Friday, June 22, 2012

නෙළුම් විල

නෙළුම් විල


පොළොවින් අහසට.. අහසින් පොළොවට ..දුක සැප දෙක මැද ජිවත් වෙනකොට

Posted: 21 Jun 2012 11:10 AM PDT

දවසක පොළොවින් අහසට ඉගිලෙයි
හෙට ආයෙත් පොළොවේ පය රඳවයි
සතුටයි කඳුලයි සමලෙස      හිමිවෙයි
ඔබටත් මට වාගෙම දැයි       විමසයි




හැම අවුරුද්දේම බෑන් කි මුන් මහතා මාස දෙකක්ම ඉස්කෝලේ ඉබ්බන් දමා ළමයින් ගෙදර එවයි . යුරෝපයෙන් ආ උදවියගේ පවුල් වල අම්මලා ළමයින්ද රැගෙන ගමරට දුවන්නේ ග්රිශ්මයේ රස්නයට බය නිසාය .සිංගප්පුරුව ජපානය කොරියාව වැනි රටවලින් ආ උදවිය වැඩිමනක් ගෙදර යන්නේ මේ ඉස්කෝලේ අධ්‍යාපනය තරඟකාරී නැති යයි සිතන ආසියාතික මානසිකත්වය නිසා ළමයින් මාස දෙකක් ඒ රටවල ඉස්කෝල වලට දමා දේශීය ඉගනීමට හුරුකිරිමටය .

අපි වගේ පිස්සන් කීපදෙනෙක් ඉතුරු වෙති . පාසල් නිවාඩුව ආසන්න වෙත්ම ගෙදර යන්නේ කවදාදැයි හැමෝම හැමෝගෙන්ම විමසති . අපි මෙහෙ නවතින බව කිවූ විට ඇස් ගෙඩි ලොකු කර බලා ඉන්නේ එක්කෝ මුන්ට පිස්සුද අසන්නට බැරිකමටය . නැත්නම් අනේ අසරණයින් අව්වට පිච්චිලා මැරෙයි ...කියාය . එහෙමත් නැතිනම් කාන්තාරයක අතරමංව සිටියදී තමන් පමණක් කෙම්බිමකට ලඟා වූ සෙයකිනි .


සැබවින්ම රැකියාවන් නොකරන අපි වාගේ අම්මලාගේ දවසද බොහෝ දුරට පාසැල මත රඳා පවතී . 90% පමණ අඳුනන අයද පාසැල හරහා හමු වූ අයය. එහෙයින් මාස දෙකක් පාසලින් වෙන්ව සිටීම තරමකට කාන්තාරයක තනිවිමක් බඳුය .

එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් අපිට අව්ව වැස්ස හොඳ හැටි පුරුදු බවය . ග්රිශ්මයේ දී අපේ රටට වඩා තරමක් රස්නය වැඩි මුත් අපිට නම් ඉවසිය හැක . අපි නිවර්තන ජීවින් බව ඔවුනට අමතකය . අනිත් අතට දෙය්යනේ කියා වතුරකට බැස පිනන්නට හැක්කේද මේ කාලයට පමණි . නිවාඩු කාලය හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයකි . නරක නම් පරිගණකයට දවස් පුරාම අයිතිකාරයෝ සිටීමය ..අනෙක නිතරම සෙල්ලම් කිරීමට එක්කරන් යායුතු වීමය . අප වාගේ තවත් පිස්සන් කීපදෙනෙක් ඉන්නා නිසා ඒ ළමයින් එක්කෝ මෙහෙ එති . නැත්නම් මෙයාල එහෙ යති .

ඔය සේරම අලකලංචි අතරට ශෝචනියම තත්වයක් එක්කහු වුයේ බ්ලොග් පිටුවට යාමට බැරිවීමය.
යම් ක්‍රමයකින් එය හරි ගිය මුත් ලියන්නට නිස්කාන්සුවක්ද නොලැබිණ .

ඔය අතරේ මිතුරු බ්ලොග් ලියන්නන් ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන වේගයට බොහෝ දේවල් තවමත් කියවන්නට බැරි විය . මමය මාගේය කියා දෙයක් නැති බව නම් යලිත් වරක් පසක් කර ගතිමි . මගේ යයි සිතන පරිගණකය විනාඩියෙන් අනෙක් අතට පත් විය හැක . මගේ යයි සිතන බ්ලොග් පිටු අනුන්ගේ තහනම් නියෝග වලට කොයි වෙලේ යට වේදයි කිව නොහැක .

මෙහි කුරුටු ගාන්නට පුරුදු වූ කල කොහේ හෝ අකුරක් නොකොටා ඉන්නා එකත් අපහසු වැඩකි . මුණු පොතේ වැඩිපුර රස්තියාදු වෙමින්ද පරණ දින පොතක අපිළිවෙලට කුරුටු ගාමින්ද කල දවස ගෙවිනි . පොත් ගොන්නකට යටවී තිබුන ඒ පොත ගැන මට මහා දාර්ශනික සිතුවිල්ලක්ද පහල විය . එය කුරු ගෑවේ මුණු පොතේ නිසාත් මුණු පොතෙන් මාව දන්නේ සුළු පිරිසක් නිසාත් මෙහිම ලියා තබමි . මෙවැනි දුලබ අදහසක් වැළලී යාමට ඉඩ නොදිය යුතුය ..D
 
 
'''''''''පරිගණකය , අන්තර්ජාලය .... ජිවිතයේ සරු කලෙකදී පෙම් බඳින රූමත් අනියම් පෙම්වතියන්ය . ඔවුන් ලං වූ විට නැති බැරි කල දීග ආ දුප්පත් දිනපොත් මනාලිය අමතක වේ. ඔවුන් සුකොමලය . මායම් අසු හාරදාහක් දනී . විවිධාකාරයේ නවීන මොස්තරයන්ගේ සැරසෙති . කෑල්ලක් පණුවෝ කාදමන ලද ඇපල් ගෙඩියක් පැළඳිම අලුත්ම මෝස්තරයයි . ඉඳහිට මේ රුවැත්තියන් පැන යයි. යාන්තම් පය පැකිලී වැටුන කල කිසිම වැඩක් නොකර කෙඳිරි ගාන තරම් සියුමැලිය. විටක අ...නුන්ගේ බස් අසා අපට පිටු පා යයි .

එවිටයි ගෙදර අමතක කර ආ කබල් දිනපොත් බිරින්දෑ සිහිපත් වන්නේ .

''මට කොයිතරම් ලස්සන කෙල්ලෝ හමු වුනත් ඔයා තමයි මගේ සදා ආදරේ ''කියමින් ඈව සුරතල් කරති . ඈ ඔහු ගැන දනී . එහෙත් නොදන්නා සේ ආදරයෙන් පිලි ගනී ...නැවත අර රූමතියන් ඉඟි කල විට පැන යන බව දැන දැනම ....

මාත් අද එවැනි ලජ්ජා නැති සැමියෙක් වගේය... බ්ලොග් සුන්දරිය අනුන්ගේ බසට රැවටී පැන ගිය පසු යලිත් පරණ දින පොතකට ආදරය කරමි . '''''''''


[ මාගේ ස්ත්‍රී චින්තනය මෙසේ කීවාට පිරිමි ළමයින් කලබල විය යුතු නැත . එයාලට තියෙන්නේ උදාහරණය අනික් පැත්ත හරවා සිතීමය .තවමත් වැඩිමනක් ගෙවල්වල බලා සිටින්නේ ගැහැණිය බව සරල සත්‍යයක් නිසා පමණයි මා මේ ලෙස සිතුවේ ]
 
පසුගිය දිනවල ලියන්නට තිබුන බොහෝ වැදගත් දේවල් අතුරින් කීපයක් පමණක් මේ ලිපියට අමුනන්නට සිතමි .

එකක් නම් මෑතක ඉදිකළ වියට්නාමයේ උසම ගොඩනැගිල්ලේ 72 මහලේ ආකර්ශනීය ස්ථානයක් බැලීමට යාමය . ඇත්ත වශයෙන්ම මෙය ඉන්දු චීන රටවල් පහෙන්ම උසම එක යයි කියනු ලැබේ . මේ ඉන්දු චීන රටවල් අතරින් තායිලන්තය අරුණ විට අනික් ඒවා වල මිනිසුන්ට නම් අහසට නගින එකට වඩා ජිවත් වෙන එක ගැන සිතීමට ඇතිවාට නිසැකය .[ මියන්මාර , කාම්බෝජියා , ලාඕස් , වියට්නාම , තායිලන්තය මේ රටවල් පහ වේ ]
උඩට උඩට ගොඩනැගිලි බිහි වීම ගැන මට ඇත්තේ වෙනමම අදහසකි ඒගැන වෙනම දවසක කතා කරන්නට අවශ්‍යය .

කෙසේ වුවත් කොරියානුවන් විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ලේ උඩම මහල මහජනයාට මුදල් ගෙවා නැරඹිය හැකි නිසා ඕනෑම තැනකට යාමට අපේ පවුලම එක පයින් කැමති වන නිසාත් අපි එහි නැග්ගෙමු . එතනට මුළු හැනොයි පළාතම හරි අපුරුවට පෙනේ . දුරදක්නයට කාසියක් දමා වට පිට වඩා හොඳින් බලා ගත හැක .මුලදී අපේ බනියාගෙන් හැනොයි කළු පාටට පෙනේ යයි පැමිණිල්ලකි . දුරදක්නයේ වරදක්ද ..නැත . කපන්නට නොදී මුනත් වැහෙන්නට දමාගෙන ඉන්නා කොණ්ඩය දුරදක්නය වසාගෙනය .

පස්මාන චිත්‍රපටයක් [5D ] මුල් වරට බැලීමටද හැකි විය . ත්‍රිමාන චිත්‍රපට මේ වන විට බහුලය . සිව්මාන චිත්රපටරේදී ඉඳ ගන්න පුටු සෙලවීම වතුර ඉසීම වැනි උපක්‍රම විඳිය හැක . පස් මාන වලදී තිරය අංශක 360 පුරාම වටකර සිටි . නරඹන්නා ඉන්නේ මැදිනි . අප නැරඹු මුහුද යට දර්ශන සහිත සිතුවම් පටය ඉතාම ලස්සන බව කිව යුතුය .

සියල්ලටම වඩා මා සිත් ගත්තේ ''පන ඇති කෞතුකාගාරය ''[ Alive Museum ] නමැති කලාගාරයයි ., ජීවමාන ගුණයක් ඇති අපුරු නිර්මාණ අතර මොහොතක් මා ළමයෙකු සේ විනෝද වූ බව කිව යුතුමයි .


පෙනේද ජනාකීර්ණ වී ඇති තරම . ඈතින් පෙනෙන්නේ රතු ගඟ




මේ අර Auguste Renoir ගේ චිත්රයක්නේ චිත්‍රාට ඉර ඇබින්දක් කියල මෙයා ගැන මන් කලින් ලිපියක් ලිව්වා

ඉස්සරහ ඉඳන් අත  වනුවහම මෙයා වාදනය කරනවා



එක මොනාලිසා කෙනෙක් හුලන් පිඹින කොට මේ රෙදිකඩ අනික් පැත්තට යනවා

අය්යෝ යන්න එපා අනේ ..ඔන්න මේ මන් නම් නෙමේ ..මොහිනිගේ නංගි වගේ නේද











අදට මේ ඇති යයි සිතේ . දැනටමත් අච්චාරුවක් වී ඇති එකේ තවත් මොකටද .

Tuesday, May 29, 2012

නෙළුම් විල

නෙළුම් විල


දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ

Posted: 28 May 2012 10:01 PM PDT

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .

මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .

අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D

මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .

අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .

එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .


හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි


හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .

මේක උණ බට ඔන්චිල්ලාවක්




හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..


අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .

කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .

කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .

කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .


බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .


ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]

උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .


එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන


කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .


අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D



Sunday, May 27, 2012

නෙළුම් විල

නෙළුම් විල


ජපන් හොදි .... ඇලෙන බත් කේක් ...සමග ''වළන් වාසනාව ''

Posted: 26 May 2012 08:42 AM PDT

පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .



ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .



Banh chung     [හදන හැටි ඕන නම්]   හෙවත් sticky rice Cake .




මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .


. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ




මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .



මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .

බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .

සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .

මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .

රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.

හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .

රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .






ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .

 චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .


ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .

කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය



ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .

Friday, May 25, 2012

නෙළුම් විල

නෙළුම් විල


ලෙනින් සහ කාල් මාක්ස් එක්ක කෑම කෑවෙමි

Posted: 24 May 2012 10:02 AM PDT

අද දවල්ට කෑවේ පස් දෙනෙක් එක්ක . යෙහෙලියන් දෙන්නයි ටයි කොන්ඩෝ පැංචායි ...ලෙනින් සහ කාල් මාක්ස් දෙන්නයි . තව නම දන්නේ නැති එක්කෙනෙකුත් හිටියා . මාක්ස් මහත්තය දැක්කට වඩා මට ඇත්තටම පුදුම සතුටක් ඇති වුනේ ලෙනින් දුටුවම . හරිම අහඹු හමු වීමක් . ඒ මුහුණේ මද සිනහව පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ .

කලෙක බොහොම ආදරය කල කෙනෙක් හමුවුනා වගේ දැනුනා . ළමා වියේ සිට යව්වනය දක්වා ජිවිතේ එක පරිච්චේදයක් පුරා අපි කරක් ගැසූ වොල්ගා ගඟ බඩ....සයිබීරියා හිමකතර ..ඉමක් කොනක් නැති ඉරිඟු බිම්..පොප්ලර් ගස් ..ඒ සියලු සුන්දර මතක හිත පතුලෙන් මොහොතකට එලියට ආවා .
කවදාවත් විසිකරන්න බැරි මතක

අද ලියන්න හිටියේ නැතුව වුනත් මේ පින්තුර ටික නොදා කොහොමෙයි . වචන දාහකින් කියන්න බැරි දේ පින්තුරෙකින් කියන්න පුළුවන් කොට ......



.
මගේ ලාංකීය මිතුරියගේ උපන් දිනය නිසා කොරියන් මිතුරියකුත් එක්ක කන්න ගිය යුක්රේනියන් කෑම කඩේ තමයි මේ පින්තුර එල්ලලා තිබුනේ .
මේ කවුද කියා මට මතක නැහැ .
බොහෝ රටවල , සමාජවාදී රටවල පවා ලෙනින් ගේ පින්තුර අයින් වෙලා යද්දිත් හැනොයි වල ලෙනින් නමින් උද්‍යානයක් තියෙනවා . ප්‍රතිමාවකුත් එක්ක .









වොඩ්ක ත් තිබුන ,..ඔව්ව බිල හවසට ළමයි බලාගන්නේ කවුදැයි කියල හිතල නිකා හිටිය .



දැන් මේ පින්තුර දැම්මේ මේ මිනිසුන්ට අපහාසෙකින් වත් සමාජවාදය සහ ධනවාදය ගැන අඩුපාඩු දැක්වීමකට වත් නෙමේ . කොහොමත් ඒ අය බිහි වුනේ ඒ ඒ යුගවල අවශ්‍යතාවය අනුව කියලයි මගේ පිළිගැනීම. අනික අද නිශ්චිත'' වාදයකුත්'' නැති එකේ අපි මොකට පටලවෙනවද. අවන්කවම මන් සතුටුයි ලෙනින් මුණ ගැසීම ගැන .

Thursday, May 17, 2012

නෙළුම් විල

නෙළුම් විල


යලිත් මල් පිපී

Posted: 16 May 2012 09:59 AM PDT

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.

Monday, May 14, 2012

නෙළුම් විල

නෙළුම් විල


හංසයින්ගේ නගරයේ සොඳුරු හංසයාගේ නික්ම යාම ..

Posted: 13 May 2012 04:11 AM PDT


මේක කාගේ හරි ..නැත්නම් ඔබා මාමගේම හරි විහිළුවක් නම් . සේරමලා අහුවුනා නේද කියල හිනා වෙලා ඔබා මාමා කමෙන්ට් එකක් දානවනම් ..ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . අපි හැමෝගෙම ආදරණිය ඔබා මාමා . වේලාසනින්ම ගිහින් .
මහ රෑ අපි එනකම් ගුවන් තොටේ බලා ඉඳපු , අපිට නවාතැන් දීලා අපේම ගෙදරක් වගේ දැනෙන තරමට ඉඩ සලසපු ...උදේ රෑ අපේ බනිගේ කුරු කුරු හිනා මුවින් ඉවසපු ..හංසයින්ගේ නගරය පුරාම අපිව එක්ක ගියපු ..ඔබා මාමා .


සයිබරයේ තරුණ පරම්පරාව එක්ක පෑහෙන්න තරම් නැත්නම් ඒ තරුණයින්ටත් වඩා තරුණ හිතක් තිබුන ..කාගෙවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ..ලිව්ව හැම වචනෙන්ම අපිව හිනා ගස්සපු විහිලු කාර මිනිසා තුල ලෝකය ගැන පුළුල් දැනුමක් තිබුන ..සාපේක්ෂව හැමදේම දකින්න හැකි හදවතක්ද තිබුනා .


කියන්න කොයිතරම් දේ ඇතිද ..ඒ අපි හැමෝම දන්නා දේවල් . පුද්ගලිකව අඳුනගෙන දැනගත් පුද්ගලික කාරනා බ්ලොග් වල නොලියන්නත් ඒ වගේම පින්තුර ප්‍රසිද්ධ නොකරන්නත් අපි තබා ගත් නිහඬ ගිවිසුම කවදාවත් අපි දෙන්නම කඩ කලේ නැති නිසා අදටත් ඒ පොරොන්දුව එලෙසමයි .


අද ඔබි නැන්දා ගොඩක් දුකින් ඇති . සමගියෙන් සමාදානයෙන් විහිළුවෙන් එකට ආපු ජිවන ගමනේ ආදරණිය සහකරු නික්ම ගිය පසු ..සැනසෙන්න වචනයක් කියන්න ළඟ නැති එක අපට මහා දුකක් .
එක අතකට කල්පනා කරද්දී ඔබා මාමා ජීවිතය සම්පුර්න කල කෙනෙක් . ජිවිත් වුනා කියන්න පුළුවන් ජිවිතයක් ගතකල කෙනෙක් . සැහැල්ලුවෙන් ජිවත් වෙලා අන්තිම ගමනත් සැහැල්ලුවෙන් පිටව ගිය සොඳුරු මිනිසෙක් ..
ආදරණිය ඔබා මාමේ ඔබට  නිවන් සුව .

බොහෝ අය යති , එති
හදවත සිතුවම් අඳිති ..
එහෙත් කැටයමක් කල අය
බොහෝ හිග වෙති
...ඔහු අප හදෙහි ඇඳි
කැටයම් සදා නොමැකෙති..

Saturday, May 05, 2012

නෙළුම් විල

නෙළුම් විල


වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි

Posted: 04 May 2012 10:04 AM PDT




කතරක් නොවේ දිවියම දාහයෙන් වැකී
වතුරක් සොයන දා කෙම් බිම් දකිනු හැකී
වදනක් දෙකක් පවසාවිද කවිය නොකී
වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි


ඉස්කෝලෙට යන පාරේ තැනක ලස්සන නෙලුම් විලක් තියෙනවා . ඔය විල තමයි නෙලුම් විල කියන නම මට මතක් කළේ. ඒ නෙලුම් විලයි මේ නෙලුම් විලයි හරිම සමීපයි . මේ නෙලුම් විල තැනෙන කාලේ ඒ නෙලුම් විලේ දළු දාලා පොඩි පොඩි පොහොට්ටු .ටිකින් ටික විල් දෙකම ලස්සන වුනා . පසුගිය සිත සමයේ අර නෙලුම් විලේ මල් කොළ සේරම වේලිලා වේලිච්ච දඬුත් හැන්ගුනා. මේ විලෙත් පසුගිය කාලේ වැඩිය මල් පිපුනේ නැහැ . දැන් ඒ විල අලුතින් දළු දමලා පුංචි නෙලුම් පොහොට්ටු . බලන්න ලස්සනයි . මේ නෙලුම් විලත් වසන්තයත් එක්කම ටිකක් සරු වුනා .
විශේෂයෙන් ''අසෙනිය කුසුමට'' යෝජනා වෙච්ච එක ලොකු ගැම්මක් වුනා . ලියන එක නවත්වන එක අපරාදේ කියල මට හිතුනා . අනික සීතලට තිබුන කම්මැලිකම දෙපිටින් යන්න අව්ව පායලා . අව්වත් එක්ක මන් වෙනස් වෙනවද මන්දා .

දැනටමත් කට්ටිය සුබ පතල තිබුන වුනත් අවුරුද්දක් ගෙවෙන තැන වචනයක් නොලිය කොහොමද .

වසරකට ඉස්සර
අද වගෙම හොඳ දවසක
පටන් ගන්නට ඇති
හොඳම හොඳ නැකතක ..


....එදා ඉඳන් අද වෙනකම් කොතරම් නම් අය ආව ගියාද .නම් වශයෙන් කියන්න සුවිශේෂී කීපදෙනෙක් හිටියත් ලියල කිපවිටක්ම ආයේ මකල දැම්ම . සඳහන් නොවුන කෙනෙක්ගේ හිත රිදීමක් වුනොත් කියල .
මන් ලියපු දේවල් වලට නියම වටිනාකමක් දුන්නේ ඇත්තටම කමෙන්ට් වලින් .බ්ලොග් එකක් කියන්නේ සාමුහික අත්දැකීමක් . කොච්චර වැදගත් දෙයක් වුනත් කමෙන්ට් වලින් රසවත් නොවුනොත් වැඩක් නැහැ . මන් සදා ණයගැතියි මෙතනට ඇවිත් වචනයක් හරි ලියා ගිය අයට .

හැමෝම විවිධාකාර වගකීම් වලට හිර වෙනවා එක එක අවධි වලදී . එනිසා බ්ලොග් එකට ආව ගිය අයටත් ඒ දේමයි වෙන්නේ . සමහරු මුල ඉඳන්ම තවම ඉන්නවා . ඒවගේම හැමදාම අලුතින් අය එකතු වෙනවා . ගොඩක් අය හැමදාම කියෙව්වත් කමෙන්ට් කරන්න වෙන්නේ ඉඳහිට . තව විශාල පිරිසක් ඉන්නවා කියවලා විතරක් යන . ඒ හැමෝම මට එකසේ වටිනවා .

මේ කවි ටික ලියවුනේ දහදාහක් බ්ලොග් එක කියවපු වෙලාවේ . එදා වගෙම අදටත් ඒටික එහෙම්ම වලංගු නිසා පොඩි සංශෝධනයක් විතරයි කළේ ...



ගෙවා බාලය උරහිසට ගත් ජීවන කද
කතා නැතුවම කර තබාගෙන යන සඳ
නෑවිදින් තරඟෙට තනිව දුක් විඳ
කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ


කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට
තනියක් නොදී දුක සැප දෙකම බැලුවට
තනිකර දමා මන් දුර ආපු වරදට
මුවහත් නැතිය පන්හිඳ එදා තරමට


වැරදි වැරදී ඉවුරු බඳවා
පුංචියට ''නෙලුම් විල'' තැනුවා
අතින් ගෙන විත් වතුර පුරවා
මුලදී නම් බොහෝ නිදි මැරුවා 


සුබ පැතුම් ගෙනා මදනල පවා
මල් සිඹී තව සුවඳ කව කවා
ආකහෙත් සීත පිනි බිඳු එවා
හිරු උදේ අලුත් මල් පිබිදුවා

කවරදාවත් නොදුටු මිතුරන්
ඇවිත් අද වුනා මට සොයුරන්
දුන් ඔවා මිණිද වැනි මසුරන්
සතුට මට නොමැති එක සතුරන්

සුවඳ විඳ නොගොස් මේ මල්වල
නතර වී අලුත් මල් පැල කල
සොඳුරු සංවාද දෙස බල බල
සැනසුනෙමි මම රැයද දහවල




පිපෙන විට මල් හෙමින් එක දෙක
නාවොතින් කෙනෙක් යන්නට දැක
පරවෙලා ගොහින් එය දවසක
විලට සහ මල් වලට මයි දුක



නම දත් නොදත් අය මව් බිම සිට පැමිණි
පැටි කළ හිතවතුන් සහ දුර රට මිතුනි
දිරි දී පිරිත් පැන් ඉස විල දිය පිරුණි
''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි සඳුනි




ලියවුන හැම අකුරක්ම මගේ විතරක් නෙමේ... .ගෙදර ඉන්න කමෙන්ට් නොකරන කියවන්නාගේ සිට අපි හැමෝගෙම .
අවුරුද්දක් තුල සැහෙන දේවල් වුනා . සමහර දේවල් ඒ විදිහටම හෝ පොඩි වෙනස් කම් එක්ක සිදුවෙමින්පවතිනවා . අලුත් දෙයක් නොවුනත් ගොඩක් අය කරපු දෙයක් වුනත් මාත් කැමතියි අද එදා මන් වගේ පුංචියට පටන් ගත්ත අලුත් බ්ලොග් වලට උදව්වක් කරන්න . මට කීප වතාවක් හමුවුනා සැඟවුන ඒ වගේ හොඳ බ්ලොග් . ඒ වගේම බනිලගේ තාත්තා නිතරම එහෙම බ්ලොග් සොයා සොයා කියවන ගමන් මට පෙන්වනවා . සමහර ඒවා මගේ බ්ලොග් රෝලටත් දාගත්තා . ඔබ හැමෝගෙන්ම ඉල්ලා හිටිනවා තමන්ගේ හරි එහෙම නැත්නම් තමන් කියවන වැඩිපුර කට්ටිය නොදන්නා බ්ලොග් වල ලින්ක් කමෙන්ට් හැටියට අරන් එන්න කියලා .

ආයෙමත් හැමෝටම කියා නිම කළනොහැකි තරම් ස්තුතියි .. .