Thursday, December 27, 2012

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


Arduino Tutorials #2 - Arduino Config & IDE

Posted: 26 Dec 2012 10:40 PM PST

මම හිතනවා මේ වෙනකොට හැමෝම අපේ පළවෙනි ලිපිය කියවලා තව ගූග්ල් දෙයියාගෙනුත් අහලා Arduino ගැන යම් තරමක අවබෝධයක් සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැනත් දැනගෙන ඇති කියලා. අද එහෙනම් අපි ඉස් ඉසෙල්ලම Arduino Board එකක කොටස් අඳුරගෙන අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියමු!


ඔය පහළින් තියෙන්නේ Arduino UNO බෝඩ් එකක් කොටස්..




1) USB සම්බන්ධතාවය
2) DC Power Jack
3) ATMega 328P මයික්‍රෝප්‍රොසෙසරය
4) Communications Chip එක
5) 16Mhz ක්ලොක් ( Crystal ) එක
6) Reset Button
7) Power LED

8) TX/RX LEDs
Arduino එකේ Serial data communication ගැන බලාගන්න පුලුවන් මේ LED වලින්. Serial හරහා Arduino එකට ඩේටා එවනකොට මෙතන තියෙන RX LED එක බ්ලින්ක් වෙනවා. ඒවගේම Serial හරහා Arduino එක විසින් ඩේටා එවනකොට TX LED එක බ්ලින්ක් වෙනවා.

9) L LED
මේ LED එක Digital Pin 13 එකට අභ්‍යන්තර ප්‍රතිරෝධකයක් හරහා සම්බන්ධ වෙනවා.

10) Power Pins
මේ pins, Arduino එකට විදුලිය සපයන්න වගේම කරන්ට් එක එලියට ගන්නත් භාවිතා කරන්න පුලුවන්.

11) Analog Input Pins
Arduino එකට Analog Inputs ගන්න මේ Pins පාවිච්චි කරනවා.

12) TX/RX Pins

13) Digital I/O pins
ගොඩක් වෙලාවට Outputs ගන්න මේ පින් පාවිච්චි කරනවා. ඒ වගේම මේවාට Inputs වුනත් සවි කරන්න පුලුවන්.

14) AREF ( Analog Reference ) and GND

15) ICSP (In-Circuit Serial Programming ) for ATMega 328P

16) ICSP for USB

මෙතන තියෙන දේවල් වැඩිය තේරුනේ නැති වුනාට එච්චර කලබල වෙන්න දෙයක් නෑ. අපි ඉස්සරහට ප්‍රොජෙක්ස් කරගෙන යනකොට මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට ඒවා ලේසියෙන්ම තේරුම්ගන්න පුලුවන්. :)

නියමයි! දැන් අපි කෙලින්ම ප්‍රෝග්‍රැමින් වලට බහිමු. Arduino ප්‍රෝග්‍රෑම් කරන්න නම් ඔයාලගේ පරිගණකයේ Arduino Software එක තියෙන්න ඕන. මේක වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන OS තුනටම සහයෝගය දක්වනවා. ඒවගේම මේ Arduino Software එක ස්ථාපනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. දැනට තියෙන අලුත්ම සංස්කරණය වෙන්නේ Arduino 1.0.3 එකයි. ඒක මෙතනින් බාගන්න.

සටහන :- Arduino Software එක දුවන්නේ Java මත නිසා ඔයාලට Java Runtime Environment එකත් පරිගණකයේ තිබීම අවශ්‍ය වෙනවා. දැනටමත් ඔයගොල්ලෝ Java දාලා නැත්නම් මෙතනින් Java Download කරගන්න.

ඊටපස්සේ ඩවුන්ලොඩ් වුනු zip ෆයිල් එක වෙනම ෆෝල්ඩයරක් ඇතුලට Extract කරගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන "Arduino.exe" ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. දැන් ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්න සූදානම්!


Run "arduino.exe"


Arduino Software එක ලෝඩ් වෙනවා!


දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරන එකයි. එහෙම සම්බන්ධ කරාට පස්සේ අපේ Board එක පරිගණකයට සම්බන්ධ කරල තියෙන පෝට් එක සහ අපේ Board එකේ වර්ගය Arduino Software එකට කීයන්න ඕන. මේ පෝට් එක Device Manager හරහා දැනගන්න පුලුවන්. ඒ සඳහා පහත දැක්වෙන පියවරවල් අනුගමනය කරන්න.


සටහන :- Arduino USB වුනාට ඒක වැඩකරන්නේ Serial Emulation යොදාගෙන. ඒ කියන්නේ අපි මේක USB හරහා සම්බන්ධ කරාට පරිගණකය හිතන්නේ මේක හයිකරලා තියෙන්නේ Serial Port එකක් හරහා කියලයි. ඒ නිසා අපේ Board එකට අංකයක් තියෙනවා මේ වගේ ( COM1 ).


  1. Arduino Board එක පරිගණකයට සවිකර තිබියදී Device Manager එකට යන්න. එකේ Ports කියන Section එක යටතේ ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ නමත් එක්ක ඒකට අදාල පෝට් එක බලාගන්න පුලුවන් වෙයි.
  2. Arduino Software එකේ Tools >> Serial Port වලට ගිහින් ඔයගොල්ලන්ගේ Arduino Board එකට අදාල පෝට් එක select කරන්න. ඒ සමඟම Tools >> Board හරහා ඔබගේ Board එකේ වර්ගයද තෝරා දෙන්න.



Device Manager එකට යන විදිය

අදාල Serial පෝට් එක (මෙතනදී නම් COM6)
Selecting the Correct Port
Selecting Your Board Type

ඔබ ඉහත පියවරවල් ටික නිවැරදිව සම්පූර්ණ කර ගත්තා නම් දැන් ඔබ Arduino Board එක නිවැරදිව Configure කර ගෙන අවසානයි. දැන් ඉතින් තියෙන්නේ Project එකක් කරන්න තමයි. මම මුලින් හිතුවෙ ඒකත් මේ පෝස්ට් එකත් එක්කම දාන්නයි. නමුත් දැන් ඒකට ටිකක් ඉඩ වැඩිය යන නිසා ප්‍රෝග්‍රෑමින් ඊළඟ පෝස්ට් එකෙන්ම දාන්නම්. මේ වන තෙක් මොකක් හරි ප්‍රශ්නයක් ආවානම් යටින් කොමෙන්ටුවක් දාන්න. එහෙනම් අපි ගියා!

Sunday, December 23, 2012

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක

සිංහලෙන් අන්තර්ජාලයට පිවිසෙන්න අදියගෙ බ්ලොග් එක


Arduino Tutorials #1 - Introduction

Posted: 23 Dec 2012 01:57 AM PST

කොහොමද ඉතින් කට්ටියට? මාස ගාණක පොලු වලින් පස්සේ ආයෙ මේ පැත්තේ ටිකක් එන්න හිතුනා :D ආවට මොකද ලියන්න දෙයක් තමයි නැත්තේ... :P ඒ හින්දා ලියන්න දෙයක් හොයනකොට තමයි Arduino ගැන මතක්වුනේ. මම සෑහෙන කාලෙක් ඉඳන් Arduino පාවිච්චි කරකර ඉඳලා, ටික කාලෙකට කලින් ඒක අතෑරලා, ළඟදී ආයෙමත් පාවිච්චි කරන්න පටන් ගත්තා. :P කොහොමත් මේ දවස්වල හැමෝගෙම ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට නේ. 

උදා :- ටෙක්කතා ගෘප් එකෙන් Arduino clone එකක් නිශ්පාදනය කිරීම :P


ඒ හින්දම ඉතින් මාත් Arduino සම්බන්ධ කරගෙන වලින් කරන්න පුලුවන් කූල් වැඩ ගැන ලිපි (පෙළක් ??) ලියන්න හිතුවා. :D ඔන්න එහෙනම් පටන්ගමු...


හැමදාම වගේ ඉස්සෙල්ලම කියන්න ඕනනේ Arduino කියන්න මොකද්ද කියල. මේක හදපු අයම කියන විදියට,



"Arduino is an open-source electronics prototyping platform based on flexible, easy-to-use hardware and software. It's intended for artists, designers, hobbyists, and anyone interested in creating interactive objects or environments."

ඕකේ තියෙන වැඩක් ඇති දේවල් ටික නම්,

1) Arduino කියන්නේ සම්පූර්නයෙන්ම නිදහස් දෘඩාංග සහ මෘදුකාංග වලින් සැදුම්ලත් එකක්. Arduino වලට අදාල ඕනම ක්‍රමානුරූප (Schematics) ඕන දෙයක් ඒගොල්ලන්ගෙම වෙබ්සයිට් එකක් ඩවුන් කරගන්න පුලුවන්.

2) Easy-to-use - ඔය තියෙන්නේ හැමෝම හොයන එක :D ඇත්තටම Arduino වලින් ප්‍රෝග්‍රෑම් කරන එක සහ Arduino සම්බන්ධ පරිපථ නිර්මාණය හරිම සිම්පල් වැඩක්. ඒවා අපි ඊළඟට බලමුකෝ..



මේ වෙනකොට ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති වෙල ඇති PIC සහ Arduino අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. (එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැත්නම් මේ ඡේදය අතෑරලා ඊළඟ එකට යන්න.. :D )PIC සහ Arduino අතර තියෙන ප්‍රධානම වෙනස්කම තමයි PIC කියන්නේ නිකම්ම Microprocessor එකක් විතරයි. ඒවුනාට Arduino කියන්නේ සම්පූර්ණ prototyping platform එකක්. platform එකක microprocessor එකට අමතරව ප්‍රොග්‍රැමර් එකක් සහ power supply එකක් සහ පරිගණකය හා සම්බන්ධ කරන ක්‍රමයක් (USB or Serial) යන සියල්ලම අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපි Arduino බෝඩ් එකක් මිලදී ගත්තාම ඒක කෙලින්ම පරිගණකයට සම්බන්ධ කරල වැඩ පටන්ගන්න පුලුවන්. 


  • Arduino වල භාවිතා කරන්නේ Atmel සමාගමෙන් නිෂ්පාදනය කරන Microprocessor range එකයි. උදාහරනයක් විදියට දැන් වැඩිපුරම ජනප්‍රිය Arduino UNO R3 බෝඩ් එකේ භාවිතා වෙන්නේ Atmega 328P කියන ප්‍රොසෙසර් එක.

An Arduino UNO

Arduino වලින් කරන්න පුලුවන් මොනවද කියල අපි දැන් බලමු. ඇත්තටම Arduino වලින් කරන්න බැරි මොනවද කියල තමයි හරි විදියට නම් බලන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඔයගොල්ලෝ කවදාවත් කරන්න බැරි තරම් අමාරුයි කියල හිතාගෙන හිටපු ගොඩක් දේවල් Arduino පාවිච්චි කරලා සෑහෙන ලේසියෙන් කරගන්න පුලුවන්. ඉස්සර අපිට නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඕන වුනාම ඒකට විඳපු දුක මතකයි නේද? 4017 IC එක හොයාගෙන ඒකටත් සෑහෙන කට්ටක් කන්න ඕන වුනා. ඒවුනට Arduino වලින් නයිට් රයිඩර් සර්කිට් එකක් හදාගන්න ඔයගොල්ලන්ට ඕන වෙන්නේ Arduino Board එක හැරුනාම LED 10කුයි එක resistor එකකුයි විතරයි. ඒ වගේ සරල දේක ඉඳලා LCD Character Display එකක් පාලනය කරන්න, ඔය ලස්සන ලස්සන LED Cubes හදන්න, Line follower නැත්නම් Obstacle avoiding රොබෝලා නිර්මාණය කරන්න, ගෙදර දොරක් නැත්නම් ජනේලයක් ඇරියොත් Twitter post එකක් හරි SMS එකක් හරි එවන්න, Touch Screen එකක් හරහා වැඩ කරන්න පුලුවන් Home Automation Systems,  Autopilot හෙලිකොප්ටරයක් වගේ දෙයක් හදන්න වුනත් Arduino පාවිච්චි කරන්න පුලුවන්. :O


Arduino එකක් හරහා පාලනය වන 8x8x8 LED Cube එකක්

An LCD Character Display 16x2




Arduino වලින් වැඩ කරන්න පටන්ගන්නනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම Arduino Board එකක් මිලදී ගන්න ඕන. ගාන ප්‍රශ්නයක් නැත්නම් ගන්න පුලුවන් හොඳම එක මම ඉස්සෙල්ලා කියපු Arduino UNO R3 බෝඩ් එක. එහෙමත් නැත්නම් වෙන Arduino clone එකක් වුනත් ගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැනට තියෙන ලාබම වගේ clone එක තමයි Techkatha එකෙන් හදන TechDuino එක. ඒක රු1500 වගේ මිලකට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුලුවන් shop.techkatha.com හරහා. එහෙම නැත්නම් ඔය ebay එකේ තියෙන ඕනම clone එකක් මිලදී ගන්න කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ...

අපි ගොඩක් වෙලාවට මයික්‍රෝකන්ට්‍රෝලර් එකකින් බලපොරොත්තු වෙන්නේ මොනවහරි Input එකක් අරගෙන ඒ Input එකට අනුව Output එක පාලනය කිරීමයි. මේවගේ Inputs ලබාදෙන්න අපි එක එක ජාතියේ Sensors පාවිච්චි කරනවා. උදාහරණ විදියට උෂ්නත්වය මනින සංවේදක, දුර මනින සංවේදක, Hall effect sensors, ආලෝක තත්වය, ඒ වගේම නිකම්ම Switch එකක් උනත් Input එකක් වෙන්න පුලුවන්. අපි දැන් මේ Input Devices කීපයක් ගැන බලමු.


IR Distance Sensor




IR Distance Sensor එකක්. අපි මේවගේ ඒවා ගොඩක් වෙලාවට Line Follower රොබෝලා හදන්න පාවිච්චි කරනවා


Ultrasonic Sensor



Ultrasonic Distance Sensor එකක්. මේවගේ එකක් පාවිච්චි කරලා අපිට මීටර් හතරක දුරක් ආසන්න සෙන්ටිමීටරයට නිවැරදිව කියන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය Navigational Robotsලා වගේ දේවල් හදන්න මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් කරන්නේ අතිධ්වනික තරංගයක් යවලා ඒ තරංගය අපේ Object එකේ වැදිල ආපහු එන්න යන වෙලාව මැනීමයි..



DHT22 Temp Sensor



Temperature and Humidity Sensor එකක්. මේක අපේ අවට පරිසරයේ උෂ්නත්වය හා ආර්ද්‍රතාවය නිර්ණය කිරීමට පාවිච්චි කරන්න පුලුවන්. මේවගේ එකක් පාවිච්චි කරල අපිට AC එකක් නැත්නම් fan එකක් වගේ දෙයක් යම්කිසි උෂ්නත්වයකට ළඟාවුනාම ඉබේම ක්‍රියාත්මක වෙන්න හදන්න පුලුවන්..





Project එකක් හැදුවට පස්සේ අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ Outputs නේ. Arduino වලදී නම් Output එකක් ගන්න LCD Character Displays, TFT Colour Screens , TV එකක් :D එහෙමත් නැත්නම් කෙලින්ම පරිගණකය වුනත් යොදාගන්න පුලුවන්. අපි අපේ මේ ලිපිපෙළ තුලින් මේ හැම ජාතියකම Devices පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇත්තටම ප්‍රයෝජනවත් Consumer Electronicsනුත් Projects විදියට හදන්න බලාපොරොත්තු වෙනවා.

හරි එහෙනම්. මම මෙතනින් අදට පෝස්ට් එක නිමා කරනවා. මම ඊළඟ දවසේ Blinking LED එකක්, නයිට් රයිඩර් සර්කිට් එකක්, Analog Readings Arduino එකට ගන්න විදිය, Analog Reading එක හරහා නයිට් රයිඩර් සර්කිට් එකේ වේගය පාලනය කිරීම හා පරිගණකය හරහා LED On/Off කරන විදිය යන සියලුම දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ දවසේ මෙන්න මේව ටික හොයාගෙන ඉන්නකෝ.


  1. Arduino Board එක (ඕන ජාතියක එකක්) with the USB cable -1
  2. LED - 10
  3. 220 ohm Resistor - 2
  4. 10K Potentiometer ( Preset ) - 1
  5. Jumper Cables (22AWG වයර් ඕන එකක්.. උදා :- Ebay)
  6. Breadboard -1 


සටහන :- සාමාන්‍යයෙන් අපි මොනව Project හරි එකක් හදනකොට ඒක ඉස්සෙල්ලම හදන්නේ Prototyping Board එකක. Breadboard කියන්නේත් ඒවටම තමයි. මේ Breadboard එකක් යොදාගැනීමේ වාසි ගොඩක් තියෙනවා. වැරදෙන ඒව හදන්න පුලුවන් වෙන එක තමයි ප්‍රධානම වාසිය. ඊට අමතරව පාස්සන්න අවශ්‍ය නැති නිසා Circuit එක ගොඩක් පහසුවෙන් හදල ඉවර කර ගන්න පුලුවන්. පොඩි Breadboard එකක් සාමාන‍යෙන් රු300-400 අතර මුදලකට මිලදී ගන්න පුලුවන්. එක Breadboard එකක් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන් නිසා මේ මුදල කොහෙත්ම නාස්තියක්නම් වෙන්නේ නෑ..



පොඩි Breadboard එකක්

කස්ටියටම ගුඩ්බායි එහෙනම්.... :D අපි කැපුනා.. 


Monday, December 10, 2012

නෙළුම් විල

නෙළුම් විල


පිලිපීන කිරිබත් සමග ජපන් තේ ..

Posted: 09 Dec 2012 08:22 AM PST

මගේ මිතුරියගේ පොඩ්ඩෝ දෙන්නා ඉගෙන ගන්නා පාසලේ ඊයේ ජාත්‍යන්තර දිනය . අපිත් නිකමට ඒ පැත්තේ ගියා . එක එක රටවල දෙමාපියන් බොහොම මහන්සි වෙලා තම තමන්ගේ රටවල අනන්‍යතාවය පිළිබිඹු වෙන දේවල් කර තිබුණ.

නේපාලයේ සමෝසා සමග රසම රස පැණි රස මුරුක්කු ජාතියක් .කන්න ලැබුනා .



..පිලිපින කිරිබත්

 
 

පහල තියෙන්නේ වියට්නාම ආහාර වර්ග කීපයක් .පොඩි කදක් පේනවද . ඔය වගේ කද වල තියාගෙන විශේෂයෙන් ගැහැණු අය ආහාර පාන වෙළඳාමේ යනවා .
 
 
 
 
 
 
 

මෙයත් වියට්නාම . Banh Cuon

ජපන් තේ
 

මේ රස කර කර කන්නේ ම්ම්ම්ම් .....
 

 මෙන්න මේවා



කන බොන එව්වට අමතරව එක එක සෙල්ලම් ජාතිත් තිබුන .

වියට්නාම් බම්බු නැටුම ..සරල ආකාරයෙන්

ඉන්දුනිසියන් ක්‍රීඩාවක් .. අපේ පංචි දැමීම සිහිවෙනවා නේද

ඉන්දුනිසියන් රුකඩ . දැක්ක ගමන් මට මතක් වුනේ ලන්දේසි කාලේ ඇඳුම් . ඇත්ත තමයි එයාලත් කිවේ ලන්දේසි බලපෑම නිසා ඇතිවුන දේවල් කියලා .
 
 
ඉක්මනින් යන්න උවමනාවක් තිබු නිසා හිතේ හැටියට පින්තුර ගන්නත් විස්තර අහගන්නත් බැරි වුනා . තව හුඟක් රටවල කන්න දේවල් තිබුනා . කටේ දාගත්ත මිසක් කැමරාවට දාගන්න නම් බැරි වුනා .
 
 
 
 
 
 
 
 
ඇත්තටම මට පෙන්වන්න ඕන වුනේ කන දේටත් වඩා මෙන්න මේක
 
 
හරිම සියුම් නිර්මානයක් . දවසක කාගෙන් හරි අහගන්න ඕන හදන විදිහ .



තණකොළ පෙත්තා සෑදුවේ මේ අත්දෙක
 

ඔව් ඉතින් මේවා කම්මැලි ලිපි තමා . මේ ටිකේ නම් මේ වගේ මිසක් වැඩිය ලියනවා බොරු .

Saturday, December 08, 2012

නෙළුම් විල

නෙළුම් විල


''කෝපි පාටි ''

Posted: 07 Dec 2012 08:35 AM PST

අපට නිතරම කෝපි සාද වලට ආරාධනා ලැබෙනවා . පාසලේ ඇතැම් රැස්වීම් මාපිය හමුවන් වලට ලේසියෙන්ම ඒගොල්ල කියන්නේ කෝපි බොන්න එන්න කියලයි. කතා බහ කෙරෙන අතරේ පොඩි රස කැවිල්ලක් පළතුරක් එක්ක කෝපි සහ තේ පැත්තක තියා තියෙනව . ඕනනම් බොන්න .

මේවගේ රැස්වීම් වලට නම් යන්නේ කෝපි නිසාම නෙමේ . තව ඉතින් සුහද කතාබහක් කරන්න ඕන වුනහම කෝපි කඩයකට ගිහින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් . එතනත් අසරණ කෝපි කෝප්පේ නිකන් හෙමින් වැඩ කරන වැලි ඔරලෝසුවක්  විතරයි.

මන් කෝපි ලෝලියෙක් නොවුනත් හිතට ප්‍රිය  සුහද සමාගමකට නම් අකමැති නැහැ . එයට කෝපි පාටියක් කිව්වත් ඒ හැටි අවුලකුත් නැහැ .

හැබැයි   සමාගමය ප්‍රිය නම් පමණයි. මගේ ඊශ්‍රායල් මිතුරිය කරින් , පෝලන්ත මිතුරිය ලිඩියා , තුර්කි මිතුරිය එමල් එක්ක නම් නිතරම කෝපි බොන්න පෙළඹුනා .  ඒගොල්ල තිත්තම තිත්ත තුර්කි කෝපි බොද්දි මන් දිල්මා තේ එකක් බොනවා . හැබැයි ඒගොල්ල කෝපි කෝප්පේ බිලා අනික් පැත්ත හරවලා කියන සාත්තර අහගෙන  ඉන්න නම් ආස වුනා .

මේ සමාගමය විශේෂ වුනේ අපි කතා කල දේවල් නිසා . පෝලන්තයේ සමාජවාදයේ ඉඳන් තුර්කියේ කාන්තා අයිතිවාසිකම් තිත්ත කෝපි වලට සිනි වුනා .

එයින් දෙන්නෙක් ගම බිම් බලා ගොසින් . ඒ ගැන මා ඉන්නේ කණගාටුවෙන් .

මගේ තවත් කෝපි මිතුරියක් ඉන්නවා කොරියන් . අපොයි කොරියාව නිකන් අල්ලපු රටටත් වඩා ලංවුනා .

මගේ ලාංකික මිතුරිය එක්ක නම් ඉතින් හොඳට කිරි දාපු කිරි තේ එකක තමයි කතා බහ දිය කරන්නේ .

වෙලාවකට කල්පනා කරද්දී මොකට මේ  හැටි කතා කරනවද කියලත් හිතෙනවා . ඒ වුනාට අපි හැමදාම කරන්නේ කතා කිරීම . කතා කරන්නෙත් ඉතින් ලෝකේ රටේ වෙන දේවල් . ඉතිහාසය කියන්නේ ලෝකේ රටේ වෙච්ච දේවල් ..ලෝකේ රටේ දේවල් කියන්නේ අනුන්ගේ දේවල් ..එහම බැලුවම අපි වුනත් කතා කරන්නේ සමීප අය ගැන නොවුනා වුනත් ඕපාදුප .

ඉස්සර නම් ලිඳ ගාව , නාන තොට ගාව තමයි ඕපාදුප ඉපදුනේ . ගැහැණු තමයි ඒ අංශයේ කුසලානය සදා හිමි කරගත්තේ . පසු කලෙක පත්තර ඒ කාරියේ සෑහෙන කොටසක් භාර ගත්ත . ඊ  ගාවට රේඩියෝව . ටි වී එක .

මේ ලඟදි මුණු පොතේ කතා බහකදී සිබිල් වෙත්තසිංහගේ කතන්දර මතක් වෙලා මට පොත් ගොඩවල් අවුස්සන්න සිදු වුනා . හෙව්ව පොත හම්බ වුනා .

පොතේ නම ''කුසුමලතා ''

පොත පළමු මුද්‍රණය 1971 . අපි ඉපදෙන්නත් කලින් . සමාජයේ ඇතැම් දේවල් දිහා විනෝදෙන් බලන කුසුමලතා ඉස්කෝලේ හාමිනේගේ දිනපොත .

සැහැල්ලු  බසින් ලියවුන මේ කතා වරින් වර කියවලා විනෝද වෙනවා මන් නම් . අපිත් කරන සමහර දේවල් දිහා හිනා වෙන් බලන්න පුළුවන් . මන් කැමතිම විවේචනය නොකර හාස්‍ය උපදින ලෙස ලියා තිබීම නිසයි .

ඔය පොතේ එක කතාවක් තමා ''කෝපි පාටි ''. බොලේ ඒ හැටි වෙනසක් නැහැනේ . දශක හතරකට කලින් ලියු දේවල් අදත් එහෙම්ම වෙන්නේ  යසට .

වැඩිය උපුටා දක්වන්න බැහැනේ . මෙන්න මේ වාක්‍ය විතරක් දාන්නම්

''දිග කලිසම් , බාල්දි වාගේ උඩ කෑලි එක්ක  ඇඳලා . අලුත් කොසු, ගස් මුට්ටි . මිරිස් ගල් . කුරුළු කුඩු කපුටු ගෙවල් වාගේ කොණ්ඩ හදාගෙන යතුරු කැරලි ,සරනේරු තහඩු ,අඩු මිටි . කුඩා නන වාගේ කනකර ආයිත්තම් පැළඳගෙන නෝනලා ඇවිත් හිටියා ''

කුසුමලතා පාටියට යන්නෙත් '' අපේ එක්කෙනා '' තහනම් කරපු අත කොට රතු හැට්ටේ ඇඳගෙන . ඒ කියන්නේ කතා නායිකාව සිදුවීම ඇතුලෙම කොටසක් මිසක් පිටස්තර විවේචන කාරියක් නොවේ. අන්න ඒ රටාවයි මේ ලියවිල්ලේ ලස්සනම .

අපට අපගේ දේවල් ගැනම සිනා සීමට පුළුවන් කමයි වඩා අගේ .

විජේසුරිය පොතක් ලෙස මෑතකදී මුද්‍රණය කර තිබෙනවා .

ඉතින් මාත් කුසුමලතා වගේ කියල මට හිතෙනවා . කෝපි පාටිවලට යන ගමන් ඒවාට හිනා වෙන්නත් පුළුවන් .

ඕපාදුප කියන්න රට පටලවන්න ඉස්සරට වඩා ලේසි ක්‍රමයක් දැන් තියෙනව . ඒ තමයි සයිබරය . හරිම විනෝදයි . ගැහැනුන්ට හිමි කුසලානය ඒ අයගෙන් ගිලිහි යාම ගැන නම් අවදානමක් තියෙනව .


Thursday, December 06, 2012

නෙළුම් විල

නෙළුම් විල


වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර

Posted: 05 Dec 2012 11:39 PM PST


සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...

වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි

...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම

...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..

බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක

......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..

''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''

Monday, December 03, 2012

නෙළුම් විල

නෙළුම් විල


අතු දියට වැටි ...දිය තරග නැගී......

Posted: 03 Dec 2012 01:14 AM PST

ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.

මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක්  තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .

මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි  .

නගරයේ  ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .

මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .

මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් ,  බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .




පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .



ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..




 .


වැවට උඩින් රතු පාලම දිගේ ගිහින් ඉබි පන්සලට යන්නත් පුළුවන් .
 
 
 
 පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා










අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්





යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .




Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .

ලොකු තැපැල් කන්තෝරුව .





නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...



මුහුණ ඇඳගන්න කැමති නම්

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
 
 

ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .