඉන්න මීහරක් වගේ පාරවල් පුරාම කැන්ගරු ඇති කියානේ . කටුගෙයි පුළුන් පුරෝපු එව්වෝ ඇරුනම උද්‍යාන වල තමයි උන්ව දකින්න පුළුවන් වෙන්නේ  පර්ත් වලදී නම් . අපි සත්තු වත්තට නම් ගියේ නැහැ . ආරණ්‍ය සේනාසනයට ගිය ගමනේදී අතරමග තැනක අපිට සොයා සොයා හිටි කැන්ගරු වන්ව හමු වුනා .



ලිපියේ මාතෘකාව වෙච්ච කතන්දරේ ඔන්න දැන් තමයි ..අහම්බෙන් වගේ අපි එහෙ ඉඳල තියෙන්නේ ඔසිලට වැදගත් වෙච්ච ඕස්ට්‍රේලියා දිනය යෙදුනු සතියේ . ඒ  කියන්නේ ජනවාරි 26 වෙනිදා . ජේම්ස් කුක් ගොඩ බැස්ස දවස වෙන්න ඕනේ මේ සමරන්නේ . මේ ගැන ඔබා මාමගේ ලිපියකුත් පළවුනා . අපේ වාසනාවකට සුප්‍රසිද්ධ මල් වෙඩි සංදර්ශන පවත්වන ප්‍රාදේශීය නගරයක තමයි අපි උන්නේ . ඒ හින්ද නගරයේ තදබදයට අහු නොවී ඒ පැත්තේ තිබ්බ උස තැනක ඉඳන් අපි ලස්සන මල් වෙඩි බලා ගත්ත .


මේ දිනය සුදු අය සතුටින් විනෝදෙන් සැමරුවට ස්වදේශීය අබෝරිජින් කට්ටිය ට මේක සතුටින් සමරන්න බැරි එක අහන්න දෙයක් නැහැනේ . සුදු අය එදා නිවාඩුව කෙළිදෙලෙන් ගත කරද්දී සමහර අබෝරිජිනල් සංවිධාන පෙළපාලි විරෝධතා සංවිධානය කර තිබුන .


ඔසී අගමැතිනිය හොඳ පෙනුමැති කාන්තාවක් .නම ජුලියා ගිලාර්ඩ් ..මෙයා විපක්ෂ නායකයත් එක්ක [ අපේ වගේම තමයි මෙයා එයාල සමගියි ] පදක්කම් පිරිනමන කටයුත්තක යෙදිලා ඉදිද්දී අබෝරිජිනල් පෙලපාලිකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වෙලා . එක සපත්තුවක් ගැලවිලා තනි සපත්තුවෙන් තමයි ඇය ආරක්ෂකයින්ගේ උදව්වෙන් වාහනයට ගොඩ වෙලා තියෙන්නේ . මෙතන තියෙනවා පින්තුර සහ වැඩි විස්තර

Monday, February 13, 2012

නෙළුම් විල

නෙළුම් විල


කළු හංසයින්ගේ පාරාදීසය ...''පර්ත් ''

Posted: 13 Feb 2012 02:52 AM PST

පර්ත් චාරිකාව නිමවී සති කීපයක් ඉක්ම ගියද අද ලියමි හෙට ලියමි යයි සිතන හිටියද හැමදාම ලියන්ට බැරි විය . කම්මැලි කමද වැඩ වැඩිකමද ඔය දෙකමද නොදන්නෙමි . අනික් කාරණය වන්නේ ඇබ්බැහි වුවිට අබින් කෑවා සේ වුවත් අතහැර දැමු විට අහලකට වත් යන්නට නොහිතෙන මගේ නරක පුරුද්ද සේරටම වඩා ලොකුය .
බොහෝ දේ අසා ඇති අපේ සමීපතම නෑයන් මිතුරන් පුරවැසියන් වී සිටින කැන්ගරු දේශය කාටත් ඉතියෝපියාව තරම් නුහුරු රටක් නොවීමද ලියන්නට තරම් නැවුම් ගතියක් නොදැනීමට එක හේතුවක් යයි සිතමි .
ස්වදෙශිකයින්ගේ ඉතිහාසය ඉතාම පැරණි මුත් වසර දෙසියගනනක් ළඟ ඉතිහාසයක් ඇති වත්මන් ඔස්ට්‍රේලියාව අපට වඩා සමීපය . වැඩිපුරම ජනාකීර්ණ වන්නේ නැගෙනහිර පෙදෙස නමුත් අප නොයෙකුත් හේතු මත බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය තෝරා ගතිමු .



ගඟක් පොකුණක් අඳින්නට වූ කල කුඩා සන්දියේ මා අතට අසු වන්නේ නිල් පාට කූරක්මය..''සුනිල දිය '' ලෙස වතුරේ පැහැය මා  සිත් තුල කලින්ම පැල පදියම් වී තිබු නමුදු ඉඳහිටක දුටු මුහුදේ මිසක නිල් ජල තලයක් එකල මා දැක තිබුණේදැයි සැකය . කැළණි නදී දිය කොළට හුරු පාටය
කහවත්තෙන් ගලන වේ ගඟ මඩ පාටය ...ළිං පොකුණු වල ජලයට බොහෝ විට පැහැයක් නොතිබිණි.




එහෙත් බටහිර ඕස්ට්‍රේලියාවේ හංස නදිය [Swan River ] සුනිල්වන් නිල් පැහැතිය .

පෙදෙසට ආවේනික කළු හංසයින් නිසා මේ ගඟට හංස නදිය වුවා මෙන්ම නගරයේ සංකේතයද හංසයා වූ බව කියවේ .


මේ නම තැබීම සිදුවුයේ 17 වෙනි සියවසේදී ඕලන්ද ජාතික ගවේෂකයෙක් විසින් . ඒ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බහින්නටත් පෙර .  මේ ගඟ ආශ්‍රිතව සුදු ජනාවාස බිහි වුයේ නම් ඉතාම පසුකලෙක . ''සුදු ජනාවාස '' කිවේ කවුරුත් දන්නා පරිදි ආදිවාසීන් ඇබෝරිජිනල් මිනිසුන් මේ පළාත්වල ඉන්නට ඇති  නිසාය . ඇතැම් ප්‍රදේශ තවමත් ඇබෝරිජිනල් නම් වලින් හැඳින්වෙන නිසාය . උදාහරණයකට ''මරපානා '' ගත හැක . [සමහරු කියන්නේ මාරපන කියාය ]

බෙල් කුළුණ
සීනු පද්ධතිය


හංස නදිය අද්දර සීනු කුළුණ නගරයේ විශේෂිත ලකුණකි .[ Bell tower ] . සීනුවක හැඩති කුළුණ තුල  සුවිශේෂ සීනු පද්ධතියකි. සීනු 18 කින් යුත් මෙහි වත්මන් නාමය Swan bells වුවත් එහි ඉතිහාසය ඈතට දිවෙයි .  බ්‍රිතාන්‍යයේ     St Martin-in-the-Fields දේවස්ථානයේ ලෙළදුන් ඉපැරණි සීනු 12 කින් යුත් පද්ධතිය බටහිර ඔස්ට්‍රේලියාවට 1988 දී පරිත්‍යාග කරනු ලබා ඇත . රසවත්ම කාරණය වන්නේ ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව සොයා ගත් චාරිකාව දියත් කිරීමේදී මේ සීනු රැව් දුන් වගයි .



ජේම්ස් කුක්  
   St Martin-in-the-Fields  දෙව් මැදුරේ ඉතිහාසයත් මේවා ගැන පිස්සු ඇති මාවැනි අයට නම් රසවත් වේ යයි සිතමි . හිස් ගසා දැමීමට පතල ටියුඩර් පරපුරේ අටවැනි හෙන්රි රජු වරක් මේ පල්ලිය අලුත් වැඩියා කර ඇත . අපොයි එයා හොඳ වැඩත් කර ඇත්දැයි අසන්නට ඉක්මන් විය යුතු නැත . උන්දා මේ පල්ලිය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ඒ පළාතේ සිටි මහාමාරිය  රෝගීන් තමන්ගේ මාලිගාව අසලින් වෙන පල්ලි වලට යන එක නවත්වන්නටය . ලන්ඩනයේ ඉන්න අපේ කට්ටියට  නම් මේ පල්ලිය දැක ගන්නට අවස්ථාව ලැබෙන්නටත් ඇත .
එකල නිර්මාණය වුන ළමා කවි වලත් මේ සීනු ගැන කියවේ . මෙවැනි සීනු පද්ධති රැසක් ලන්ඩනය තුල තිබු බව ඒවායින් පෙනේ . මුල් පද වලට අමතරව හිස් සිඳලන වධකයින් ගැනත් කියවෙන මේ ගීතය ඔබ අසා තිබේද
 Oranges and lemons,
Say the bells of St. Clement's.

You owe me five farthings,
Say the bells of St. Martin's.

When will you pay me?
Say the bells of Old Bailey.

When I grow rich,
Say the bells of Shoreditch.

When will that be?
Say the bells of Stepney.

I do not know,
Says the great bell of Bow.

Here comes a candle to light you to bed,
And here comes a chopper to chop off your head
හිස් ගසා දැමීම එකල හුස්ම ගැනීම තරම්ම සාමාන්‍ය දෙයක් වී තිබෙන්නට ඇත .
ඒවා අමතර කතාය . අපේ ලොක්කි පසුගිය කාලයේ ගෙනා ''ටෙරිබල් ටියුඩර්ස්'' කියන පොත් මාලාව කියවූ විට ඒ ගැන ලිවීමට    සිතා සිටියත් මග ඇරී ගියේය .


මන් උන්නේ Perth වල නොවැ. ......

අප දරු පවුල් කාරයින් නිසා අපේ ජිවිත සැලසුම් මෙන්ම ගමනක් ගිය විට කන බොන දේ සිට යන එන නරඹන සියල්ල පොඩ්ඩන් ගැන සිතා කරන්නට සිදුවේ .ඒ වුනත්  හිතු මතේ බයිසිකල් චාරිකා යන වාසනාවන්ත තනිකඩයින්ට අපේ ඉරිසියාවක් නම් නැත .ඔවුන්ගේ චාරිකා සටහන් කියවා අපේ බනිලගේ තාත්තටත් ඒ වගේ යන්ට ඕනා යයි කිවත් සැබෑවට නම් ඒ සෙල්ලම් බැරිය ...D.....

ඉතින් අපේ පර්ත් ගමනේත් වැඩිපුරම පොඩ්ඩන් ගැන සිතා ඔවුන්ට ආසා තැන් පමණක් බලන්නට ගියෙමු . අපේ ලොක්කිට නම් කොහෙවත් නොයා ඔබා මාමලාගේ ගරාජයේ ''කළු '' සමග සෙල්ලම් කිරීම සැපත විය . ගමනේ ඇය සොයා ගත් අනර්ගම වස්තුව කළුය.
මුහුද කොපමණ ලස්සන වුවත් අධික රස්නය නිසා වෙරළේ සුන්දරත්වය විඳීමට නම් බැරි විය .  ඒ රටේ අය නම් වගේ වගක් නැතුව වෙරළේ කෙළිදෙලෙන් ගත කරනු දුටුවෙමු . එහි සයුර ඉතාම සුන්දර බව නම් නොකියා බැරිය .

වන අරණක පිහිටි ''සර්පන්ටයින් '' බෞද්ධ ආශ්‍රමය ...[ මේ ගැන ඔබා මාමා ඔහුගේ ලිපි වලින් මිට කලින් සඳහන් කර තිබේ ] දැක බලා ගැනීම ඉතාම අනගි අත්දැකීමක් විය . එපමණක් නොවේ අපට එහි වැඩ වසන ස්වාමින් වහන්සේලාට දානය පිළිගැන්වීමට ඉඩකඩ ලැබීම විරල වාසනාවකි . මේ ගැන සියලු ස්තුතිය ඔබා මාමටත් විශේෂයෙන් ඔබි නැන්දාටත් හිමි වේ .

......මතු සම්බන්ධයි ...
 
ලිවිම කෙසේ වෙතත්  මින් මැදුරේ , කටුගෙදර ,අවුරලින් උද්භිද උයන වගේ ලස්සන තැන් වල පින්තුර ටිකක් වත් ඉදිරියේදී පලවේවි . පින්තුර දැමීමේදී මට තියෙන ලොකුම ප්‍රශ්නේ අඩු ගානේ අපේ බනියාවත් රිංගල ඇති හැම පින්තුරෙකම . කවුරුවත් නැති පින්තුර ඇත්තෙම නැති තරම්
 
 
ප.ලි...
කොටස් වශයෙන් ලිවිම මහා කරදරයකි . ලියන්නේ නැතැයි ඇනුම් පද  අසා මටත් ඇති වී ඇත . බනින කෙනාටත් එපා වී ඇති හැඩකි. කොච්චර බැන බැන වුනත් දවසකට දෙතුන් පාරක් මේ පැත්තේ එන්නට ඔහුට සිදු වන්නේ අනික් බ්ලොග් වලට යාමට පාරක් ලෙසිනි .

Sunday, January 29, 2012

නෙළුම් විල

නෙළුම් විල


හංසයින්ගේ නගරයේ හංස යුවලක් සමග

Posted: 28 Jan 2012 08:49 PM PST




චීන නව වසර ගෙවෙන්නේ සතියක්ම නගරය පාළුවට ඇද දමමින්ය . සිංහල අවුරුද්දේ කොළඹ නගරයට උරුම වෙන හුදකලා බව සේමය . වසා දැමුණ කඩ සාප්පු අවන්හල් අතර අතරමන් වීමට වඩා බොහෝ  විදේශිකයින් නගරයෙන් පලා යාම තෝරා ගනිති. අපට ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් ලැබුන අතර අපේ හිතවත් ඔබා මාමා නිසා අපට මේ ගමන නියමම නිවාඩුවක් විය .

බ්ලොග් ලිවීමෙන් පමණක් අඳුනා ගත් පමණින් ගෙදර නවතා ගෙන සියලු ආගන්තුක සත්කාර කිරීමට තරම් විසල් හදවතක් ඇති ඔබා මාමාට සහ ඔබා නැන්දාට මගේත් බනිලගේ තාත්තගෙත් ලොක්කිගේ සහ බනිගේත් අපමණ ආදර ස්තුතිය හිමිවේ.

මේ බටහිර ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සමයයි . එහෙත් එම රස්නය අපට වැඩිපුර නොදැනුනේ ඔබා මාමගේ සහ නැන්දා ගේ කරුණාවත් ප්‍රිය සමාගමයත් නිසා බව කිව යුතුමය .

දරුවන් දිග තල දී නිස්කලංකව හිඳිනා ඒ යුවලගේ නිවසට කුණාටුවක් මෙන් කඩා වැදී අපේ ගෙදර වගේම කරගන්නට අපේ ලොක්කි සහ බනියා සමත් වූ අතර විශේෂයෙන් බනිගේ ඉල්ලීම් වර්ජන නැන්දයි මාමයි මැදහත් සිතින් ඉවසූ එකම පුදුමයකි .

කලකින් ගෙවූ හොඳම නිවාඩුව මෙය බවත් එහි තතු කියන්නට පෙර ඔවුන් දෙපලට මගේ ස්තුතිය පුදකරන අතර දිර්ගායු ලැබ නිදුක් නිරෝගිව මේ වගේම සතුටෙන් සමගියෙන් තව කල් ගෙවන්නට වාසනාව ලැබෙන්නත් පතමි .


මැහුමින් ගෙතුමින්ද හොඳ නිමවුම් කරන
බණ බාවනාවෙන් කවියෙන් සිත නිවන
ඉවසීමෙන් මාමගෙ දුක සැප         බලන
නැන්දා තමයි ඒ ගෙදරට මිණි        පහන

..වයසට ගොහින් නැහැ තාමත් හිත තරුණ
නිතරම සිනාවෙන් දවසම කල්          අරින
මල්ලක් කතා ඇති එක් කරගෙන     පරණ
මාමා .''....'' යයි ගෙදරට නම්              දරන

වයසට ගියහම මෙන්න මේ වගේ ඉන්න ඕනේ කියල තමයි මගේ අදහස .


ලියන්න දේවල් ගොඩක් තිබුනත් අනවශ්‍ය විදියට පුද්ගලික තොරතුරු එලි කරන්න හොඳ නැති හන්ද වැඩිය මොකුත් නොලිය ඉන්න තීරණය කළා . ඒ වුනත් විශේෂ සිදුවීම් කීපයක් නම් තියෙනවා වෙනම ලියන්න ඕන පසුවට .


නගරයේ විසිතුරු ඊළඟ කොටසින් ගෙන එන්න බලාපොරොත්තුව . ඕස්ට්‍රේලියාවේ බ්ලොග් ලියන අය ගොඩක් හිටියට දන්නා තරමින් එහි ඉතිහාසෙත් අනෙකුත් තොරතුරුත් ලියවුන බවක් මම දැක නැහැ . ඔබා මාමගේ උදවුත් අරගෙන මා දුටු දේවලින් සහ තව යමක් අලුතින් කියවල හෙට දිහාට ඒ ගැන කතා කරන්නම් .

Saturday, January 28, 2012

Seo Tools Submit 1000 backlink FREE!!!!

Seo Tools Submit 1000 backlink FREE!!!!

Seo Tools Submit 1000 backlink FREE!!!
Submit Artikel Ke Blog ini

Judul Post/Tittle :

Artikel/Article :

Link Post :