Sunday, July 15, 2012

නෙළුම් විල

නෙළුම් විල


කඳුළු දේශයේ සොඳුරු මිතුරී...

Posted: 14 Jul 2012 09:42 AM PDT

ඊයේ රාත්‍රී කෑමට  අපට ඊශ්‍රායල් මිතුරියගෙන් ආරාධනාවක් ලැබුණා . ඊයේ කියන්නේ සිකුරාදා . සිකුරාදා රෑට එයාල ගන්නේ විශේෂ රාත්‍රී භෝජනයක් . අපටත් එයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ එක මට හරිම අලුත් අත්දැකීමක් වුණා. උණු උණුවෙම නොලිවොත් අගය අඩු වෙන නිසා සුරතලුන් ගැන ලිවිල්ල කල් දාන්න හිතුවා.

ඊශ්‍රායලය කියන්නේ යුදෙව් රට කියල දැනන් හිටියට යුදෙව් ආගම සංස්කෘතිය ගැන මට නම් තිබුනේ අල්ප දැනුමක් . සත්සමුදුරේ යුදෙව්වන් ගැන දීර්ඝ ලෙස ලියවුන නිසා ඒ ගැන විස්තර කරන්න මහන්සි වීම අනවශ්‍යයි .

කොහොමත් මේ රට ගැන අපිට තිබුනේ එච්චර හොඳ ආරංචි නෙමේනේ . පලස්තීනුවන් පිඩනයට පත්කරන ,ඇමරිකාවේ අතකොළුවක් වෙච්ච කොටින්ම සමහර පත්තර වල මැදපෙරදිග ත්‍රස්තවාදියා විදිහට හඳුන්වලා තියෙනවාත් දැක තිබෙනවා . යුදෙව්වන් බරපතල සංහාරයකට ලක්වුණ දෙවෙනි ලෝක යුද්ධය ගැනත් අපි ඇති තරම් අහල කියවල බලල තියෙනව.

ඊශ්‍රායලය ගැන ලියවුන සත්සමුදුරේ ලිපි වලට මෙතනින් යන්න

ඒ සියල්ල අත ඇරලා සාමාන්‍ය මිනිසුන් ලෙස ඊශ්‍රායල් ජාතික පවුලක් ආස්සරය කරන්න ලැබුණ එක මට අලුත්ම අත්දැකීමක් . මගේ මිතුරිය හරිම ලස්සනයි . ලස්සන මුණකුයි ලස්සන හදවතකුයි දෙකක්ම එකට පිහිටපු විරල නිර්මාණයක් වගේ ඇය.
ඇය කවදාවත් කිසිම දෙයක් ගැන පැමිණිලි කරනවා ,නෝක්කාඩු කියනව මන් අහලම නැහැ . කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නේ . හැමදේකම හොඳ පැත්ත දකින්න හැකි එහෙම උදවිය හරිම අඩුයි .

පුංචි කෙල්ලෝ තුන් දෙනාත් සුරංගනාවියෝ වගේ . ඇයගේ සැමියත් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් .
ලෝකේ කොහේ හිටියත් සිකුරාදා රාත්‍රිය මෙයාලට විශේෂයි . ''ශබාට් '' නමින් හැඳින්වෙන සති අන්තයේ ඇරඹුම තමා සිකුරාදා රාත්‍රී භෝජනය . හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ .

ආගමික අදහස කෙසේ වුවත් මට හිතුනේ මේ කොතරම් වටිනා සංස්කෘතික අංගයක්ද කියායි.

මේ ගැන අන්තර්ජාලගත කාරණා කියවීම කම්මැලි හිතෙන තරම් සංකීර්ණ වුවත් මගේ මිතුරියගේ නිවසේ අපදුටු චාරිත්‍ර අතිශය සරලයි . ඒ වගේම අපටත් පිලිපැද්දට කමක් නැති තරම් වටිනා දෙයක් .
මුලින්ම කරනුයේ කෑම මේසයේ ඉටිපන්දම් දැල්වීම . ඉර බැස   යාමට ඔන්න මෙන්න තියා මේ ඉටිපන්දම් දැල්වීම කරනුයේ පවුලේ කාන්තාවක් . මව හෝ දියණියක් විය හැකියි.

නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ].


පින්තුරය මෙතනින්

මේසය මත නිවසේ සාදන ලද පාන් ගෙඩියක් සහ රිදී වයින් බඳුන් දෙකක් තිබුණා. එකක් එයාලගේ පවුලට . අනික අපට .

පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට . [ මේ ගෙදර නම් පුත්තු නැහැ . කෙල්ලෝම තුනක් . ]
ඉන් පසුව බිරිඳට . ඔහු කි පරිදි නිකන්ම නිවසක් උණුසුම් ගෙදරක් බවට පත් කරන්නේ බිරිඳක් නිසා ඔහු ඇයට ස්තුතිවන්ත වන බවයි . අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.


ඉස්සරටත් වඩා අද අපි ජිවිතේ ගෙනියන්නේ දුවමින් . හැල්මේ යන ගමන පොඩ්ඩක් නතර වෙලා සිංහලෙන් කිව්වොත් බ්රේක් එකක් අරන් මේවගේ තමන්ගේ පවුලේ වටිනාකම මතක් කරන්න එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඊ ළඟ සතිය නැවුම් විදියට අරඹන්න අපි වැඩිය නොදන්නා ජාතියකින් ලැබෙන පාඩම හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ .

කල්පනා කරලා බලද්දී අපේ සමාජයේ මේ ස්තුති කිරීම් සිදුවන්නේ බොහෝ කොට අලුත් අවුරුදු සිරිත් මුල් කරගෙන . අනික් දවස්වලදී බොහෝ ගෙවල් වල වුණේ සැමියාට ළමයින්ට හොඳම දේ බෙදා දීල අම්ම කුස්සියේ ඉඳන් ඉතුරු වුන යමක් කන එක . මේ වෙද්දී බොහෝ දුරට මේ තත්වයන් වෙනස් වෙලා වුනත් ආදරය ප්‍රකාශකරන්න , ස්තුතිවන්ත වෙන්න අපේ සමාජය ටිකක් පැකිලෙනවා කියලයි මගේ හැඟීම .
ගෙදර පුච්චපු අලුත් පාන් , පාර්ස්ලි සහ කුස් කුස් සලාදය , ඇතුළුව බොහොම ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න කෑම ජාති ගොඩක් සහ පලතුරු සමග පලතුරු තේ රසවින්දා . සේරම එළවලු කෑම .

කවදාවත් විසදෙන්නේ නැති ඒ රටේ ප්‍රශ්න ගැනත් අපේ රට ගැනත් කතා වුණා. උපන්දා සිටන් යුද්ධේ ආනිසංස අත්වින්ද නිසා අපි දෙගොල්ල අතර සමානකම් හුඟක් තියෙනව . අදට වුනත් කොයි වෙලේ බෝම්බ පිපිරේදයි නොදන්නා ඔවුන්ගේ සදා කඳුළු දේශයට හෙට අනිද්දා ඔවුන් ආපසු යනවා . ඒ ගැන නම් මට ඇත්තේ හරිම දුකක් . ඉඳහිට හමු වෙන සුන්දර මිනිසුන් මේ ලෙස සමුගෙන යාම නම් කණගාටුවට කාරණාවක් .

මන් ඇයට තෑගී කලේ අපේ රටේ සිතියමක් සහිත චිත්‍රයක් . ලෝකයේ කොහේ හෝ කොනක මේ වගේ ලස්සන පුංචි දුපතක් ඒ ගොල්ලන්ටත් ඇත්නම් කියල ඈ කිවේ ලොකු සුසුමක් පිටකරන ගමන්

Wednesday, July 11, 2012

නෙළුම් විල

නෙළුම් විල


මිනිසෙක් වූ බල්ලෙක්

Posted: 10 Jul 2012 09:21 AM PDT




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .

Thursday, July 05, 2012

නෙළුම් විල

නෙළුම් විල


වියට්නාම නංගිලාගේ කරණම් ..

Posted: 04 Jul 2012 10:56 AM PDT

තැන ජාතික සර්කස් මධ්‍යස්ථානය , හැනොයි , වියට්නාමය . දිනය නම් සති කීපයකට කලින් ඉරිදාවක් . ශාලාව අඩ අඳුරුයි . මැද්දේ වේදිකාව . වටේට උසින් වැඩිවී යන පරිදි ප්‍රේක්ෂක අසුන් . වලක් වැනි වේදිකාව සරසල තිබුනේ මුහුදු පතුලක් වගේ . කාටුන් සුරංගනා කතාවක වගේ .

බොහොමයක් දේවල් ස්ව බසින් සිද්ධ වෙන රටක අපිට බොහෝ දේ මග ඇරෙනවා . මන් දැනන් හිටියෙත් නැහැ මෙහෙම තැනක් ගැන . අපේ ගෙවල් අයිති සමගම මාසෙකට වතාවක් අපිව ගමනක් එක්ක යනවා . අපේ කඩිසර කම කොච්චරද කියනව නම් ඒ එක ගමනක් වත් අපි ගිහින් නැහැ . ඉරිදා උදේ නින්ද ඊට වඩා වටිනා නිසා .

මෙදා පාර නම් ළමා දිනේ සමරන්න කියල එක්කන් ගිය මේ ගමන නම් මන් ළමයයි පොඩි ළමයින් දෙන්නයි බොහොම කැමැත්තෙන් ගියා . ඒ වෙන මොකවත් නෙමේ මේ ළමයත් ජීවිතේට වත් හරි හමන් සර්කස් එකක් දැකල තිබුනේ නැති නිසා .


ලස්සන නංගිලා දියකිඳුරියෝ වගේ සැරසිලා ...හරිම අගෙයි . මුහුද යට රාජධානියක කතාව වචනයක් වත් නොතේරුනාට රංගනය රස විඳින්න එය බාධාවක් වුනේ නැහැ. අන්තිමට අලින් . අශ්වයින් ..සුනඛයින් සහිත දසුන් නම් එතරම් රස වින්දේ නැහැ . මන් වගේම ළමයිනුත් සත්තුනට කරදර කරනවට අකමැතියි .
සර්කස් එකක් වචනයෙන් විස්තර කරන්නේ කොහොමද . මෙන්න මන් ගත්තු පින්තුර .


















''


බය වෙන්න එපා නංගි මන් ඔයාව බිම දාන්නේ නැහැ



ඔය දෙන්න මට බරක් නෙමේ




ඉස්සර ලංකාවට චීන සර්කස් ආව බව මන් අහල තියෙනව . ඒ වගේම ගමින් ගමට ගිය සර්කස් කණ්ඩායම් තිබුන බවත් කියවල තියෙනව . ඒ ඉතින් රූප මාධ්‍ය ජනප්‍රිය වෙන්න කලින් . වර්තමානයේ මන් දන්නා පරිදි අපේ රටේ මෙවැනි සර්කස් ජනප්‍රිය නැහැ එතරම් . එහෙත් මේවා ලෝකයෙන් තුරන් වෙලා නම් නැහැ . බොහොමයක් රටවල තවමත් සර්කස්වලට තැනක් තියෙනව .

සිරුර සමබරව තියාගන්න හැකිකම වගේම නම්යශිලිතාවය උපරිමයෙන් ඇති මේ මිනිස්සු ගැන නම් පුදුමත් හිතෙනවා .

මට සර්කස් කිව්වම මතක් වෙන දේවල් කීපයක් තියෙනව . එකක් ''ඇට මැස්සා'' පොතේ රිවාරෙස් . අධික පහර දීම නිසා විකෘති වෙච්ච ශරීරය නිසා සර්කස් කණ්ඩායමකට බඳවාගන්න ඔහු වින්ද අපහාස වේදනාවන් ..
රිවාරේස් මට උගන්නපු බොහෝ දේ අතර එකක් තමයි සර්කස් එකක වේවා අනෙකුත් කලාකෘතියක වේවා මනුස්සයෙක්ගේ ශාරීරික විකෘතියක් උලුප්පල පෙන්නද්දී හිනා වෙන්න නෙමේ අඬන්න හිතෙන එක .


සර්කස් කිව්වම මට මතක් වෙන තව එකක් තමයි ''සතුන් වත්ත '' කියන චීන පොතේ ඉන්න චිම්පන්සියා තනි රෝදේ පදින හැටි . ඊටත් වඩා මතක් වෙන දෙයක් තියෙනව . ඊ ළඟ  . පෝසට් එක ඒ ගැන ලියන්න තියෙන නිසා නොකියා ඉන්නම් .


මේකත් එක සර්කස් එකක් . වේදිකාවේ ලස්සන නංගිලා වගේම මෙයත් ජිවන රඟමඩලේ සර්කස්කාරියක්. ..


සර්කස් බලල ආවට පස්සේ අපේ ගෙදරත් පොඩි සාම්පල රඟ දැක්වුනා ..පුටු උඩ ඇඳන් උඩ ඔලුවෙන් හිටගැනීම් ආදිය. තොල් පලාගැනීම් ඔලුව ගෙඩි ගැසීම් හෙමත් සිද්ධ වුණා.

ප. ලි .
සර්කස් සත්තු දිහා බලල අපිට නම් බොහොම දුක හිතුනා . සතුන්ට වද දලා අපි ලබන සතුටක් මොකටද . මගේ මේ සිතීම නිසා අපේ දෙන්නගේ සුරතල් සතෙක් ඇති කිරීමේ සිහිනය ඉටු කරගන්න බැරි වෙලා තියෙනව . ඒ ගැන නම් දෙන්න අමනාපයි . අපි පොඩි කාලෙත් හාපැටව් , ලේන් පැටව් ඇති කරන්න හැදුව නේද කියල හිතෙද්දි පොඩි දෙන්න ගැන පව් කියලත් හිතෙනවා .

Friday, June 22, 2012

නෙළුම් විල

නෙළුම් විල


පොළොවින් අහසට.. අහසින් පොළොවට ..දුක සැප දෙක මැද ජිවත් වෙනකොට

Posted: 21 Jun 2012 11:10 AM PDT

දවසක පොළොවින් අහසට ඉගිලෙයි
හෙට ආයෙත් පොළොවේ පය රඳවයි
සතුටයි කඳුලයි සමලෙස      හිමිවෙයි
ඔබටත් මට වාගෙම දැයි       විමසයි




හැම අවුරුද්දේම බෑන් කි මුන් මහතා මාස දෙකක්ම ඉස්කෝලේ ඉබ්බන් දමා ළමයින් ගෙදර එවයි . යුරෝපයෙන් ආ උදවියගේ පවුල් වල අම්මලා ළමයින්ද රැගෙන ගමරට දුවන්නේ ග්රිශ්මයේ රස්නයට බය නිසාය .සිංගප්පුරුව ජපානය කොරියාව වැනි රටවලින් ආ උදවිය වැඩිමනක් ගෙදර යන්නේ මේ ඉස්කෝලේ අධ්‍යාපනය තරඟකාරී නැති යයි සිතන ආසියාතික මානසිකත්වය නිසා ළමයින් මාස දෙකක් ඒ රටවල ඉස්කෝල වලට දමා දේශීය ඉගනීමට හුරුකිරිමටය .

අපි වගේ පිස්සන් කීපදෙනෙක් ඉතුරු වෙති . පාසල් නිවාඩුව ආසන්න වෙත්ම ගෙදර යන්නේ කවදාදැයි හැමෝම හැමෝගෙන්ම විමසති . අපි මෙහෙ නවතින බව කිවූ විට ඇස් ගෙඩි ලොකු කර බලා ඉන්නේ එක්කෝ මුන්ට පිස්සුද අසන්නට බැරිකමටය . නැත්නම් අනේ අසරණයින් අව්වට පිච්චිලා මැරෙයි ...කියාය . එහෙමත් නැතිනම් කාන්තාරයක අතරමංව සිටියදී තමන් පමණක් කෙම්බිමකට ලඟා වූ සෙයකිනි .


සැබවින්ම රැකියාවන් නොකරන අපි වාගේ අම්මලාගේ දවසද බොහෝ දුරට පාසැල මත රඳා පවතී . 90% පමණ අඳුනන අයද පාසැල හරහා හමු වූ අයය. එහෙයින් මාස දෙකක් පාසලින් වෙන්ව සිටීම තරමකට කාන්තාරයක තනිවිමක් බඳුය .

එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් අපිට අව්ව වැස්ස හොඳ හැටි පුරුදු බවය . ග්රිශ්මයේ දී අපේ රටට වඩා තරමක් රස්නය වැඩි මුත් අපිට නම් ඉවසිය හැක . අපි නිවර්තන ජීවින් බව ඔවුනට අමතකය . අනිත් අතට දෙය්යනේ කියා වතුරකට බැස පිනන්නට හැක්කේද මේ කාලයට පමණි . නිවාඩු කාලය හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයකි . නරක නම් පරිගණකයට දවස් පුරාම අයිතිකාරයෝ සිටීමය ..අනෙක නිතරම සෙල්ලම් කිරීමට එක්කරන් යායුතු වීමය . අප වාගේ තවත් පිස්සන් කීපදෙනෙක් ඉන්නා නිසා ඒ ළමයින් එක්කෝ මෙහෙ එති . නැත්නම් මෙයාල එහෙ යති .

ඔය සේරම අලකලංචි අතරට ශෝචනියම තත්වයක් එක්කහු වුයේ බ්ලොග් පිටුවට යාමට බැරිවීමය.
යම් ක්‍රමයකින් එය හරි ගිය මුත් ලියන්නට නිස්කාන්සුවක්ද නොලැබිණ .

ඔය අතරේ මිතුරු බ්ලොග් ලියන්නන් ලියාගෙන ලියාගෙන ගිහින් තියෙන වේගයට බොහෝ දේවල් තවමත් කියවන්නට බැරි විය . මමය මාගේය කියා දෙයක් නැති බව නම් යලිත් වරක් පසක් කර ගතිමි . මගේ යයි සිතන පරිගණකය විනාඩියෙන් අනෙක් අතට පත් විය හැක . මගේ යයි සිතන බ්ලොග් පිටු අනුන්ගේ තහනම් නියෝග වලට කොයි වෙලේ යට වේදයි කිව නොහැක .

මෙහි කුරුටු ගාන්නට පුරුදු වූ කල කොහේ හෝ අකුරක් නොකොටා ඉන්නා එකත් අපහසු වැඩකි . මුණු පොතේ වැඩිපුර රස්තියාදු වෙමින්ද පරණ දින පොතක අපිළිවෙලට කුරුටු ගාමින්ද කල දවස ගෙවිනි . පොත් ගොන්නකට යටවී තිබුන ඒ පොත ගැන මට මහා දාර්ශනික සිතුවිල්ලක්ද පහල විය . එය කුරු ගෑවේ මුණු පොතේ නිසාත් මුණු පොතෙන් මාව දන්නේ සුළු පිරිසක් නිසාත් මෙහිම ලියා තබමි . මෙවැනි දුලබ අදහසක් වැළලී යාමට ඉඩ නොදිය යුතුය ..D
 
 
'''''''''පරිගණකය , අන්තර්ජාලය .... ජිවිතයේ සරු කලෙකදී පෙම් බඳින රූමත් අනියම් පෙම්වතියන්ය . ඔවුන් ලං වූ විට නැති බැරි කල දීග ආ දුප්පත් දිනපොත් මනාලිය අමතක වේ. ඔවුන් සුකොමලය . මායම් අසු හාරදාහක් දනී . විවිධාකාරයේ නවීන මොස්තරයන්ගේ සැරසෙති . කෑල්ලක් පණුවෝ කාදමන ලද ඇපල් ගෙඩියක් පැළඳිම අලුත්ම මෝස්තරයයි . ඉඳහිට මේ රුවැත්තියන් පැන යයි. යාන්තම් පය පැකිලී වැටුන කල කිසිම වැඩක් නොකර කෙඳිරි ගාන තරම් සියුමැලිය. විටක අ...නුන්ගේ බස් අසා අපට පිටු පා යයි .

එවිටයි ගෙදර අමතක කර ආ කබල් දිනපොත් බිරින්දෑ සිහිපත් වන්නේ .

''මට කොයිතරම් ලස්සන කෙල්ලෝ හමු වුනත් ඔයා තමයි මගේ සදා ආදරේ ''කියමින් ඈව සුරතල් කරති . ඈ ඔහු ගැන දනී . එහෙත් නොදන්නා සේ ආදරයෙන් පිලි ගනී ...නැවත අර රූමතියන් ඉඟි කල විට පැන යන බව දැන දැනම ....

මාත් අද එවැනි ලජ්ජා නැති සැමියෙක් වගේය... බ්ලොග් සුන්දරිය අනුන්ගේ බසට රැවටී පැන ගිය පසු යලිත් පරණ දින පොතකට ආදරය කරමි . '''''''''


[ මාගේ ස්ත්‍රී චින්තනය මෙසේ කීවාට පිරිමි ළමයින් කලබල විය යුතු නැත . එයාලට තියෙන්නේ උදාහරණය අනික් පැත්ත හරවා සිතීමය .තවමත් වැඩිමනක් ගෙවල්වල බලා සිටින්නේ ගැහැණිය බව සරල සත්‍යයක් නිසා පමණයි මා මේ ලෙස සිතුවේ ]
 
පසුගිය දිනවල ලියන්නට තිබුන බොහෝ වැදගත් දේවල් අතුරින් කීපයක් පමණක් මේ ලිපියට අමුනන්නට සිතමි .

එකක් නම් මෑතක ඉදිකළ වියට්නාමයේ උසම ගොඩනැගිල්ලේ 72 මහලේ ආකර්ශනීය ස්ථානයක් බැලීමට යාමය . ඇත්ත වශයෙන්ම මෙය ඉන්දු චීන රටවල් පහෙන්ම උසම එක යයි කියනු ලැබේ . මේ ඉන්දු චීන රටවල් අතරින් තායිලන්තය අරුණ විට අනික් ඒවා වල මිනිසුන්ට නම් අහසට නගින එකට වඩා ජිවත් වෙන එක ගැන සිතීමට ඇතිවාට නිසැකය .[ මියන්මාර , කාම්බෝජියා , ලාඕස් , වියට්නාම , තායිලන්තය මේ රටවල් පහ වේ ]
උඩට උඩට ගොඩනැගිලි බිහි වීම ගැන මට ඇත්තේ වෙනමම අදහසකි ඒගැන වෙනම දවසක කතා කරන්නට අවශ්‍යය .

කෙසේ වුවත් කොරියානුවන් විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ලේ උඩම මහල මහජනයාට මුදල් ගෙවා නැරඹිය හැකි නිසා ඕනෑම තැනකට යාමට අපේ පවුලම එක පයින් කැමති වන නිසාත් අපි එහි නැග්ගෙමු . එතනට මුළු හැනොයි පළාතම හරි අපුරුවට පෙනේ . දුරදක්නයට කාසියක් දමා වට පිට වඩා හොඳින් බලා ගත හැක .මුලදී අපේ බනියාගෙන් හැනොයි කළු පාටට පෙනේ යයි පැමිණිල්ලකි . දුරදක්නයේ වරදක්ද ..නැත . කපන්නට නොදී මුනත් වැහෙන්නට දමාගෙන ඉන්නා කොණ්ඩය දුරදක්නය වසාගෙනය .

පස්මාන චිත්‍රපටයක් [5D ] මුල් වරට බැලීමටද හැකි විය . ත්‍රිමාන චිත්‍රපට මේ වන විට බහුලය . සිව්මාන චිත්රපටරේදී ඉඳ ගන්න පුටු සෙලවීම වතුර ඉසීම වැනි උපක්‍රම විඳිය හැක . පස් මාන වලදී තිරය අංශක 360 පුරාම වටකර සිටි . නරඹන්නා ඉන්නේ මැදිනි . අප නැරඹු මුහුද යට දර්ශන සහිත සිතුවම් පටය ඉතාම ලස්සන බව කිව යුතුය .

සියල්ලටම වඩා මා සිත් ගත්තේ ''පන ඇති කෞතුකාගාරය ''[ Alive Museum ] නමැති කලාගාරයයි ., ජීවමාන ගුණයක් ඇති අපුරු නිර්මාණ අතර මොහොතක් මා ළමයෙකු සේ විනෝද වූ බව කිව යුතුමයි .


පෙනේද ජනාකීර්ණ වී ඇති තරම . ඈතින් පෙනෙන්නේ රතු ගඟ




මේ අර Auguste Renoir ගේ චිත්රයක්නේ චිත්‍රාට ඉර ඇබින්දක් කියල මෙයා ගැන මන් කලින් ලිපියක් ලිව්වා

ඉස්සරහ ඉඳන් අත  වනුවහම මෙයා වාදනය කරනවා



එක මොනාලිසා කෙනෙක් හුලන් පිඹින කොට මේ රෙදිකඩ අනික් පැත්තට යනවා

අය්යෝ යන්න එපා අනේ ..ඔන්න මේ මන් නම් නෙමේ ..මොහිනිගේ නංගි වගේ නේද











අදට මේ ඇති යයි සිතේ . දැනටමත් අච්චාරුවක් වී ඇති එකේ තවත් මොකටද .