Thursday, September 06, 2012

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


෴෴...:::: Reawakening ::::....෴෴

Posted: 05 Sep 2012 08:54 AM PDT


කොහොමද ඉතින් යාලුවන්ට?

අදින් හරියටම අවුරුද්දකට කලින් බ්ලොග් කලාවට කෙටි විවේකයක් දෙන්න ගත්ත තීරණය මෙච්චර දිග විවේකයක් වේවි කියල නම් මම නිකම්වත් හිතුවෙ නෑ. නමුත් ඉතින් ඇතිවුනු පොඩි පොඩි ප්‍රශ්න සහ තිබුනු අලුත් වැඩ නිසා මට බ්ලොග් එකක් තියෙන විත්තියත් අමතක වෙලා තිබුනේ.

-----------------------------------------------------------------------------------------------

ඉතින් මීට සතියකට විතර කලින් මගේම යාලුවෙක් බ්ලොගින්ග් ගැන මතක් කරනකම් මට මේක නැවත පටන්ගන්න කිසිම අදහසක් තිබුනේ නෑ. ඒ වෙලාවෙ මම Blogger Dashboard එකට ලොග් වෙලා බලනකොට සේරම වෙනස් වෙලා, අලුත් Interface එකක් ඇවිල්ලා, අලුත් බ්ලොග් ඇවිල්ල, සමහර බ්ලොග් නැවතිලා, වැඩ ගොඩයි..

හරි හරි ඔන්න Gossips ටික ඉවරයි, දැන් මේ මොහොතෙ ඉඳන් මේ බ්ලොග් එක නැවත Active කාණ්ඩයට වැටෙන විදියට කටයුතු සිද්ධ වේවි. :D


මේ සතිය ඇතුලත (අනිවා!) අලුත්ම ලිපි පෙලක් ලියන්න මම පටන්ගන්නවා. සිරාම Kick එකක් තියෙන VFX වැඩ ගැන තමයි ලියන්න නම් ඉන්නේ. එහෙන් මෙහෙන් කොපි කරපු ඉෆෙක්ට්ස් නෙවෙයි, බිඳුවක් නෑරම ලාංකික VFX සෙට් එකක් බලාපොරොත්තුවෙන් ඉන්න. ඔන්න එහෙනම් ගියා. කට්ටිය Touch එකේ ඉන්න.

See Ya!

Sunday, September 02, 2012

නෙළුම් විල

නෙළුම් විල


Once in a ..Blue Moon....

Posted: 01 Sep 2012 10:58 AM PDT





පින්තුරය මෙතනින්



අප මේ සිටින්නේ ගිම්හානයේ අග්ගිස්සේය . ඊළඟ දවසේ පාසල් නැත්නම් තරමක් රෑ බෝ වෙනතුරු සෙල්ලම් පිටියේ ගත කිරීම දැන් අපේ පුරුද්දයි .
කොතරම් උණුසුම් වුවද මා ගිම්හානය ප්‍රිය කරමි . සිසිරයේ පාලු සීතලට වඩා අව් රශ්මිය දාහෙන් සම්පතකි . සිතේ හැටියට නා ගන්නට පුළුවන . ළමයින්ට එලියට බැස සෙල්ලම් කිරීමට හැකිය . එබැවින් ගෙවී යායයි ලෝබයෙන් මේ ගිම්හානයේ අවසන් සමය උපරිමයෙන් විඳිය යුතු නිසා සවස් කල හැකිපමණ එලි පහලියේ ගැවසෙමු.

 ඊයේද අදද එසේ ගෙවී ගියේය . ඊයේ නිල් සඳක් [ Blue moon ] පායා යයි මගේ මිතුරිය දුන් ඔත්තුවක් නිසා අපි සඳ එනතුරු බලාසිටියෙමු . රැස් වළලු අතර රන් තැටියක් වන් පුර හඳ පායා ආවාය.

සුලඟ සුව දායකය . මද සුළං ඇති රැයක මද අඳුරේ ..පුරහඳක් යට ..සිතන්නට මොනතරම් දේ ඇතිද . සඳ පායන කල මානසික රෝග උත්සන්න වන බව මා අසා ඇත . අප සැවොම එක්තරා දුරකට පිස්සන් වෙමු . සඳ දියෙන් නැහැවෙන කල අතීත මතකයන්ගේ කිමිදී දහසක් සොම්නස් සහගත මෙන්ම යම් තරමකට පාළු  සහ කිව නොහැකි දොම්නස් සහගත සිතිවිලි ඇති වී නැති වී යන්නේ එබැවින් විය යුතුය .

සඳ උළෙලත් ළඟ ළඟ එයි . දැනටමත් සඳ කේක් කඩ ඉදි වී ඇත . නොකියවූ කෙනෙක් ඇත්නම් ගිය වසරේ ලියු ..සඳ කමිටුවේ මාමලාගේ අපමණ දැනුමින් පෝෂිත වූ මේ පුර සඳ ළමයින්ටයි කියවන මෙන් ඉල්ලා සිටිමි . සඳ කමිටුවේ මාමලා බොහොමයක් විවිධ වැඩ කටයුතු නිසා කාර්යබහුල වී ඇති සැටියකි . ඔවුන් සැමට ගෞරවයෙන් නැවතත් මේ ලිපිය සිහි කරමි .

සඳ සහ මම ගැන ලියන්නට බොහෝ දේ තිබේ . විදුලි එලි හිඟ වූ බාල කල අනගි වස්තුවක් වූ සඳ ..සහ මගේ මතක ලියන්නට ගියහොත් කොහෙන් නවතිදැයි නොදන්නා නිසා සහ සැමදා ඔබගේ සිත් වල සංවේදී තැන් පහුරු ගාන්නට අකමැති නිසා වැඩිදුර නොකියමි. අද මැදියම් රැයටත් අන්ධකාරය රිසිසේ නොදැනේ . අධික විදුලි පරිභෝජනය ..ලෝකයට අඳුර විඳින්නට අයිතියක් නැති කර වාගේය.ආසාවකට ජනෙල් තිර ඇර දමා නිදා ගත නොහැක . මේ සියල්ල අපගේ සැප පහසුවට බව සැබෑය.

නුතන දියුණුව ගැන ලෝකයේ වෙනස් වීම ගැන මගේ විරුද්ධත්වයක්ද නැත . එහෙත් කොයිදේත් පමණට වැඩි වීම නම් කරදරයකි. විපතකි . නියෝන් එළිය මොළයේ විවිධ ආබාධයන්ට හේතුවන බව කොහේ හෝ කියවූ දා සිට ජනෙල් තිර වසා නින්දට පුරුදු වුයෙමි . මේ නගර වලට සඳ ආවත් නැතත් ගනනක් නැතුවා වෙන්නට පුළුවන .

 තමා හමුවට ආ මුල්ම මිනිසා වියෝ වූ බව සඳ දන්නවාදැයි මට සිතේ . විදු ඇසින් කොයිලෙසක දුටුවත් අපට සඳ සැමදා සජීවී වස්තුවකි . හාවෙක් නැති බව විද්‍යාවෙන් කොපමණ උගත්තත් මා පුරසඳ මත තවමත් සාවා දකිමි. [ සැබවින්ම කියතොත් ඔය සඳේ හාවා හරියටම දැක ගත්තේ බොහෝ ලොකු කාලයේය . එයට හේතුව මා සඳේ සිටින්නේ කිරි සුදු හාවෙක් යයි වැරදියට සිතා සිටි හෙයිනි .]

යොවුන් වියේ දී පුවත්පතක පළවූ මුල්ම නිසදැසට සඳ පෙරවදනක් විය . ගීත සාහිත්‍යයේ සඳ ගැන කියවුන ගී ගණන් කල නොහැකි තරම්ය .

ළමයෙකු සේ මෙන්ම අදද මා සඳට ආදරය කරමි . එසේම පරිඝනක යුගයේ උපන් අපේ ළමයින්ද සඳට ආදරේය. ලෝකයේ කොහේ වුවද සඳ දැක සතුටු නොවෙන ළමයෙක් ඇතැයි නොසිතමි .

මන් ළමයා සහ මගේ ළමයි දෙන්නා නිල් පාට සඳක් දැක ගන්නට බලා සිටියෙමි . නිල් සඳ සැබවින්ම නිල් පාටද . දම් පාටින් ලා සඳ බැස යනවා කීවද මා කවදාවත් දම් පාට සඳක් දැක නැත . Under a violet moon ගියටද කොතරම් ආසාද . අහෝ කවදාවත් දම් පාට සඳක් දැක නැත්තෙමි .


Smurf චිත්‍රපටය බලා සැබවින්ම නිල් පාට සඳක් කවදා හෝ පායයි කියා පොඩි උන් මෙන්ම මාද මොහොතකට හෝ විශ්වාස කලෙමි . සඳ කමිටුවේ මාමලා මේ ගැන වැඩිපුර විස්තර දන්නවා ඇත . මා සොයා ගත් ඇබින්ද ලියා තබමි.
කුමක්ද මේ Blue Moon ..?? ඉතාම අඩු සම්භාවිතාවක් ඇති දෙයකට once in a blue moon කියනු අසා ඇත . මන් ඒ කියමනට ඉතාම කැමතිය .

සරලවම කිවොත් එක මාසයක සඳවල් දෙකක් .අපට තේරෙන පරිදි පෝයවල් දෙකක් [ අධිපෝයක් ] ඇති මාසයක දෙවන පුර සඳ යන්න අපට වඩාත් ගැලපේ .

මේ Blue මූන් හෙවත් නීල චන්ද්‍රයා ගැන සරල අර්ථකථනය ගැන මන් කියවූයේ මෙතනින්ය .
සැබෑවටම සඳ නිල්පාටින් පායන්නේ නැතිද ..කණගාටු විය යුතු නැත . කවර දිනක හෝ යමෙකුට නීල වර්ණ සඳක් දැක ගැනීමට අවස්තාවක් ලැබීමටද ඉඩ ඇත . වායුගෝලයේ විවිධ අංශු වර්ග නිසා සඳ නීල පැහැයෙන් බබලන්නට ඉඩ ඇත . එසේ නීල සඳ දුටු අයද සිටි . මෙතනින් ඔවුන්ගේ කතා කියවා බලන්න .


දහසක් විදුලි එළියෙන් නැහැවුන සවස
අගයක් නැතිද සඳ නුඹ දිලුණත්   අහස
වැඩියක් තරු නැතිද වාගේ පෙර   දවස
තනියක් දැනුන බව, සඳ නොකියූ රහස



සඳත් එක්ක පන්සල් ගිය ළදරු       යුගේ
මටත් හොරෙන් යනවා මුළු හිතම   මගේ
එදත් කෙලි දෙලෙන් අපි නැහැවුණා වගේ
අදත් ගලනවද සඳ දිය මිදුල              දිගේ

ඔය කවි දෙකේ අන්තිම පදය තමයි මන් ඊයේ හිතෙන් මුමුනමින් ළමයින්ගේ ඔන්චිල්ලාව මත නැලවූනේ . ඉතුරු ටික නම් ඉතින් අද තමයි ගැට ගැහුවේ . ළමයින්ට ලොකු වැඩ කරන නගරය ගැන අහල මාරයා ඇතුළු කීපදෙනෙක් අහල තිබුණ ලොකු අයට ළමයින්ගේ වැඩ කරන්න පුංචි නගරයක් නැද්ද කියල . මට කියන්න තියෙන්නේ ඉඳ හිටලා ඔන්චිල්ලාවක් හෙම පැදලා කාරිය සතුටු වෙන්න තහංචි පනවා ගන්න එපාය කියලයි. අපි කාගේත් හිතේ තවම  ළමයෙක් ජිවත් වෙනවනේ . ඉඳ හිටලා හරි ඒ ළමයට සන්තෝෂ වෙන්න ඉඩ දෙන එක අපේ යුතුකම .


ඊයේ දාපු පෝස්ට් එක කියවන්න බැරි වුන අයට මෙතනින් . මට ඉතින් හිතුනාම නොලියා ඉවසන්න බැරිකමට සමාව දෙන්න

Saturday, September 01, 2012

නෙළුම් විල

නෙළුම් විල


නිවාඩු ඉවරයි ..

Posted: 31 Aug 2012 08:53 AM PDT

ග්‍රීෂ්ම නිවාඩුවේ ගම රට ගිය ඇත්තන් ආපසු ඇවිදින්ය . නොඑන්නම ගිය සිත් ගත් මිත්‍රයින් නැති අඩුව තදින්ම දැනේ .
ජිවිත ගමනේ හමුවන සුවහසක් මිනිසුන් අතර බොහොමයක් දැක්ක දුටු තැන කතා කරන්නටත් අවැසි දෙයකට පමණක් මුණ ගැසෙන්නටත් පමණක් සිමා වේ. සමහරෙක් එයින් මදක් ඔබ්බට ඉඳහිට කතා කොට දුක සැප අසන්නට පෙළඹේ . එක්කෙනක් දෙන්නෙක් හදවතට බොහෝ ලංවේ . හිත මිතුරන්ට හදවතේ ඉඩ වෙන් කරද්දී නොයෙක් අකටයුතු කම් සිදුවේ . සමහරුන්ට වර්ග අඩියක් දෙකක් හිමි වෙද්දී ඇතැමුන් අක්කර ගණන් හිමි කර ගනී .


ජිවිතයේ විවිධ යුගයන්හි මට එවන් මිනිසුන් හමුව ඇත . උන්හිටි තැනක් වත් නැතුව ඇතැමුන් වාෂ්ප වී ගොස් ඇතිවාක් මෙනි, පරිගණක යුගයේ නුපන් අප පරම්පරාවෙන් මුණු පොත හෝ අන් සමාජ ජාලයන් ආශ්‍රයට පෙළඹුනේ සියල්ලන්ම නොවේ. ගුරුතුමියක් ව සිටින පාසල් වියේ මගේ හොඳම මිතුරිය මුණු පොතේ නැත . කෙටිකාලින ගුරු ජිවිතයේ හමු වූ ලබැඳි සොයුරිය ඉඳහිටක දුරකතනයෙන් හමුවේ . ලංකාවේ ගුරුවරුන් අන් ක්ෂේත්‍රයන් වලට සාපේක්ෂව අන්තර්ජාල භාවිතය අඩු යයි කියා මට සිතේ .

සයිගොන් නගරයේදී හමු වී හදවතේ ලොකු ඉඩක් වෙන් කර ගත් ඉන්දියානු මිතුරිය හමුවන්නට මෙවරත් හැකි විය . මැලේසියාව ගැන ගිය අවුරුද්දේ ලියු නිසා ආයෙමත් ලිවිම කම්මැලි වැඩකි . ගියවර නගින්නට බැරි වූ ලෝකයේ උසම ද්විත්ව කුළුණට [එනම් පෙට්‍රොනාස් KLCC Tower ] නගින්නට නම් මෙවර හැකි විය . එය ගොඩ නගන්නට වැය වූ මුදල මේ වන විට නරඹන්නන් ගෙන් අයකර ගෙන ඇති බව මට නම් සිතේ .









රාත්‍රියේ වතුර මල් ....

 උඩ සිට බිම බැලූ විට .



එක කුළුනක උඩ සිට අනික් කුළුණේ කොත මගේ කැමරාවෙන් . තව පින්තුර නොසැහෙන්න තිබුනත් ඒවායේ ඉන්න නිලියන් නිසා බ්ලොග් ගත කිරීමට නොහැකි වීම ගැන කණගාටුව .
රාත්‍රියේ ..

ඒ ඇරුන විට හැනොයි සිට මැලේසියාවේ ස්ථානගත කෙරුණු කීපදෙනෙකු හමු වීමටද හැකි විය . සියල්ලටම වඩා අපේ පොඩ්ඩන් හට අමතක නොවෙන විශේෂ තැනකට යාමට ලැබිණි . ඇතැමෙක් අසා තිබෙන්නටත් පුළුවන . Kidzaniya කියන ළමයින්ට වැඩිහිටි ලෝකේ අත්හදා බැලීමට ඉඩ ලැබෙන තැනකට යන්න ලැබුන එක ගැන ඔවුන් බොහොම සතුටින් .



ටිකට් එක අරන් ඇතුලට ගිය පසුව ළමයින්ට ලබාදෙන මුදල් නෝට්ටු [ ඇත්ත ඒවා නොවේ] වලින් ගෙවීම් කර විවිධ ස්ථාන වල අත්දැකීම් ලැබිය හැකිය . මේ ස්ථානයන් විවිධාකාරය . ළමුනට මෙහිදී තැපැල් කරුවෙකු වී ලියුම් බෙදීමේ සිට පොලිස් නිලධාරියෙකු , ගිනි නිවන භටයෙකු හෝ රියදුරෙකු යනාදී විශාල පරාසයක රැකියාවන් අත්හදා බැලිය හැක . කොටින්ම ලොකු සෙල්ලම් නගරයක් වැනිය . කොටින්ම බනියාට විනාඩි විස්සක අධ්‍යාපනයකින් පසු දොස්තර උපාධියක්ද හිමිවිය . ලොක්කිට රක්ෂණ සහතිකපත් ආදී ලියකියවිලි පිළියෙළ කරගෙන රියදුරු බලපතක්ද ලබාගැනීමට හැකි විය . ගොඩනැගිලි අංශයේ ජනෙල් පිරිසිඳු කිරීම වැනි වැඩ කොට මුදල් උපයාගැනිමටද ඇය සමත් විය .




දවස අවසානයේ උදාවුයේ නොසිතු අකරතැබ්බයකි . ළමුන්ගේ ඉතිරි මුදලින් යමක් මිලදී ගත හැකි කඩයක් තිබිණි . අහෝ එහි භාණ්ඩ අධික මිලැතිය. දෙදෙනාගේම මුදල් එක්කර වුවද ගත හැක්කේ සබන් බෝල විදිනයක් වැනි සුළු දෙයකි. අහන්නත් දෙයක්ද අපේ බනියාට හොඳටම තරහ ගොසින්ය . අසරණ අක්කා කොතරම් බැගෑපත් වුවද ඇය නොවේ ඇය උපයාගත් නෝට්ටු ටික අත අරින්නට කැමති වුයේ . මගේ සල්ලි මට ඕනා යයි විලාප තියද්දී බලයෙන් ඇගෙන් කොළ කීපයක් ගෙන අක්කා සබන් බෝල පුම්බනයක් මිලට ගත්තාය . මේ කඩය නම් සුත්තර කඩයකි . ඉතිරි වන මුදල් ටික වියදම් කරන්නට නම් ආයේ දවසක් ගිය යුතුමය . ඒ නගරයේ ජිවත් වන ළමයින් එසේ කරනවා ඇත. කෙසේ වුවත් ළමයින් ලද අපුරු අත්දැකීම නම් ඉතාම වටනා එකකි .


ඔය සිද්ධිය සහ සපත්තු ගන්නට ගොස් සපත්තු එපාම යයි කඩේ දෙක කිරීම ඇරෙන්නට බනියා මුළු ගමන පුරාම යහපත් කලකිරියාවෙන් යුතුව සිටි බව කිව යුතුය

මේ පිහිනුම් තටාකය තිබෙන්නේ අප දින දෙකක් තාවකාලිකව සිටි නවාතැනේ 22 වෙනි තට්ටුවේ . ඒ දින දෙක අරුණකොට ඉතිරි මුළු කාලයම මගේ මිතුරිය සමග තෝසේ චපාති ..චට්නි ..ඇතුළු රසවත් දකුණු ඉන්දියානු ආහාර ගනිමින් [නිර්මාංශ භක්ෂිකයෙක් ලෙස ] හින්දි චිත්‍රපට බලමින්ද ....පුර්ණ නිවාඩුවක් ගත කලෙමි .

.බ්ලොග් ලිවිල්ල මෙන්ම කියවිල්ලද අඩාල වුයේ පාරෙන් පිට පැන්න වාහනයක් වාගේය. පහුගිය දිනවල විටින් විට වාහනේ පාරට ගැනීමට තල්ලුවක් දුන් අයද බොහෝය . ඒ අයට මාගේ නොවක් තුති. නිවාඩුවෙන් පසු හොඳ ගෘහනියක් වම්හයි දැඩි අදිටනින් සිටින කල බ්ලොග් කියවීමද අඩපණ විය . ගෙවල් පිළිවෙලට තබාගෙන ළමයින්ගේ වැඩත් කරගෙන බ්ලොග් එකකුත් ලිවිම අභියෝගයකි . අනික් අතට කියවන්නට කැමති පොත් කීපයක්ද පුස්තකාලයෙන් හමු විය . ඒ අතර පාසලේ මුල් සති කීපය ගුරු දෙගුරු රැස්වීම්....කෝපි රැස්වීම් එකී නොකී දේවලින්ද බහුලය . ඒ ඇරුන විට   රස්සාවල් කරන්නට පුරුදු වූ ගැහැණු ගෙවල්වල ඉන්නට වූ කල විටින් විට ඇතිවන සන්කාකුල සිතුවිලිද ඉඳහිට සිත අකර්මන්‍ය කරවන සුළුය .

නිදහසට කාරණා කිවා මදැයි . සාමාන්‍ය වශයෙන් යමක් එක දිගට කිරීමට අපහසු මා අත නාරින එක දෙයක් වන මේ බ්ලොග් ලිවිම යලිත් සුපුරුදු ලෙස කරන්නටයි බලාපොරොත්තුව .

Sunday, July 15, 2012

නෙළුම් විල

නෙළුම් විල


කඳුළු දේශයේ සොඳුරු මිතුරී...

Posted: 14 Jul 2012 09:42 AM PDT

ඊයේ රාත්‍රී කෑමට  අපට ඊශ්‍රායල් මිතුරියගෙන් ආරාධනාවක් ලැබුණා . ඊයේ කියන්නේ සිකුරාදා . සිකුරාදා රෑට එයාල ගන්නේ විශේෂ රාත්‍රී භෝජනයක් . අපටත් එයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණ එක මට හරිම අලුත් අත්දැකීමක් වුණා. උණු උණුවෙම නොලිවොත් අගය අඩු වෙන නිසා සුරතලුන් ගැන ලිවිල්ල කල් දාන්න හිතුවා.

ඊශ්‍රායලය කියන්නේ යුදෙව් රට කියල දැනන් හිටියට යුදෙව් ආගම සංස්කෘතිය ගැන මට නම් තිබුනේ අල්ප දැනුමක් . සත්සමුදුරේ යුදෙව්වන් ගැන දීර්ඝ ලෙස ලියවුන නිසා ඒ ගැන විස්තර කරන්න මහන්සි වීම අනවශ්‍යයි .

කොහොමත් මේ රට ගැන අපිට තිබුනේ එච්චර හොඳ ආරංචි නෙමේනේ . පලස්තීනුවන් පිඩනයට පත්කරන ,ඇමරිකාවේ අතකොළුවක් වෙච්ච කොටින්ම සමහර පත්තර වල මැදපෙරදිග ත්‍රස්තවාදියා විදිහට හඳුන්වලා තියෙනවාත් දැක තිබෙනවා . යුදෙව්වන් බරපතල සංහාරයකට ලක්වුණ දෙවෙනි ලෝක යුද්ධය ගැනත් අපි ඇති තරම් අහල කියවල බලල තියෙනව.

ඊශ්‍රායලය ගැන ලියවුන සත්සමුදුරේ ලිපි වලට මෙතනින් යන්න

ඒ සියල්ල අත ඇරලා සාමාන්‍ය මිනිසුන් ලෙස ඊශ්‍රායල් ජාතික පවුලක් ආස්සරය කරන්න ලැබුණ එක මට අලුත්ම අත්දැකීමක් . මගේ මිතුරිය හරිම ලස්සනයි . ලස්සන මුණකුයි ලස්සන හදවතකුයි දෙකක්ම එකට පිහිටපු විරල නිර්මාණයක් වගේ ඇය.
ඇය කවදාවත් කිසිම දෙයක් ගැන පැමිණිලි කරනවා ,නෝක්කාඩු කියනව මන් අහලම නැහැ . කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නේ . හැමදේකම හොඳ පැත්ත දකින්න හැකි එහෙම උදවිය හරිම අඩුයි .

පුංචි කෙල්ලෝ තුන් දෙනාත් සුරංගනාවියෝ වගේ . ඇයගේ සැමියත් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් .
ලෝකේ කොහේ හිටියත් සිකුරාදා රාත්‍රිය මෙයාලට විශේෂයි . ''ශබාට් '' නමින් හැඳින්වෙන සති අන්තයේ ඇරඹුම තමා සිකුරාදා රාත්‍රී භෝජනය . හිබ්රූ ආගමට අනුව දෙවියන් ලෝකය මැවීමේදී දින හයක් වැඩ කොට හත්වෙනි දිනය විවේක ගැනීම තමයි මෙයින් සංකේතාත්මකව සැමරෙන්නේ .

ආගමික අදහස කෙසේ වුවත් මට හිතුනේ මේ කොතරම් වටිනා සංස්කෘතික අංගයක්ද කියායි.

මේ ගැන අන්තර්ජාලගත කාරණා කියවීම කම්මැලි හිතෙන තරම් සංකීර්ණ වුවත් මගේ මිතුරියගේ නිවසේ අපදුටු චාරිත්‍ර අතිශය සරලයි . ඒ වගේම අපටත් පිලිපැද්දට කමක් නැති තරම් වටිනා දෙයක් .
මුලින්ම කරනුයේ කෑම මේසයේ ඉටිපන්දම් දැල්වීම . ඉර බැස   යාමට ඔන්න මෙන්න තියා මේ ඉටිපන්දම් දැල්වීම කරනුයේ පවුලේ කාන්තාවක් . මව හෝ දියණියක් විය හැකියි.

නිවසේ පහන කාන්තාව නිසා වෙන්න ඇති. [ මේක කාන්තා බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න ].


පින්තුරය මෙතනින්

මේසය මත නිවසේ සාදන ලද පාන් ගෙඩියක් සහ රිදී වයින් බඳුන් දෙකක් තිබුණා. එකක් එයාලගේ පවුලට . අනික අපට .

පවුලේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ආගමික පොතකින් වගන්ති කීපයක් කියවනවා . මුලින්ම ආශීර්වාද කරන්නේ දුවරුන්ට . දෙවෙනියට පුත්තුන්ට . [ මේ ගෙදර නම් පුත්තු නැහැ . කෙල්ලෝම තුනක් . ]
ඉන් පසුව බිරිඳට . ඔහු කි පරිදි නිකන්ම නිවසක් උණුසුම් ගෙදරක් බවට පත් කරන්නේ බිරිඳක් නිසා ඔහු ඇයට ස්තුතිවන්ත වන බවයි . අපේ පොඩ්ඩි එතන ඉන්න තිබුණේ. බලන්න ලස්සනයි සැමියා බිරිඳට හෙලපු ආදරණිය බැල්ම . අපේ අයට පාඩම් ඉගෙන ගන්න පින්තුරයක් දාන්න බැරි වුන එකයි කණගාටුව.


ඉස්සරටත් වඩා අද අපි ජිවිතේ ගෙනියන්නේ දුවමින් . හැල්මේ යන ගමන පොඩ්ඩක් නතර වෙලා සිංහලෙන් කිව්වොත් බ්රේක් එකක් අරන් මේවගේ තමන්ගේ පවුලේ වටිනාකම මතක් කරන්න එකිනෙකාට ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ඊ ළඟ සතිය නැවුම් විදියට අරඹන්න අපි වැඩිය නොදන්නා ජාතියකින් ලැබෙන පාඩම හරිම වැදගත් කියලයි මට හිතෙන්නේ .

කල්පනා කරලා බලද්දී අපේ සමාජයේ මේ ස්තුති කිරීම් සිදුවන්නේ බොහෝ කොට අලුත් අවුරුදු සිරිත් මුල් කරගෙන . අනික් දවස්වලදී බොහෝ ගෙවල් වල වුණේ සැමියාට ළමයින්ට හොඳම දේ බෙදා දීල අම්ම කුස්සියේ ඉඳන් ඉතුරු වුන යමක් කන එක . මේ වෙද්දී බොහෝ දුරට මේ තත්වයන් වෙනස් වෙලා වුනත් ආදරය ප්‍රකාශකරන්න , ස්තුතිවන්ත වෙන්න අපේ සමාජය ටිකක් පැකිලෙනවා කියලයි මගේ හැඟීම .
ගෙදර පුච්චපු අලුත් පාන් , පාර්ස්ලි සහ කුස් කුස් සලාදය , ඇතුළුව බොහොම ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න කෑම ජාති ගොඩක් සහ පලතුරු සමග පලතුරු තේ රසවින්දා . සේරම එළවලු කෑම .

කවදාවත් විසදෙන්නේ නැති ඒ රටේ ප්‍රශ්න ගැනත් අපේ රට ගැනත් කතා වුණා. උපන්දා සිටන් යුද්ධේ ආනිසංස අත්වින්ද නිසා අපි දෙගොල්ල අතර සමානකම් හුඟක් තියෙනව . අදට වුනත් කොයි වෙලේ බෝම්බ පිපිරේදයි නොදන්නා ඔවුන්ගේ සදා කඳුළු දේශයට හෙට අනිද්දා ඔවුන් ආපසු යනවා . ඒ ගැන නම් මට ඇත්තේ හරිම දුකක් . ඉඳහිට හමු වෙන සුන්දර මිනිසුන් මේ ලෙස සමුගෙන යාම නම් කණගාටුවට කාරණාවක් .

මන් ඇයට තෑගී කලේ අපේ රටේ සිතියමක් සහිත චිත්‍රයක් . ලෝකයේ කොහේ හෝ කොනක මේ වගේ ලස්සන පුංචි දුපතක් ඒ ගොල්ලන්ටත් ඇත්නම් කියල ඈ කිවේ ලොකු සුසුමක් පිටකරන ගමන්

Wednesday, July 11, 2012

නෙළුම් විල

නෙළුම් විල


මිනිසෙක් වූ බල්ලෙක්

Posted: 10 Jul 2012 09:21 AM PDT




මේ ලෝකේ සුරතල් සතෙක් නැති එකම ළමයි දෙන්න තමන්ය කියල ලොක්කියි පොඩ්ඩියි නෝක්කාඩු කියද්දී  පහුගිය සර්කස් ලිපියේදී නැන්දලා මාමලා හුඟක් කියා තිබුණ ළමයින්ට බලු පැටියෙක් ගෙනත් දෙන්න කියල . හැබැයි දෙන්න මගේ බ්ලොග් එක කියවන්නේ නැති හින්ද ඒ චන්ද සේරම අවලංගු වෙනවා .D

අද මෙහෙම වුනාට අපේ ගෙදර ඉස්සර හැමදාම පුසෙකුයි බල්ලෙකුයි වැරදුනේ නැහැ . ඒ දවස්වල ලොකුවට තාප්ප දාල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ බොහොම අඩුවෙන් .ඉතින් ඒ සත්තු නිදහසේ ඇවිදලා ජිවත් වුනා . බල්ලන් නම් හිටියෙම එළියේ . පූසන් නම් ගේ ඇතුලේ උන්නත් පුටු උඩ නැගීම තහනම් . මේ නීති අකුරටම ක්‍රියාත්මක කලේ අපේ අක්ක . හැබැයි අපි උන්ට ආදරේ කළා . අතපත ගාල සුරතල් නොකෙරුවත් උනුයි අපියි අතර අපුරු බැඳීමක් තිබුණා.

මේ බල්ලන් පුසන්ට අමතරව කිකිළියක් ඇති කළා අපි කුඩාම කාලේ . බිත්තර රක්කලා පැටව් ආවම අපි උන්ව බෙදා ගන්නවා . ලොකු වුනහම උන්ගේ බිත්තර තනියම කන්න හිතාගෙන . පුංචි පුළුන් බෝල වගේ කුකුළු පැටව් කුකුලොද කිකිලියෝද කියලා සොයන්න බැහැ. ඔන්න ටික දවසක් යද්දී පිටිපස්සෙන් වලිග පිහාටු දික්වෙන්න ගත්තම තමා තමන්ට අයිති එවුන් මොන ජාතියේද කියල දැනගන්නේ . සමහර විට සේරම කුකුලෝ වෙලා බලාපොරොත්තු සුන් වෙන වෙලාවල් තිබුණ .

[මේ අර ගෙවත්තේ අල බතල හිටවාපු දශකයේ අග භාගය විය යුතුයි .]

ඒ ඉතින් හුඟක් පුංචි කාලේ . පසු කලෙකත් මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර කුකුළු පැටව් හිටියා . තව එළදෙනක් හිටියා . මහගෙදර ඒ සත්තු ඇති කරන එක නැවතුනේ ආච්චිගෙයි ආතාගෙයි අන්තිම කාලේ බවයි මට මතක . මේ අර ලිපි තුනකින් කියූ තාත්තගේ ගම නෙමෙයි . කොළඹට ආසන්න අම්මගේ ගම . කොළඹට ආසන්න වුනත් ලස්සනට තිබුණ පළාතක් .ඒ විස්තර වෙන ලිපියකින් ලියන්න සිදු වෙනවා .

අද මට ඇත්තටම ලියන්න උවමනා වුනේ මා හා සමීප වෙච්ච සුරතල් සතුන් ගැනනේ.

බලු පැටවුන් පිලිබඳ මගේ පළමු මතකය හරිම තිත්ත එකක් . අපිට හිතවත් කෙනෙක් ලස්සන බෝල ගෙඩියක් වගේ දුඹුරු පැහැති බලු පැටියෙක් ගෙනත් දුන්න . අපි එයාට බ්‍රවුන් කියල කතා කළා . ටික දවසකින් බලු පැටියා ගෙනත් දීපු අය්යා අපේ තාත්තත් එක්ක කුටු කුටු ගානවා දැක්ක . ඊ ළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී හරිම අමුතුයි . බ්‍රවුන් නැහැ .

හැබැයි අම්මලට මේක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. පැටියාගේ අම්මට පිස්සු හැදිලා . බලු පැටියට වුන දේ කවදාවත් අපට කිව්වේ නැතුවට සුරියපාලුවේ වෙද මහත්තයෙක් ලඟට පවුලම ගිහින් ඇවිත් තිත්තම තිත්ත කසාය අපට පෙව්වා . ඊක්.....

අච්චර ඛේදවාචකයක් වෙලාත් අපි පසු බැස්සේ නෑ. සත්තුත් මිනිස්සු වගේ . විවිධාකාර චරිත රැසක් තිබුන බල්ලන් පූසන් කීප දෙනෙක් මට හොඳට මතකයි.

බුලා එක්කෙනෙක් . මෙයා පුදුමාකාර බල්ලෙක් . අපි යන යන තැන පස්සෙන් ආවා . ආදරේට වෙන්න ඇති . හැබැයි අපිට නම් මේක පරාල ඇණයක් වුණා . කොයිතරම් මග ඇරලා ගියත් මෙන්න භාගයක් දුර යද්දී බුලා අපේ පස්සේ . නාන්න ගියත් , දුර ගමනක් යන්න බස් එකට ගියත් පස්සෙන් එනවා . මේ පස්සෙන් ඒම ඉවසන්න බැරි මුට කන්න පාර දිගේ අනික් බල්ලෝ කඩා පනිද්දී ආරක්ෂාවට අපි අස්සට එන එක . එක දවසක් අපේ අම්ම බස් එකට නැග්ගම මිනිස්සු කෑගහන්න අරන් . බල්ලෙක් බස් එකට ගොඩ වෙලා . අම්ම අඳුනන්නේ නැතුව උන්නලු . ආයේ දවසක් පන්සල් ගිහින් බණ මඩුවේ බණ අහනව . මෙන්න බුලා සෙනග අස්සේ අපිව සොයනවා . එදාත් බුලා අපේ නෙමේ .

එක දවසක් බුලා ගෙදර ආවේ නෑ . අම්මල කිවේ මැරෙන්න ළඟ වුනහම සත්තු යන්න යනවලු .
තව අමතක නොවෙන මිනිහෙක් වගේ බල්ලෙක් උන්න . එයාගේ නම ''ටාසන් ''. මුට නම් බල්ලා කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ .



තනිකර මනුස්ස ගතිගුණ තිබ්බේ ... පොතක් හරි ෆයිල් එකක් හරි අරන් ගෙදරට එන තරුණ අයව නැට්ට වනල පිළිගත්තා . වයසක මිනිස්සු පේන්න බැහැ. කඩා පනිනවා . අපේ යාලුවෝ ආවම දොරකඩට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා යනකම්ම . අපේ යාලුවෝ අතර ටාසන් සැහෙන ජනප්‍රිය වුණා . සමහරු කිව්වේ ටික කාලෙකට ඉස්සර මැරුණ තරුණ අයෙක් වෙන්න ඇති කියලයි . කෑවේ වෙලාවට. බොහොම ටිකයි . හරිම පිරිසිඳු පාටයි .


නරක පුරුදු වලට ඇබ්බැහි වුන හොඳ මනුස්සයෙක්ට වෙන දේ මෙයාටත් වුණා . අසල්වැසි ගෙදරකින් හරක් මස් කන්න දීල ටාසන් එහාට පුරුදු වුණා . අපේ දිහා නොකන මසට ලොල් වුන ටාසන් අන්තිමට එහාටම වුණා . පුදුමම දේ වුණේ ඊට පස්සේ . අපේ ගේ ගාවින් එහා මෙහා යද්දී හරියට තරහ වුන මිනිහෙක් වගේ අනික් පැත්ත බලන් යන්න ගත්ත . බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න පුළුවන් බව එදා තමයි මන් දැන ගත්තේ .

ටික කලකින් අපි දැක්ක සාත්තුවක් නැති වුන ටාසන්ගේ ඇඟේ කුෂ්ට දාල . අපේ දිහා ඉද්දි නිතර නාන්න පුරුදු වෙලයි මෙයා උන්නේ .[ එක දවසක් පාරට ගිහින් ලොරියක හැපිලා කකුලක් තුවාල වෙලා ඉද්දි අය්යා තමයි සාත්තු කරලා සනීප කලේ .]


ඔය කාලේදී මන් වෙන ගමකට දීග ගියා . මට අවසාන කාලය දකින්න බැරි වුණා .

අම්ම කි පරිදි අවාසනාවන්ත තත්වයට පත් වුනාට පස්සේ අර ගෙදරින් ටාසන්ව එලවල . ඉඳහිට අපේ මිදුලට ආවාම අම්ම කන්න ටිකක් දුන්නලු .

දවසක් අර ගෙදර ගැහැණු කෙනා මරලතෝනි දෙනවා ඇහිලා . ලිඳට බල්ලෙක් වැටිලා . එයාල නොදැන ලිඳේ වතුරත් බිල .

වැටිලා මිය ගිහින් තියෙන්නේ ටාසන් .

මේ දේවල් විස්තර කරන්න හැකි බුදු දහමට පමණක් කියලයි අද මට කල්පනා වෙන්නේ .

p.s.
සුරතල් සත්තු ගැන සේරම ටික ලියල දාන්න හිතුවත් සැහෙන්න දීග වෙන නිසා මෙතනින් කඩන්න හිතුව .

Thursday, July 05, 2012

නෙළුම් විල

නෙළුම් විල


වියට්නාම නංගිලාගේ කරණම් ..

Posted: 04 Jul 2012 10:56 AM PDT

තැන ජාතික සර්කස් මධ්‍යස්ථානය , හැනොයි , වියට්නාමය . දිනය නම් සති කීපයකට කලින් ඉරිදාවක් . ශාලාව අඩ අඳුරුයි . මැද්දේ වේදිකාව . වටේට උසින් වැඩිවී යන පරිදි ප්‍රේක්ෂක අසුන් . වලක් වැනි වේදිකාව සරසල තිබුනේ මුහුදු පතුලක් වගේ . කාටුන් සුරංගනා කතාවක වගේ .

බොහොමයක් දේවල් ස්ව බසින් සිද්ධ වෙන රටක අපිට බොහෝ දේ මග ඇරෙනවා . මන් දැනන් හිටියෙත් නැහැ මෙහෙම තැනක් ගැන . අපේ ගෙවල් අයිති සමගම මාසෙකට වතාවක් අපිව ගමනක් එක්ක යනවා . අපේ කඩිසර කම කොච්චරද කියනව නම් ඒ එක ගමනක් වත් අපි ගිහින් නැහැ . ඉරිදා උදේ නින්ද ඊට වඩා වටිනා නිසා .

මෙදා පාර නම් ළමා දිනේ සමරන්න කියල එක්කන් ගිය මේ ගමන නම් මන් ළමයයි පොඩි ළමයින් දෙන්නයි බොහොම කැමැත්තෙන් ගියා . ඒ වෙන මොකවත් නෙමේ මේ ළමයත් ජීවිතේට වත් හරි හමන් සර්කස් එකක් දැකල තිබුනේ නැති නිසා .


ලස්සන නංගිලා දියකිඳුරියෝ වගේ සැරසිලා ...හරිම අගෙයි . මුහුද යට රාජධානියක කතාව වචනයක් වත් නොතේරුනාට රංගනය රස විඳින්න එය බාධාවක් වුනේ නැහැ. අන්තිමට අලින් . අශ්වයින් ..සුනඛයින් සහිත දසුන් නම් එතරම් රස වින්දේ නැහැ . මන් වගේම ළමයිනුත් සත්තුනට කරදර කරනවට අකමැතියි .
සර්කස් එකක් වචනයෙන් විස්තර කරන්නේ කොහොමද . මෙන්න මන් ගත්තු පින්තුර .


















''


බය වෙන්න එපා නංගි මන් ඔයාව බිම දාන්නේ නැහැ



ඔය දෙන්න මට බරක් නෙමේ




ඉස්සර ලංකාවට චීන සර්කස් ආව බව මන් අහල තියෙනව . ඒ වගේම ගමින් ගමට ගිය සර්කස් කණ්ඩායම් තිබුන බවත් කියවල තියෙනව . ඒ ඉතින් රූප මාධ්‍ය ජනප්‍රිය වෙන්න කලින් . වර්තමානයේ මන් දන්නා පරිදි අපේ රටේ මෙවැනි සර්කස් ජනප්‍රිය නැහැ එතරම් . එහෙත් මේවා ලෝකයෙන් තුරන් වෙලා නම් නැහැ . බොහොමයක් රටවල තවමත් සර්කස්වලට තැනක් තියෙනව .

සිරුර සමබරව තියාගන්න හැකිකම වගේම නම්යශිලිතාවය උපරිමයෙන් ඇති මේ මිනිස්සු ගැන නම් පුදුමත් හිතෙනවා .

මට සර්කස් කිව්වම මතක් වෙන දේවල් කීපයක් තියෙනව . එකක් ''ඇට මැස්සා'' පොතේ රිවාරෙස් . අධික පහර දීම නිසා විකෘති වෙච්ච ශරීරය නිසා සර්කස් කණ්ඩායමකට බඳවාගන්න ඔහු වින්ද අපහාස වේදනාවන් ..
රිවාරේස් මට උගන්නපු බොහෝ දේ අතර එකක් තමයි සර්කස් එකක වේවා අනෙකුත් කලාකෘතියක වේවා මනුස්සයෙක්ගේ ශාරීරික විකෘතියක් උලුප්පල පෙන්නද්දී හිනා වෙන්න නෙමේ අඬන්න හිතෙන එක .


සර්කස් කිව්වම මට මතක් වෙන තව එකක් තමයි ''සතුන් වත්ත '' කියන චීන පොතේ ඉන්න චිම්පන්සියා තනි රෝදේ පදින හැටි . ඊටත් වඩා මතක් වෙන දෙයක් තියෙනව . ඊ ළඟ  . පෝසට් එක ඒ ගැන ලියන්න තියෙන නිසා නොකියා ඉන්නම් .


මේකත් එක සර්කස් එකක් . වේදිකාවේ ලස්සන නංගිලා වගේම මෙයත් ජිවන රඟමඩලේ සර්කස්කාරියක්. ..


සර්කස් බලල ආවට පස්සේ අපේ ගෙදරත් පොඩි සාම්පල රඟ දැක්වුනා ..පුටු උඩ ඇඳන් උඩ ඔලුවෙන් හිටගැනීම් ආදිය. තොල් පලාගැනීම් ඔලුව ගෙඩි ගැසීම් හෙමත් සිද්ධ වුණා.

ප. ලි .
සර්කස් සත්තු දිහා බලල අපිට නම් බොහොම දුක හිතුනා . සතුන්ට වද දලා අපි ලබන සතුටක් මොකටද . මගේ මේ සිතීම නිසා අපේ දෙන්නගේ සුරතල් සතෙක් ඇති කිරීමේ සිහිනය ඉටු කරගන්න බැරි වෙලා තියෙනව . ඒ ගැන නම් දෙන්න අමනාපයි . අපි පොඩි කාලෙත් හාපැටව් , ලේන් පැටව් ඇති කරන්න හැදුව නේද කියල හිතෙද්දි පොඩි දෙන්න ගැන පව් කියලත් හිතෙනවා .