Sunday, April 01, 2012

නෙළුම් විල

නෙළුම් විල


චම්පා .....සැඟවුන අතීතයේ නටඹුන්

Posted: 31 Mar 2012 12:27 PM PDT

චම්පා කිව්වම 60 දශකයේ  විතර හින්දි චිත්‍රපටයක් නැත්නම් ගෑණු ළමයෙක් ව තමයි අපිට මතක් වෙන්නේ .



චම්පා රාජධානිය ...

වියට්නාමයේ රට මැද හින්දු රාජධානිය ....හිතන්නවත් බැහැ නේද . මගේ ඉතිහාස පොතේ තිබුනෙම නැති පිටුවක් . කොටින්ම බුරාභිධාන අහල නැහැ කියන්නේ අපේ ඉතිහාස පොත් වල තිබුනේ නැහැ කියන්න ආයේ මොනවද වෙන සාක්කි .
චම්පා කියන්නේ හින්දි නමක්නේ . ඉතින් මේ හින්දි නම කොහොමද වියට්නාමෙට ආවේ . නම විතරක් නෙමේ සම්පුර්ණයෙන්ම මේක හින්දු රාජධානියක් . 
පුදුමයි නේද . හැබැයි මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දියන් ජාතිකයින්  නෙමේ  . ඉන්දියානුවන් නොවෙන හින්දු පිරිසක් ? තවත් පුදුමයි . මධ්‍යම සහ දකුණු වියට්නාමයේ විකාශ වුන මේ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දුපත්වලින් ආව මිනිසුන් . එන්න ඇත්තේ මුහුදින් . මොකද කිසිම ගොඩබිම් සම්බන්ධයක් නැති නිසා .

ආරම්භය ...

සාක්කි තියෙන්නේ ක්‍රි .ව 2 වෙනි සියවසේ ඇරඹුනා කියල .
බෝර්නියෝ වලින් ආව කියල මානව විද්‍යාවෙන් ඔප්පු කලාට  වියට්නාමයේ ඉන්නේ කතන්දර ශුරයෝ . අපි වගේම තමයි . එයාල [ විශේෂයෙන් චාම් අය ] අතර තියෙන්නේ වෙන කතාවක් . මධ්‍යම වියට්නාමයේ ''කන් හොවා'' කියන පළාතේ උන්න Lady Po Nagar කියන කුමාරිය සඳුන් කොටයක නැගල පාවෙලා යද්දී චීන කුමාරයෙක්ව  හමු වෙනවා . මේ දෙන්න විවාහ වෙලා දරු දෙන්නෙක් ලැබුනට පස්සේ කුමාරිට ආපහු ගමරට එන්න ඕන වුනත් සැමියා අකමැති වෙනවා . දිය මකර රජුගේ ළමයි කතාවේ වගේමයි . ඒත් කුමාරි දරුවොත් අරන් ආයේ සඳුන් කොටේක නැගල ගෙදර එනවා . සැමියා හමුදාවක් අරන් පස්සෙන් ආවත් ඇය විසින් ඔවුන්ව පාෂාණ බවට පත් කෙරෙනවා . මේ සිද්ධිය වුනා කියන අද Nha Trang නමින් හඳුන්වන ප්‍රදේශයේ දී සයුර දුපත් විශාල ගණනකින් යුතු වෙනවා . ඒ අර ගල් වූ අය වෙන්ට ඇති .

විකාශය .-
දෙවන සියවසේ ඉඳන් විකාශය වෙලා 9 වෙනි සියවසේ විතර ස්වර්ණමය යුගයක් තිබිල තියෙනවා . මේ රාජධානිය තුලත් උප ප්‍රදේශ කීපයක් තිබුන වගේම ඒ ඒ ප්‍රදේශ විටින් විට සෞභාග්‍යමත් වෙච්ච බවයි පෙන්නේ . ඉන්ද්‍රපුර,  අමරාවතී ,විජය , පන්දුරන්ගා , කවුතාරා කියන්නේ ඒ ප්‍රදේශ . සේරම ඉන්දියන් නාමයන් .



 සිතියමේ අළු පාට කොටස Dai Viet . කොළ පාට කොටස තමයි චම්පා . කහ පාට කම්බෝජියාව



රාජධානියට  සුන්දර වෙරල තිරයක් සහිතව අනර්ග වරාය පහසුකම් තිබුනා . මේ වරායන් හරහා ඉන්දියාව සමග සම්බන්ධකම් ඇති වුනා . හින්දු ආගම වගේම අනෙකුත් ඉන්දියන් සංස්කෘතික අංගයන් ලැබුනා . රජවරු හින්දු දහම වැළඳ ගත්තා . ශිව දහම තමයි ප්‍රධාන වුනේ . එයිනුත් ලිංග වන්දනාව .

ඉන්දියන් අභාෂය ලද ගොඩනැගිලි දේවාල විශාල ගණනක් ඉදි වුනා . තැන තැන විසිරුන නටඹුන් එයට සාක්කි සපයනවා . මේ නටඹුන් අතර විශේෂම වන්නේ My Son කියන පළාතේ ඇති ගොඩනැගිලි සංකීර්ණය. My Son යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන්නෙත් ඒ නිසා .







මේ My Son පළාත අයිති වෙලා තිබුනේ ඉන්ද්‍රපුරේට . ඒ වගේම චම්පා රාජධානිය ලෝකේ එක්ක සම්බන්ධ කල ප්‍රධාන වරාය තිබුනෙත් මේ ඉන්ද්‍රපුරේ . ඒ තමයි Hoi An . සේද මාවතට සම්බන්ධ වුන හන්දා කියන්න ඕන නැහැනේ කොයිතරම් ලෝකේ එක්ක සම්බන්ධ වෙන්න ඇත්ද කියල .
වියට්නාමේ උඩහ කොටසේ තිබුනේ Dai Viet රාජධානිය . Dai Viet ල තමයි වත්මන් වියට්නාමේ ප්‍රධාන ජාතිය .


උතුරින් චීනය එක්ක කෙලින්ම සම්බන්ධ වුන නිසා චීන සංස්කෘතිය තමයි රට පුරාම තියෙන්නේ . නමුත් චම්පා රාජධානිය තුල චීන අභාෂයක් දකින්න ලැබෙන්නේ නැහැ .

නවවෙනි සහ 10 වෙනි සියවසේදී මහායාන බුද්ධාගම චම්පා වෙත ලඟා වුනා .  එනිසා බෞද්ධ අභාෂය ලැබූ නමුත් කෙටිකලකින් යලිත් හින්දු දහම ප්‍රධාන තැන ගත්තා . රාජ්‍ය අනුග්‍රහය නිසා විය යුතුයි .
චම්පා බලවත්ව තිබුන කාලයේ 12 වෙනි සියවසේදී මෙයාල [වත්මන් කම්බෝජියාවේ ] එකල අන්ග්කොරියන් ක්මර් [ Angkoriyan Khmer ] ආක්‍රමණය කළා . දන්නවනේ Khmer තමයි කම්බෝජියාවේ බහුතර ජනවර්ගය . නොදන්නම අයට කියන්න තියෙන්නේ කම්බෝජියාව වියට්නාමයේ එක මායිමක තියෙන රටක් . 
 ගොඩබිමින් සම්බන්ධ වුන රටවලට ඒ කාලේ පැහැදිලි ඉරි ගහල මායිම් තිබුනේ නැහැනේ . හය්ය ඇති කෙනා අල්ල ගත්තා .
[මේ මායිම් ගැන ලස්සන වත්මන් කතා තියෙනවා ,. එව්වා පසුවට .]

මෙතනදී තත්වය තවත් වෙනස් වෙන්නේ මේ කලාපයේ රටවල් හතකින් ගලන මිකොන්ග් ගඟ නිසා මේ
රටවල් එකිනෙකට සම්බන්ධ වීම . ටිබෙටයෙන් පටන්ගෙන චීනය , මියන්මාරය , ලාඕසය , කම්බෝජියාව , තායිලන්තය හරහා ගලන ඇවිත් වියට්නාමයේ මිකොන්ග් ඩෙල්ටාවෙන් දකුණු චීන මුහුදට එක්කහු වෙන මේ ගංගාව ලෝකයේ දිගම ගංගාවන්ගෙන් එකක් .


ඉතින් මේ මිකොන්ග් නිම්නය දිගේ ගිහින් තමයි චාම් ලා කම්බෝජියාව අල්ල ගත්තේ .


හැබැයි වැඩිකලක් නොගිහින් vii ජයවර්න කියන Khmer රජතුමා මෙයාලව පසු බැස්සුවා . නමුත් Kampong Cham කියන කුඩා පෙදෙසක අදටත් චාම් වරු ජිවත් වෙනවා . පසුකලෙකත් චම්පා රාජධානිය බිඳ වැටුනට පස්සේ පලා ගිය චාම් ලත් මේ කම්බෝජියන් පළාතේ පදිංචි වුනා .


ඉතින් ප්‍රධාන චම්පා රාජධානියට මොකද වුනේ . පිටස්තර ලෝකේ එක්ක සම්බන්ධය නිසා සේද මාවත හරහා ආපු අරාබි ජාතිකයින් ඉස්ලාම් ආගම චම්පා වෙත ගෙනාවා . මුලින් සුළුවෙන් ඉස්ලාම් වැලඳ ගත්ත .
ඔය අතරේ උඩහ උන්න Dai Viet ල කැමති වුනේ නැහැ මේ චම්පා රාජධානියේ පැවැත්මට . එකක් කියන්න ඕන . දේශගුණ විපර්යාසයන් තියෙන උතුරට වඩා නිවර්තන දකුණ සශ්‍රීකයි. අදටත් මන් දැක්ක විදිහට දකුණ උතුරට වඩා දියුණුයි . ඉතින් මෑත ඉතිහාසයේ වගේම එකලත් දකුණු පළාත වඩා වටින්න ඇති . උඩහ හිටි අයගෙන් නිතරම ආක්‍රමණ ඇති වුනා . අනික චම්පා  ප්‍රාදේශීය රාජ්‍ය වලත් ඒ හැටි එකමුතුවක් තිබුනේ නැහැලු . ප්‍රාදේශීය අරගල නිතර සන්සින්දුනේ අන්තර් විවාහයන් කිරීමෙන් .


Dai Viet ල එහෙම කලවම් වෙන්න එච්චර කැමති වුනේ නැහැ . ප්‍රධාන හේතුවක් තමයි චාම් මාතෘමුලික සමාජයක් . පිතෘ මුලික Dai Viet ල කැමති වෙයි ද .


ගෘහ නිර්මාණ ශිල්පය සහ ආගම් වෙනත් දේශ වලින් ගත්තට චාම්වරු තමන්ගේ අනන්‍ය තාවයක් ගොඩ නැගුවා . එක උදාහරණයක් තමයි ගඩොල් බැඳීමට මධ්‍යම වියට්නාමෙට ආවේනික වුන ගහක මැලියම් යොදා ගැනීම .


අනික හින්දු ආගමත් එක්ක පොලෝ මාතාව සංකේතවත් කරමින් Po Nagar වන්දනාවත් සිදුවුනා .
15 වෙනි සියවසේදී ඉස්ලාම් ආගම ප්‍රබලවෙන්න පටන් ගත්තා . 15 සියවසේදී තමයි  චම්පා වලට දරුණු වියට්නාම ප්‍රහාරයක් එල්ල වුනේ .. විශාල හානියක් වෙලා අන්තිමට ඉතුරු වුනේ . Lady Po Nagar උපන්  Khan Hoa පළාත විතරයි . [අද Nha Trang ]. මේ කාලේදී තමයි සමහර චාම් වරු ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයට ගිහින් තියෙන්නේ . අචේ බසයි චාම් බසයි සමානලු. [අචේ කියන නම අපට මතකනේ සුනාමියත් එක්ක .]



චාම්වරු සැහෙන්න මිය ගියා . ඉතුරු වුන අයත් බොහොමයක් ඉස්ලාම් වුනා . මේ කාලේ වෙද්දී මේ පළාත්වලට චීන බලපෑමත් තිබුනා . සමහරු චීන සංස්කෘතියට අනුගත වුනා . 19 සියවසේදී චම්පා රාජධානිය නැත්තටම නැති වුනා . ඒ Ming Mang කියන වියට්නාම රජුගේ ප්‍රහාරයෙන් . මේ Ming Mang සහ ඔහුගේ පරපුර වුන Nguyen වංශය ගැන පොඩි සටහනක් තැබුවා ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වීම ලිපියේ . ඇත්තටම කුතුහලය ඇති අය කියවා බලන්න .


එවකට හිටි චම්පා රජු තම වැසියන් පිරිසක් සමග කම්බෝජියාවට පලා ගියා . කලිනුත් චාම් වරු හිටි Kampong චාම් පළාතේ පදිංචි වුනා . එතකොට මේ රජු ඉස්ලාම් නිසා කම්බෝජියාවේ චාම්  ජනතාවගෙන් බහුතරය ඉස්ලාම් . අදටත් එසේමයි .
චම්පා වල තව කොටසක් මැලේසියාවට පලා ගියා . සමහරු චීනයේ හයි නාන් දුපතේ පදිංචි වුනා . මේ ගිය හැමෝම වගේ ඉස්ලාම් .



 The head from a stone statue of God Brahma that belongs to the Cham Pa culture. — VNA/VNS Photo Thanh Ha 
 statue of Ganesa, Son of the God Siva, kept in Tien Giang Province's Museum. — VNA/VNS Photo Thanh Ha

: A stone statue of Bodhisattva Kwan Yin from the 7th-8th centuries. — VNA/VNS Photo Quang Nhut.
මේ පින්තුර තුනම වියට්නාම් නිව්ස් පත්තරෙන්




මේ අප්සරාවියයි  පරාක්‍රමබාහු රජතුමා වගේ දෙන්නයි චාම් ක්‍රමේට හදපු නුතන පිළිම . හමු වුනේ Hoi An වල අපි හිටි හෝටලයේ ඉඳල




චම්පා රාජධානියේ නටඹුන් , පිළිම පින්තුර වලින් අද සටහනට තිත තබනවා .



මේවා නම් ඇත්තම සංරක්ෂිත චාම් නිර්මාණ . පින්තුර මන් ගත්තේ 2009 හැනොයි ආපු වෙලාවක . ඉතිහාස කෞතුකාගාරේදී . එතකොට මට එච්චර අගයක් තිබුනේ නැහැ . අනික මිට ස්වල්ප මොහොතකට පස්සේ අපේ පොඩි දඟයා කැමරාව බිම දැම්ම . ආයේ දවසක ගිහින් අලුතින් බලන්න ඕනේ විස්තර

වත්මන් චාම් ජනතාව ගැන ඊ ළඟ කොටසින් . ඉඩක් ලැබුනොත් මිටම සම්බන්ධ නිසා khmer වරු ගැනත් කියන්නම් . ප්‍රධාන කොටම අද විස්තර විකියෙන් සහ මගේ මතකෙන් . මන් විටින් විට කියවපු දේවල් තියෙනව . මතක් වෙන විදිහට ඊ ළඟ සටහනට එකතු වෙයි .අනික කමෙන්ට් හරහා අපිට කතා කරන්නත් පුළුවන්

 .
මතු සම්බන්ධයි
ස්තුතිය ..
චම්පා රාජධානියට ගිහිල්ලම ඒ ගැන ලියන්න හිටි නිසයි මේ වැඩේ කල් ගියේ . සියලුම නටඹුන් තියෙන තැන් බලන්න යන්න බැරි වුනා . ඒත් චම්පා වරාය තිබුන Hoi An ගිය නිසා රාජධානියට පය තිබ්බ කියන සතුට නිසා මේක ලියල දාන්න හිතුන . ඒ වගේම Nha Trang සහ Phan Thiet කියන චාම් සංස්කෘතියේ වැදගත් වෙච්ච මහුදු තීරයන්ට කලින් ගිය ගමනුත් මතක් වුනා . [ඊ ළඟ ලිපියෙන් ඒවා ගැන ]ආයේ යන්න ලැබේවි සමහර විට . ඉතින් ගමන එක්ක ගියාට බනිලගේ තාත්තට ස්තුතියි
විශේෂ ස්තුතිය මේක ලියන්න කියල මතක් කලාට . නෙලුම් විලට අගනා අදහස් වලින් පෝෂණය කිරීම වෙනුවෙන් බුරතිනෝ හෙවත් ලි බෝනික්කට තෑග්ගක් තමයි මේ

Friday, March 30, 2012

නෙළුම් විල

නෙළුම් විල


අපි කොයිතරම් පුංචිද මහ සයුර ළඟ

Posted: 29 Mar 2012 07:46 AM PDT




දුවන ගමනේ ඉසිඹුවක් ගෙන කාලයට නැවතුම       සොයා
හිඳින මොහොතේ වෙරල අද්දර අනන්තය දෙස නෙත් අයා
නැගෙන පෙරලෙන රැල්ල දිවයයි සුමුදු පෙණ වෙරළේ තියා
මටම සිතුනා සයුර අබියස මන් හරිම පුංචියි                 කියා

දකුණු චීන මුහුදේ සුන්දර වෙරළක ඉමක් නැති ක්ෂිතිජය දිහා බලන් ඉන්නකොට මේ කවිය ලිව්වේ හිතේ . පුංචි කාලේ කවදාවත් හිතේ හැටියට මුහුදු වෙරළක සෙල්ලම් කරන්න ලැබිල නැහැ . ඉඳහිටක ගාලු මුවදොර බලන්න ගියා වුනත් ඇති තරම් සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ . ඉස්කෝලෙන් හික්කඩු වෙරළට එක්කන් ගිය ගමනත් හරිම කෙටියි . ඒ හින්ද දවසක ඇති වෙනකම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න තිබුන ආසාව නැති වුනේ නැහැ . පසුකලෙක නම් ඇති වෙනකම් මහ සාගරය දිහා බලන් ඉන්න අවස්ථාව ලැබුන . ඒත් අර මගේ හිතේ ඉන්න ළමයට ඕන වෙරළට වෙලා රැල්ල එක්ක සෙල්ලම් කරන්න . ඉතින් ඉඩක් ලැබුන ගමන් ඒ ළමය හිතේ හැටියට මුහුදේ අසිරිය විදිනවා .
වියට්නාමෙටත් දිගම දිග මුහුදු තිරයක් තියෙනව . ඔයිනුත් ලස්සනම ටිකක් රට මැදට වෙන්න .කඳුකරයක් එක්කම මුහුදු වෙරලක් දකින්න ලැබෙනවා මෙහෙ . වියට්නාමෙට මායිම් වෙන්නේ දකුණු චීන මුහුද . චීන ලොකු අය්යයි මේගොල්ලයි අතර  නිතරම පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා මේ මුහුදේ කාරණා සම්බන්ධයෙන් .
වියට්නාමය භූගෝලීය වශයෙන් කොටස් තුනකට බෙදෙනවා . උතුර , මධ්‍යම සහ දකුණ ලෙස . අතීතයේ කලින් කලට විවිධ ආක්‍රමණයන් හමුවේ මේ කොටස් විවිධාකාරයෙන් බෙදී පාලනය වෙලා තියෙනවා . ඒත් 1975 දී ඇමරිකන් යුද්ධෙත් ඉවර වෙලා සයිගොන් වල රූකඩ ආණ්ඩුවත් බිඳ වැටිලා රට එක්සේසත් වුනාට පස්සේ ඉඳන් දැන් එකම පාලනයක් . විටින් විට මන් මේ දේශපාලන පෙරලි සහ යුද්ධ ගැන යම් යම් කරුණු ඇතුලත් ලිපි ලිව්වා . ඒ කාලේ අද තරම් පිරිසක් නෙලුම් විලට ආවේ නැහැ . කැමති නම් මේ ලිපි ටික කියවන්න . නොදැවුණ හදවත , නිසලව නිදන මිනිසෙකි , කුචි උමන් , ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වූ ඩියෙන් බියෙන් පහු සටන, බිම වැටුන කුරුල්ලෝ

මධ්‍යම වියට්නාමයේ විශාලම නගරය Danang . ඉස්සර පුංචි ගුවන් තොටක් තිබුනේ . ලඟදි අලුතින් ඉතාම ලස්සන ගුවන් තොටක් හදල තියෙනවා . මේ නගරයේ ඒ කාලේ ඇමරිකන් හමුදා බේස් එකක් තිබිල තියෙනවා . වියට්නාම ඇමරිකන් යුද්ධය ගැන පිළිවෙලකට ලිපියක් හෝ ලිපි පෙළක් ලියන්න ඕන කියල කලක හිටන් හිතන් ඉන්න නිසා ඒ ගැන අද නොකියා ඉන්නම් . මේ ලිපියේ අරමුණ මා දුටු ලස්සන දේවල් කිවීම විතරයි .
Danang වලින් බැහැල පැය භාගයක් විතර කුලී රථයකින් ගිහින් තමයි Hoi An කියන නිස්කලංක ඉපැරණි නගරයට ලඟා වුනේ . මෙය පැරණි වරායක් තිබුන නගරයක් . සේද මාවතට සම්බන්ධ වී තිබුන . මට පිස්සු හැදිලද කොහෙද ඔය සේද මාවත ගැනත් ලිපි හයක් ලිව්වා මතකනේ .
[මටත් ඔන්න බැනුම් අහන්නත් වෙයිද මන්ද ලින්ක් වලින් පිරිලා කියල . ඒ වුනත් මන් ආසාවෙන් ලියුව ලිපි නේ . කැමති නම් කියවන්න .]
මේ Hoi An  නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත එකක් . පැරණි නගරය තුල පයින් සහ බයිසිකල් වලින් පමණයි ඇවිදින්න හැකි . හරිම නිස්කලංක බවක් දැනෙනවා . පරණ ගෙවල් හෙම ඒ විදිහටම තියෙන්න ඇරලා . කලබලකාරී හෝ චි මින් සහ හැනොයි වලට වඩා හරිම වෙනස් . සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙනවා .
හරිම විශේෂ දෙයක් දැක්ක . ඒ තමයි මැහුම් කඩ . කෝට්, සුට්,  ගවුම් ඕනෑම ඇඳුමක් එවෙලේම මිමි අරගෙන එදාම හවසට දෙනවා . ඒ වගේමයි සපත්තු . අපිට හමු වුන ඔසී ජාතික යුවලක් කිව්වේ එයාල විශේෂයෙන්ම ආවේ ඇඳුම් මහන් යන්නලු .
මේ පරණ ගෙවල් දකින කොට අපිට මතක් වුනේ ගාලු කොටුව .
කෑම බිමත් මධ්‍යම වියට්නාමයට අවේනික ඒවා . උතුරේ දකුණේ සහ රට මැද කෑම වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා .
අද වැඩිය ලියන්නේ නැහැ . මේ පින්තුර ටික විතරයි ඔන්න .
@බුරා අදට මේ ''වේලුණ කොටි මස් කන්න . හෙට අමු කොටි මස් දෙන්නම් '' මොකද තව ටිකක් කියවන්න තියෙනවා අපේ අර ලිපියට
අහසේ සිට
Hoi An වල විශේෂම අංගයක් මේ ලස්සන බකට් .



නගරය මැදින් ගලන ගඟ

 මෙහෙ ඕනෑම ප්‍රසිද්ධ තැනක ඉන්නවා ෆොටෝ ගන්න අය. ඩොලර් එකකට පින්තුරය අරගෙන මුද්‍රණය කරලත් දෙනවා . මෙන්න මෙයා ගේ පින්ත්රයක් මන් ගත්තේ ඇයි දන්නවද . එයා අතේ තියෙනවා පුංචි ප්‍රින්ටරයක් . තනි පුද්ගල ව්‍යාපාරයක් .




පුංචි ඇලක් උඩින් වැටුන මේ පාලම අවුරුදු 400 ක් පරණලු. මෙහෙ Don 20,000 හේ සල්ලි නෝට්ටුවෙත් මේ රූපේ තියෙනවා
මේ පාලම හදල තියෙන්නේ ජපන් ජාතිකයින් වර්ෂ 1590 දී විතර . එතනින් ඇතුලේ පන්සලක් . මේ පාලමට ඇතුල් වෙන තැන තමයි මේ සුනඛ ප්‍රතිමාව තියෙන්නේ . ඇත්තටම දෙකක් තියෙනවා දෙපැත්තේ .මුර පිළිම ලෙස . පාලමෙන් අනික් පැත්තේ වඳුරු පිළිම දෙකක් .. එක මතයක් තමයි ලුනා කැලැන්ඩරයේ සුනඛ වර්ෂයේ හදන්න පටන් අරන් වඳුරු වර්ෂයේ දී අවසන් වුනා කියන එක . අනික් මතය බොහෝ ජපන් අධිරාජයන් බලු සහ වඳුරු අවුරුදු වල උපන් නිසා කියන එක .
කොහොම වුනත් මේ පාලම හැදීමේ අරමුණ වෙලා තියෙන්නේ නගරයේ ජපන් කොටසත් චීන කොටසත් යා කිරීමේ සමගි සංකේතයක් විදිහට . ඇත්තටම මේ ටික කියෙව්වේ අන්තර්ජාලයෙන් . හරි ගේ ඉල්ලීම පිට .
තවත් පුංචි දෙයක් එක කරන්න ඕන හොයී ආන් නගරය ඇමෙරිකන් හමුදා බේස් එකක් අසල තිබිලත් යුද්ධෙන් විනාශ නොවුනේ යුධ මුක්ත කලාපෙට අයිති වෙලා තිබුන හන්දලු .





ලෝකේ ප්‍රසිද්ධ නැව් බෝට්ටු වල ආකෘති හදන්න මෙයාල හරි හපන්නු .





මේ රුප වල පුරුදු ගතියක් තියේද බලන්න

මේ පින්තුර එක පන්සලක පිටත බිත්තියේ ඇඳපුවා. 1802 දී මේ පන්සල හදල තියෙන්නේ චාන් නම් ප්‍රකට පවුලක් විසින් . ඇත්තටම මේක එයාලගේ පවුලේ රැස්වීම් , ඒ වගේම මැරුණ අයගේ අළු තැන්පත් කිරීම් වගේ දේවල් කෙරුණා ස්ථානයක් . මේ බුදු පිළිම සහ චිත්‍ර මෑත කලෙක සදපුවා . පිටතින් අපේ පන්සලක් වගේ පෙනුනට අරමුණ වෙනස් . චිත්‍ර ටික අපේ වගේම නිසා තමයි මගේ හිත ගියේ . මේ පන්සල ෆෙන්සුයි නීති රීති අනුව නිමවුවක් . මොකද මේ චාන් [TRAN - කියල තමයි මෙයාල චාන් ලියන්නේ ] පවුල ඈත අතීතයේ චීනෙන් ආපු අය නිසා .
ඇත්තටම මන් මේ දමපු පින්තුර වෙන වෙනම විස්තර කරන්න හරිම වෙලාවක් යන වැඩක් . පෝස්ට් එකත් ගොඩක් දික් වෙයි . ඒ නිසා ප්‍රශ්න මතු වෙන විදිහට කමෙන්ට් වලදී විස්තර කරන්නම් .

බොන්සායි බෝ ගහක්

මේ තොප්පිය කාගේද දන්නේ නැහැ

මේ taxi යේ යන්න නම් කවුරුත් කැමති වෙයි


මේවට කියන්නේ සික්ලෝ

අපි උන්න හෝටල් පරිශ්‍රයේ ගමක් හදල තිබුන . ඒකෙ උන්න දෙන්නෙක් .

ලැබූ මැස්සක්

එරබදු වර්ගයක් වගේ නේද

මාරයාට කියල විචාරයක් ලියව ගන්න ඕන


ලස්සන බකට් රෑට