Thursday, March 07, 2013

නෙළුම් විල

නෙළුම් විල


නිල් අහසක් යට හිම කැටි විසිරි ..සුන්දර රටක මිහිරි මතක

Posted: 06 Mar 2013 10:59 PM PST

චීනය ආශ්‍රිත රටවල සැමරෙන නව අවුරුදු උළෙල වියට්නාමයේදී ''ටෙට් ''ලෙස හැඳින්වෙනවා . වැඩිමනක් නිවාඩු නැති මේ රටේ වැඩ කරන මිනිසුන්ට හිත පිරෙන්න සුමානයක් විතර නිවාඩු හම්බ වෙන්නේ මේ ටෙට් සමය  තුලදී . කලින් මේ ගැන ලියු නිසා මේ අවුරුද්දේ ඒ ගැන නොලියා ඉන්න හිතුව .

 . තද සිතල ගෙවිලා චුරු  චුරු වැසි දවස් එක්ක අතරින් පතර ඉර එලිය ඇති ලස්සන දවස් මුසු වුන වසන්තයේ ආරම්භය . අහල පහල නෙළුම් පොකුණු වල කොලයක් දෙකක් මෝදු වෙන කාලේ . ටික දවසක් අන්තර්ජාලගත වෙන්න එපාම වෙලා තිබුණ.
කම්මැලි කම තමා වෙන මොකක්ද . ඉඳල හිටලා දැක්ක දේවල් වුනත් අමිහිරියි. සමහර දේවල් කියවීම හිතට කරදරයක් . මන් කියෙව්වා කියලවත් නොකියවා හිටියා කියලවත් අදහසක් ප්‍රකාශ කළා කියලවත් වැඩක් නොවෙන දේවල් ...

 කොරියන් කතන්දර බලලම වත්මන් කොරියාව විතරක් නෙමේ ඒගොල්ලන්ගේ රජ කාලේ ඉඳන් ජපන් යටත් විජිත සමය ඊ ගාවට කොරියන් යුද්ධය සහ පශ්චාත් යුද්ධ කාලය ගැනත් සැහෙන දේවල් දැනගෙන හිටි නිසා කොරියාව දැක ගන්න මට කාලෙක ඉඳන් ආසාවක් තිබුන .

පසුගිය නිවාඩු දින කීපය සියෝල් නුවර ගත කරන්න ඉඩ ලැබුණ . කොරියන් මිත්‍රයින් නම් අපට පිස්සු කියන අදහසින් තමයි මේ ගැන කල්පනා කලේ .මෙවර  වෙනදාට වඩා තද සීතලක් දැනුන බවත් චීන අවුරුදු සමය නරකම කාලගුණයක් ඇති කාලයක් බවත් සිතා ඔවුන් අප ගැන වද වුනා .

මගේ හොඳම කොරියානු මිතුරියක් අවශ්‍ය තොරතුරු සියල්ල සොයා දුන්නා . සිතල වැඩි වේ යයි ඔවුන් අපගැන දුක් වද්දී අප බිය වුනේ සිතල අඩු වී හිම දකින්නට බැරි වේ යයි කියා .





අහසේදී බිම බලන විට


සියල්ල යහපත් වී ඉර පායපු සුනිල් අහසක් යට හිම සෙල්ලම් කරන්නට පොඩි උන් වාසනාවන්ත වුනා .
මා දුටු සියෝල් නගරය මනා නගර සැලසුමකින් යුත් සුන්දර නගරයක් . මා දුටු යයි විශේෂණය කලේ විසල් නගරයකින් මා දකින්නට ඇත්තේ ස්වල්පයක් පමණක් නිසා සහ වෙනත් අයුරකින් මෙය දුටු අය සිටින්නට හැකි නිසා .

අපිරිසිඳු පැල්පත් සහිත ගෙවල් සමුහයන් හැඳින්වීමට'' කොරියාව '' යන වචනය අප කුඩා කල අසා තිබෙනවා . අදටත් එසේ දේ නම් වහාම එම වදන අපේ භාෂිතයෙන් ඉවත් කල යුතුයි . මා නැරඹු 50 හෝ 60 දශකය අලලා සැකසුන කොරියන් කතා මාලා එවැනි ජන දිවියක් තිබු බවට සාක්කි . නමුත් 70 දශකයෙන් පසු එරට දියුණුවේ මගට පිවිසිලා .

ලෙහෙසි පහසු ඉතිහාසයක් නොතිබූ රටක් . ඈත අතීතයේ පටන් චීන ආක්‍රමණ අභ්‍යන්තර ගැටුම් පසුව ජපන් යටත් විජිතයක් වීම ..කොරියන් යුද්ධයෙන් රට දෙකඩ වීම වැනි අමිහිරි ඉතිහාසයක් ඇති රටක් . රටක් දෙකඩ වීමෙන් එකම පවුලේ නෑසියන් වෙන් වීමේ වේදනාව අදටත් විඳින ජාතියක් .

යුධ මුක්ත කලාපයට සහ දේශ සීමාවට සියෝල් සිට එතරම් දුරක් නැහැ . නමුත් කුඩා ළමයින් සමග යාමට උචිත නැති බව සිතුන . අනික් අතට උතුරේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වුනා අප එහි සිටි දිනවල.

දරිද්‍ර තාවයේ පතුලෙන්ම සිට සංවර්ධනය කරා පැමිණි රටක් . අපේ රටත් එසේ වෙනවා නම් කියා සිතුනා .ඒ වගේම ඒ රටවල සංචාරය කරන අපේ දෙස්පලුවන් ඒවායේ ඇවිදින්නේ ඇස වසාගෙන දැයි මට නම් පුදුමයි .
ඒ ඉතින් අපගේ අවාසනාව .

නගරය මැදින් ගලන සුවිසල් හෑන් ගඟ අලංකාර පාලම් රැසකින් යුක්තයි . අප ගිය රාත්‍රී නගර සංචාර බසය පාලම් එකොළහක් නැරඹීමට රැගෙන ගියා . හැමෙකක්ම එකිනෙකට වෙනස් . විදුලි අලංකරණය ද විවිධයි .


[බොහොමයක් ටෙලි වල කෙල්ල හෝ කොල්ලා දුකක් හිතුන විට කල්පනා කරන්නට හෝ තනියම හඬන්නට ඔන්න ඔයින් පාලමක් ළඟ ගඟ අයිනේ ස්ථානයක් තෝරාගනි . ]

නගරයේ උමන් දුම්රිය ජාලය අපේ ප්‍රියතම අංගයක් වුනා . නතර වී සිටි තැනම උමන් දුම්රිය පලක් තිබීම ගමන් බිමන් වලට හරිම පහසුවක් . කුඩා කාලයේ දුම්රියේ යන්නට ලැබී නැතිම තරම් . පසු කලෙක කටුනායක රාජකාරි කල සමයේ මේ ආසාව නිසාම ඉඳහිට කෝච්චියේ ගියා . දෙතුන්වතාවක් නානු ඔය හෝ නුවර ගිය ගමන් වලින් මගේ දුම්රියේ යාමේ දොළ නම් සම්පුර්ණ වුනේ නැහැ .

අප දෙදෙනාම එකසේ දුම්රිය ප්‍රිය කරන නිසා ගිය හැමතැනකම ඉඩක් ලද විගස දුම්රිය අපේ අංක එකේ ගමන් සගයා වෙනවා .

''රටක දියුණුව යනු දුප්පතුන් කාර් වල යාම නොවේ පොහොසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම ''යයි කවුදෝ කියා තිබුණ .

සියෝල් වල පොදු ප්‍රවාහන සේවය ඉතාම හොඳයි . ටැක්සි වල යන්න ඕනෑම නැති තරම් .

 කන වෙලාවට දෙන පොඩි අතුරු දිසි

බිබිම් බප්

නෙලුම් කොලේ බත්



 
 
 
 
 
මෙයාව හැබෑවටම දකින්න බැරි වුනා .

සුනිල  අහස

මේ වෙළඳ සලක ඇතුලේ එළවලු වවලා . පස් වල නෙමේ . හරියට පටක රෝපණ ක්‍රමය වගේ .
 
 

මේ චාරිකාව අප මුලිකවම ළමයින්ගේ සතුට වෙනුවෙන් වෙන්කරන්න තීරණය කල නිසා ඉතිහාසය හදාරන්න එතරම් උනන්දුවක් ගත්තේ නැහැ . කිසිම දෙයකට වඩා හිම ගොඩක පෙරලෙන එක තමා ඒගොල්ලන්ගේ සතුට වුනේ .

නගරය දැක්ක ඇති කියල හිතල ටිකක් ඈත ගමනක් දුම්රියෙන් යන්න ඕන කියල හදිසියේම අපට හිතුන .

දැන් පොඩි දෙන්න ටිකක් ලොකු නිසා ඔය වගේ හදිසි තීරණ ගන්න පුළුවන් . නගරයෙන් ටිකක් දුර කුඩා දුපතක් බලන්න යන්න තීරණය කළා ..

ඈත හිමෙන් වැසුන කඳුවැටි දිහා බලමින් ගිය ඒ දුම්රිය ගමන සදා මතකයේ රැඳෙන සුළුයි .

Namiseom නම් මේ දුපත පිහිටා තියෙන්නේ හෑන් ගඟේ . ගසක කොලයක් හැඩය ඇති මේ දුපත නාමික රටක් . Republic of Namiseoum ලෙසයි හැඳින්වෙන්නේ .

දුම්රියෙන් ගොස් ෆෙරි බෝට්ටුවකින් දුපතට ලඟා වෙන්න පුළුවන් . බෝට්ටුවේ ලෙළදුන විවිධ කොඩි අතර ලංකාවේ කොඩිය දැකීම අපට සතුටක් වුනා .

සිතල සමයේදී තනිකරම සුදු හිමෙන් වැසුන මේ අලංකාර දුපත ඇත්තටම ගඟ හරහා බැඳී වේල්ලක් නිසා ගොඩ බිමින් වෙන්වුවක් .

වසර දහයකට පෙර අතිශයින් ජනප්‍රිය වුන WINTER SONATA නමැති කොරියන් රුපවාහිනී නාටකයේ බොහෝ දර්ශන මෙහි රුගත වුවක් .

කලකට පෙර මා නැරඹු ඒ කතා මාලාව මතකයේ රැඳුනේ මේ අලංකාර දුපත නිසා . මේ ආදර අන්දරය කොරියානුවන් අතර මෙන්ම වෙනත් රටවලද රසිකයින්ගේ ආදරය දිනු නිසා මේ දුපත අගනා සංචාරක ආකර්ශනයක් වුනා . නරඹන්නන් වැඩි පිරිස තරුණ ආදරවන්තයින් බවයි පෙනුනේ .
 හැන් ගඟේ දුපතට යන ගමනේ

කෝකටත් අක්ක ළඟටම වෙලා



මේ පාරේ නේ වින්ටර් සොනාට නාටකයේ ආදරවන්තයෝ ඇවිදින්නේ



1910 වනතුරු රාජාණ්ඩු ක්‍රමයක් තිබිල එයින් පසු ජපන් අධිරාජ්‍යය යටතේ නාමිකව රජ පවුලක් පමණක් ඉතිරි වෙලා . මගේ කොරියන් මිතුරියට අනුව 1945 නිදහස ලැබෙනකම් රජ පවුල නාමිකව ඉඳල තියෙනව . මේ ගැන හරියටම කියවල වෙනම ලිපියක් සකස් කරන්න හිතන් ඉන්නවා [ කවද හරි ] අද නම් ඒ ගැන නිල තොරතුරු ලියන්න හැකියාවක් නැහැ .

මේ නිසා නගරයේ මාලිගා කීපයක් තියෙනව . එයින් අප නවාතැනට ආසන්නව පිහිටි

Gyeongbokgung මාලිගය බලන්නට යන්න ලැබුණ .

චීන අවුරුද්ද කොරියාවෙත් සැමරෙන නිසා ඇත්තටම අප සිටි දින කීපය නිවාඩු කාලයක් . මේ සාමය කොරියාවේදී මුලිකවම ස්තුතිය පුද කිරීමේ අවස්තාවක් ලෙසයි ඒ අය සමරන්නේ . chuseok කියා හඳුන්වන මේ දින කීපය තුල දෙමාපියන් වැඩිහිටියන් බැලීමට බොහෝ සියෝල් වැසියන් ගම්දොර බලා යන්නට ඇත .ගමන් බිමන් ගිය නගර වාසින් අත්ද තෑගී භෝග ඇති බව දුටුවා ..කොරියානුවන්ට විශේෂිත අහාර පාන ඇසුරුම් පෙට්ටි සිල්ක් වැනි රෙදි කඩකින් එල්ලා ගෙන යාමට හැකි ලෙස සකස් කල තෑගී ඔවුන් අත තිබුණ .

ඒ වගේම මාලිගය බලන්නට දේශීය හන්බෝක් ඇඳුමින් සැරසුන ළමයින් සහ යුවතියන් පැමිණ සිටියා . [එදිනට මේ ඇඳුම ඇඳගත් පසු බොහෝ තැන්වලට ඇතුල් වීම නොමිලේ ]

කනගාටුවට කරුණ වුයේ අපටත් එදා ඇතුල් වීම නොමිලේ වුවත් නිවාඩු දිනයක් නිසා විස්තර කර දීමක් නොවුන නිසා . නමුත් සම්ප්‍රදායික මුර සේවාව මාරුවන පෙරහරක් නම් දැක ගන්නට ලැබුණ


මාලිගය පැනොරාමා ඇසින්

 ඒ කාලේ කුමරියෝ හිම සෙල්ලම් කරන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති .මේ දෙන්න නම් යන්නේ කොහෙද මෙලෝ වගක් නැතුව හිම ගොඩක් දැක්ක ගමන් ජබොක් ගාල එකට පනින එක තමයි වැඩියම කලේ






සිංහාසනයක්



මෙවැනි විවිධ හිතළු සත්ව පිළිම රැසක් තිබුණ

මුර භටයින් මාරු වෙන වෙලාව



නම්සන් කුළුණ .
 
මේ කුළුණ තියෙන්නේ නම්සන් කඳු මුදුනේ .
 මේ ඒ කුලුන උඩට නැගල ගත්තු පින්තුරයක්

 මේ ආදර ඉබ්බෝ . ආදරවන්තයින් මේ නම්සන් කුලුන පාමුල ඇති මේ ස්ථානයේ ඉබ්බන් අගුලු දමල යනවා . මන් හිතන්නේ එහෙම කලහම ඒගොල්ලන්ගේ හදවත් ආයේ වෙන කාටවත් විවර වෙන්නේ නැති බවට විස්වාස කරනවා ඇති ..මන් කතා වල දැකල තියෙන නිසා ඔය් වගේ වැදගත් දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුණ . කොරියන් කතා බලනව කියල මට හිනා වෙන උදවිය ඔය වගේ වැදගත් කාරණා දන්නේ නැහැ .



 ජපන් අධිරාජ්‍ය තියෙන කාලේ මේ ජපන් අය වැඩිය හිටි පලාතක් තිබුණ නගරයේ . මේ ඒ පාරවල යද්දී ගත්තු පින්තුරයක්

මේ නම්දිමුන් මාකට් එක . පැරණි සහ සියෝල් වල ලොකුම දිවා රාත්‍රී මාකට් එක . මේ ඉටිරෙදි අවන්හල් කොරියාවේ ජනප්‍රියයි . මේවා ඇතුලේ කන බොන දේවල් වගේම සොජු කියන දේශීය මත්පැන් වර්ගය අලෙවි වෙනවා .
 
 

 සියෝල් ස්ටේෂන් එක ළඟ පිළිරුවක් . නිදහස් සටනේ නියමුවෙක්

 මේ'' අහිංසක මිනිසා ''කතාවේ නළුවා බර්ගර් විකුනනවා . හැම තැනම දන්නා කියන මුණු එක එක ජාති විකුනන හැටි දුටුවා




 
 
 
එලි පහලියේ මල් නොතිබුනත් ගුවන් තොට මල් පිපි තිබුණ . ඒ වගේම අපි ආපසු ආ වැලන්ටයින් දිනේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුනා .



.

රට සංවර්ධනය වෙන ගමන් දේශීය අනන්‍යතාවය යහමින් රැකගෙන බටහිර සංස්කෘතියත් එක්ක හොඳට කලවම් වෙච්ච රටක් කියල මට නම් හිතුනේ . මේ කලවම් වීමේදී ඉංග්‍රීසි බස අත්‍යවශ්‍යම වෙලා  නැහැ වගේ . ඇමරිකාවේ සහයෝගය උපරිමයට ගත්තත් බාසාව නම් අරගෙන නැහැ එහෙමකට . ජපානය වගේ සියබසින්ම කටයුතු කරන්න පුරුදු වුන රටක් .

නමුත් අද වෙද්දී ඉංග්‍රීසි අධ්‍යාපනයට ලොකු උනන්දුවක් ඇති වෙලා . මන් සලකුණු ආදිය භාෂා දෙකෙන්ම ඇති නිසා අපට එතරම් අපහසුවක් වුනේ නැහැ .

 ඒ වගේම මට හමුවුන කොරියානුවන් ආචාර ශීලි සහ කදිමට ඇඳුම් අඳින උදවිය බව පෙනුනා .
 
........................
.


කොරියාව ඉඩක් ලදොත් යලිත් වරක් නොව කීප වරක් යාමට වුවත් ආසා හිතෙන ලස්සන රටක් බව කිව යුතුමයි .



ප. ලි .

අන්තර්ජාලය සහ මගේ දීගයට පසු ගිය දවස් එතරම් සුබ නොවිණි . බ්ලොග් ලිවිල්ලත් කියවීමත් බැඳගත් විට සෙක්කුවක් වැනිය . ගැලවුන විට යලි බැඳෙන්නට අපහසුය .

හිත මිත්‍ර බ්ලොග් අඩවි කියවීමට පසුගිය දිනවල නොහැකි විය . සියල්ලෝ සමාව භජනය කරත්වා .

උදා වී ඇත්තේ සර්ප වර්ෂයයි . වර්ෂය සර්පයාගේ වුවද මිනිසුන්ගේ විෂ ගති පහවී සැමටම සුබ සර්ප වර්ෂයක් වේවා යයි පතමි .

Wednesday, January 30, 2013

නෙළුම් විල

නෙළුම් විල


සිප වැලඳ ගමි ..ඔබ ආදරයෙන්

Posted: 29 Jan 2013 10:19 PM PST







කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ . සම්පුර්ණ වීමේ අන්තය ගැන නොදන්නා නිසා ඒ ගැන සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න බැරි වුනාට කියවීම තුලින් ජිවිතයේ බොහෝ දේවලට මුහුණ දෙන්න ඉඩ ලැබෙනවා .

ඒ සඳහා ජීවමාන උදාහරණයක් මම . ඒ වගේම අද මා කියන පුද්ගලයාගේ යම් වටිනාකමක් තියෙනවා නම් එයින් 50 % ක් පමණ මා කියවූ දේවල් . ඉතිරි පනහ ඉතින් ජිවත් වෙලා අත්විඳලා තියෙන දේවල් .

අද වෙද්දී කියවීම යම් පමණකට අන්තර්ජාලයට හිමි වුනත් කඩදාසියක මුද්‍රිත අකුරු වලට අපේ පරම්පරාව තවමත් ආදරෙයි . අපි විතරක් නෙමේ උදේ හවස ටැබ්ලට් එකක් [ කුඩා පරිගණකයක් ] පිටේ එල්ලන් යන්න සිද්ධ වෙලා තියෙන අපේ ළමයි වුනත් ඒ මල්ලේම පොතක් දෙකක් අරන් යනවා .
අපේ ලොක්කි ගේ බෑග් මල්ල මන් උදේට මාර්ග බාධක දාල පරික්ෂා කරන්නේ පොත් කියක් කරගහන් යනවද කියල . මල්ලේ බර කුඩා ශරීරයක් ඇති දියණියට ඔරොත්තු නොදෙන  නිසා .

අපේ කුඩා දියණියට පන්තියෙන් හැම සවසකම කියවන්න පොතක් දෙනවා . මේ කුඩා පොත් අස්සේ කොයිතරම් දේ තියෙනවද .

ඒ පොත් දෙමාපියෝ එක්ක කියවන්නයි දෙන්නේ . මෙහි අරමුණ ළමයා කියවීමට පෙළඹවීම වගේම ළමයාගේ කියවීමේ මට්ටම දෙමාපියන්ට අවබෝධ කරගන්නට පුළුවන් වීම .

ඒ එක්කම ළමයා එක්ක යම් වෙලාවක් ගත කිරීමටත් දෙමාපියන් පොළඹවන්න වෙන්න ඕන . බල කිරීමක් නැහැ . පිටුවක් දෙකක් කියෙව්වත් ඇති . නොකියවා හිටියත් ගුරුතුමී බනින්නෙත් නැහැ .

නමුත් මොකක්දෝ ආකර්ශනයක් තියෙනවා ළමයි කියවන්න පොළඹවන . අපේ දෝනි සමහර දාට කියවන්නේ නැහැ . එක්කෝ නිදිමත වීම නැත්නම් පොත රසවත් නොවීම වගේ හේතුවකට . එහෙම  දාට බල කරන්න එපා කියල  තමයි කියා තියෙන්නේ .

පොඩි සටහන් පොතක් තියෙනවා කියවීම ගැන සටහන් කරන්න . ළමයාද කියෙව්වේ , වැඩිහිටියෙක්ද කියන එක . ළමයට කතාව ආයේ මතක් කරන්න පුලුවන්ද , රස වින්දාද වගේ දේවල් ලකුණු කරන්න .
එයින් ගුරුවරියට ලේසියි ළමයාගේ රුචි අරුචි කම් කියවන මට්ටම ආදිය තේරුම් ගන්න .

මන් මේවා කියන්නේ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල . ළමයි ඉන්න අම්ම තාත්තලාට ගෙදරම වුනත් මෙහෙම වැඩ පිළිවෙලක් හදා ගන්න පුළුවන් . ඒ වගේම ඔබ ගුරු මවක් හෝ පියෙක් නම් පාසලේ මෙවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් .

ඊ ගාවට ඉතින් අපට ඉපදෙද්දී හුස්ම ගන්න වාතය තිබුණ එක ,ලිදේ වතුර තිබුණ එක , නාගරික ළමයෙක් නම් පයිප්පෙන් වතුර ආපු එක ...මේවා පුදුම දේවල් වුනේ නැහැනේ . මොකද ඒවා අපි උපදිනකොටම තිබුන නිසා .
අද ළමයෙක්ට විදුලිය , දුරකථනය , පරිඝනකය අමුතු දේවල් නොවේ . ඒවා ඒ ගොල්ල උපදිද්දී තිබුණ ..හරියට වාතය ,,ජලය වගේ .

හරි මේවා මුකුත් නැති දැකලවත් නැති ළමයි ඉන්නවා . කොටින්ම මන් ගෙදර ගියහම දැක්කා '' අපේ ගුරුතුමා '' කියල වැඩ සටහනක් [ කොච්චර බැන්නත් අන්න ඒ වගේ ඒවත් අපේ රුපවාහිනියේ පෙන්නවා ඉඳහිට ]
ඒ වගේ ගම්මාන වල ළමයි පරිඝනක දැක නැතුව ඇති . ඒ ගැන වෙනම කතා කරන්න ඕන .

මෙය කියවන හැමෝම අන්තර්ජාලය දන්නා නිසා අපි ඒ සිමාවේ ඉඳන් කතා කරමු .

ඉතින් මේ අන්තර්ජාලයේ හොඳ දේවල් තියෙනවා . ඕනෑතරම් හොඳ අධ්‍යාපනික ක්‍රීඩා තියෙනව .

ළමයා කරන්නේ මොනවද කියල දැනගන්න සිමාවේ ඉඳන් අන්තර්ජාලය ළමයට දුන්නට කමක් නැහැ කියල මන් නම් හිතන්නේ .

අවුරුදු 10 පසු වුන දුවෙක් ඉන්න එක එක්තරා විදිහක අභියෝගයක් . යොවුන් වියටත් අයිති නැති ..තව දුරටත් ළමයෙක් කියල හිතන්නත් අකමැති අවදියක් .

මගෙන් කීප දවසක් ඇහුවා ..මුණු පොත පාවිච්චි කරන්න වයස කියන වෙන්න ඕනද කියල . ඒ කියන්නේ එයාගේ සමහර යාලුවන්ට තියෙනව කියල මන් දන්නවා .

ඔන්න මේ වගේ වෙලාවට ළමයින්ට ඕවා ඕන නැහැ කියල කඩා පනින්න හොඳ නැහැ . අපි ටිකක් ඒ ගැන කතා කළා . මොකටද අපි මුණු පොත පාවිච්චි කරන්නේ කියල . එයා එකඟ වුනා දැන්ම අවශ්‍ය නැහැ කියල .

බ්ලොගින් ....

 ළමයින්ට බ්ලොග් හොඳද නරකද ...පහේ පන්තියේ ඉන්න මගේ දුට බ්ලොග් එකක් තියෙනව . එය අධ්යාපනයේම කොටසක් . පාසලේ අධීක්ෂණය යටතේ .

එයාලා කියවන පොත් ගැන පසු වදනක් ලියන්නේ එහි . යම් යම් සීමාවන්  යටතේ අපටත් කමෙන්ට් කරන්න හැකි .

මට තාක්ෂනය ගැන ඒ හැටි දැනුමක් නැහැ . එනිසා මේවා කෙරෙන අකාරය ගැන කියන්න පුළුවන් කමක් නැහැ .

ඒ ඇරෙන්න පාසලෙන් නිතරම අන්තර්ජාල සුරක්ෂිත බව ගැන දෙමාපියන් සහ ළමුන් දැනුවත් කරනවා .

කහ ඉර තිබ්බ පලියට ආවාට ගියාට පාර මාරු වෙන්නට බැරි කම වගේ තමයි . ...කොතනත් අවදානම තියෙනවා .

ඇත්තටම මන් කියන්න ගත්තේ ඔය කිසිවක් නොවේ ..අපේ කුඩා දියණියන්ගෙන් මා ඉගෙන ගන්නා දේවල් ගැන ...හැමදාම .

කුඩා දියණිය ගෙනෙනා කුඩා පොත් වලින් ...ලොක්කි කියවා මගේ කන් පුරවන අපමණ දේවල් වලින්  මගේ දැනුම දින දින වැඩි වන බව කියන්නට .


දිනෙන් දින අලුතින් හිතන්නට මා පෙළඹෙන බව කියන්නට . අද ලොක්කි මට ඊ මේලයක් ඒවා තිබුණ ..

ගස් නගින බුවල්ලෙක් ගැන...

මා මෙවැනි දේ ගැන අසන්නට කැමති බව දන්නා නිසා . මේ දිනවල ඒගොල්ලන්ගේ විෂය මාලාවේ තේමාව ''පෙළඹවීම ''

වෙළඳ දැන්වීම් මිනිසුන්ට බලපාන හැටි ගැන ඉගෙන ගන්නා බැවින් අගනා දැන්වීම සොයා ගෙන එනවා .

මෑතකදී දැක්ක ලස්සනම දැන්වීම තමා මේ .

බබාලාගේ නැපි ගැන කියවෙන්නේ ..හරිම ලස්සනයි .


ඒ වගේම මගේ සිතට හරිම පෙළඹවීමක් කල කුඩා පොතක්




විලි කියන පිරිමි ළමයා මිතුරකුගේ විසුළු නිසා පවුලේ අයගේ ආදරණිය සිප ගැනීම් ප්‍රතික්ෂේප කිරීම ..සහ ඔහුට කෙතරම් ඒ ආදරණිය බව අවශ්‍යද කියා තේරුම් යාම තමයි පොතේ සංක්ෂිප්තය .

මා හරිම ආසාවෙන් කියවපු සහ මැතකදී හිතට ලොකු බලපෑමක් කල පොතක් .

එක වයසකදී අපි හිතනවා හරි දැන් මෙයා ලොකුයි ..සිප වැලඳ ගැනීම් අවශ්‍ය නැහැ කියල . ළමය වුනත් අනික් අය ඉස්සරහ තමන් බබෙක් වගේ සිතයි කියල ලැජ්ජයි .

නමුත් අපි කවුරුත් හැමදාම සිතින් ළමයි ..ජීවිතය පුරාම ආදරණිය සිප වැළඳ ගැනීමකට ආසයි.

එක එක අවදි වලදී සිප වැළඳ ගැනීම ගැන විවිධ අදහස් තිබුනත් ..සමාජමය සංස්කෘතිකමය විෂමතාවන් තිබුනත් මගේ අදහස සියල්ලන්ම ආදරණිය ස්පර්ශයකට කෑදරයි .

එක එක අයගේ පෞරෂය මත විවිධාකාරයේ අදහස් ඔලුවට වැටීම මත යම් යම් පසු බැසීම් තියෙනවා .

සමහරු ලැජ්ජයි . මගේ පොඩි දෝනිය නම් බලයෙන් හෝ තමන්ට උවමනා දේ ලබා ගන්න දන්නා නිසා නිතරම මගේ සිප වැලඳ ගැනීමට ලක්වෙයි ..බාලයා වීමේ වාසනාව .
ලොක්කි මට උවමනා නම් මිසක බලයෙන් සිප ගන්නට ඉල්ලන්නේ නැහැ . නමුත් තාත්තා ගේ ඔඩොක්කුවේ ඉඳගන්නට ඇඟට කකුල් දමා නිදියන්නට .....මගේ ලඟින් තුරුළු වී ඉඳගන්නට ආසා බව අපි දන්නවා .

මේ පොත කියෙව්වාට පස්සේ මට හිතුනා නංගිට වගේම ඈටත් උදේ සවස ආසරණිය සිප ගැනීමක් කලයුතුයි නේද කියා .

එක අතකින් දැනුමින් සිරුරින් උස මහත් වෙද්දී වයසට නොයන ළමයා කොයි කාතුලත් සිටිනවා .

ළදරුවන් සේ අම්මාගේ ඇකයේ රැඳෙන්නේ ඒ ආසාව .

තුරුණු වී පෙම්වන්තයින් වී අතිනත පැටලවී ඇවිද යන්නේ සැමවිටම රාගයම නොවේ . ආදරණිය ස්පර්ශයකට මනසේ සැඟවුන ළමා ආසාව ම බව මට සිතේ .

කවරදාවත් වයසට නොයන ඔබ මා සැවොම සිත කුඩා ළමයෙක් සිටි....

ප. ලි.

ඔබ මා හමුවුන ..
නෙළුම්විල පිපෙන
සියවැනි සියපතයි මේ ..
සොඳුරු කතාවෙන්
මා සිත පිරවූ ..

'' කොළඹින් පටන් ගෙන
ලෝකයේ කොහේ හරි කොනකින්
ඉවර වෙන ..
මගේ වැල්වටාරම් අසා සිටියාට

මා සොඳුරු මිතුරනි ..
ඔබ සැමට ..'

...ස්තුතියි ..

''අලුත් ලිපියක් ලියන්නට
කල් හරි නේද ..
මොකද නොලියන්නේ
ඔන්න තව දෙකක් ලිව්වම සීයයි ''

සද්ද නැතුවම
අකුරක් නෑර කියවන
වචනයක් වත් ඒගැන නොකියන


..මගේ පිය හිමි සඳුනි .

..ස්තුතියි ...

හැමදාම අලුත් දවසක් කොට
ජිවිතය අලුත් කරවන
මගේ මල් වැනි දියණියනි
අලුත් දේවල් ලියන්නට දෙනවාට

ස්තුතියි


''With love and hugs''



[[අක්කේ මට  මේ පින්තුරය දැක්කම නෙළුම්විල මතක් වුනා ..එහෙම හිතල මේ පින්තුරය එවුවේ සිරා ....
ස්තුතියි සිරා ]

Sunday, January 27, 2013

නෙළුම් විල

නෙළුම් විල


තාර පාර දිග පාට පාට කඩ

Posted: 27 Jan 2013 01:49 AM PST

 
 
                                                               වර්ණවත් ලැකර් වලින් පාට කල විසිතුරු දේවල් අතර .. එම්බ්‍රොයිඩර් කල සිල්ක් පසුම්බි අත පත ගාමින් පාට පාට කඩ වල ඇවිදින එක තරම් ලස්සන අත්දැකීමක් . ඒ අතට මේ අතට යන මෝටර්සයිකල් ගංගාවේ ඉඩක් හදාගෙන පාර මාරු වෙන කුසලතාවය ලබන්න අවුරුදු කීපයක් ගත වෙනවා . කහ ඉරි නැති රටේ සුදු ඉරි වලට සම්පුර්ණ ජිවන අයිතිය පවරන්න බැහැ. ඇහැක් විදිහට පාර මාරු වෙන  සංකල්පය තමා අනුගමනය කරන්න  ඕන .
 
                         මන් මේ කියන්නේ හැනොයි පරණ ටවුම . පරණ ටවුම කියල මන් සිංහලෙන් කිවේ ''ඕල්ඩ් ක්වාටර් '' එහෙම නැත්නම් ''ෆ්‍රෙන්ච් ක්වාටර් '' කියල හඳුන්වන ඒ මේ අතට විහිදුන කුඩා මාවත් සිය ගණනකින් සෑදුන නගර කොටස .
 
මේ පාරවල නම් සැදී තියෙන්නෙත් විකිනෙන දේවල් අනුව ..සේද කඩ ..සපත්තු කඩ වගේම සෙල්ලම් බඩු වලටත් පාරක් තියෙනවා . මේකෙන් කියන්නේ නැහැ අනික් පාරවල ඒවා නැහැ කියල . නමුත් මුලිකව මේ මේ දේවල් තියෙන කඩ වැඩියි අදාළ පාරේ ..පහසුව තමයි එහෙ මෙහෙ රස්තියාදු නොවී තමන්ට ගන්න තියෙන දේ තියෙන පාරට කෙලින්ම යන එක . ඒ වගේම තමන්ට උවමනා නැති පාරවල් මග අරින එක. ඒ කියන්නේ ළමයි එක්ක යනවා නම් සෙල්ලම් බඩු පාරෙන් නොයා ඉන්න එක .
 
මේ කුඩා විදි එකිනෙකට සම්බන්ධයි දැලක් වගේ . හැබැයි මට නම් තවම ඔය හැම පාරකම යන්න ලැබිලත් නැහැ . මේ ප්‍රදේශයේ තමයි ''බැක් පැක් '' හෝටල් හෙම වැඩි හරිය තියෙන්නේ . ඒ වගේම අර කලින් කි ඉබ්බන්ගේ විල ආසන්නව පැතිරිලා ඇති නගරයේ ලස්සනම කොටසත් මෙයට යාබදයි . ඒ කියන්නේ මේ තමයි සංචාරක ආකර්ශනය ප්‍රධාන වශයෙන්ම . විලට ආසන්නයේ නම් අපේ කොටුව වගේ . පැරණි ප්‍රංශ ගොඩ නැගිලි හරියට අර කොටුවේ කාගිල්ස්
එක තියෙන හරිය වගේ . ප්‍රමාණය නම් සසඳන්න අමාරුයි .
 
ඉතින් මෙයාකාර වැල්වටාරම් කීවට අද මේ පින්තුර ටික තමයි පෙන්නන්න ඉන්නේ . මේ ටික ගත්තේ මගේ වාර්ෂික ගෙදර යාමේ ගමන් නිමිති කොට හැමදාම කෙරෙන විදි සංචාරය වෙලාවේ .
 
මේ පාර නම් මුකුත් ගෙනියන්නේ නැහැ කියන සිතුවිල්ල හැමදාම යන්න ලං වෙද්දී දිය වෙනවා . මේ කඩ වල රස්තියාදු වෙලා මොනවා  හරි එකතු කරන එක පුරුද්දක් වෙලා . යමක් නොදී බැරිම අය ඉන්නවනේ .
ඔන්න ඔහොම ඇවිදිද්දී ගත්තු පින්තුර ටික බ්ලොග් එකේ දමන්න  හිටියට මාස ගණනක් ගත වුනා . මේ පින්තුර වල වෙනම බ්ලොග් එකක් ලියන්න දේවල් තියෙනව එකින් එක ගත්තොත් . ඒ වුනාට මට කම්මැලියි .!!!!!!!!
 
හරක් අං වලින් සාදන ලද දුම් බට . මෙයින් කොහොම දුම් පානය කරනවාද කියා නම් දන්නේ නැහැ .
හැබැයි මේ ගොල්ල දුම් බොන්න නම් රුසියෝ . දවසක් ප්ලාසිටික් හිස් බිම බෝතලයකින් හදාගත් මෙවැනි දුම් බටයකින් දුම් බොනවා දැක්ක ඈත පළාතකදී .
 
මෙය හරක් ඇටයකින් හැදු දුම් බටයක්

 ලැකර් පාට කල චීන බෝනික්කෝ

 කුඩා මේස දරනු





 බම්බු වලින් සාදන ආහාර බඳුන්

 සිල්ක් බහලුම් . මේවා කුඩා පසුම්බි .

මේවාත් බම්බු දිසි

නයි සහ ගෝනුසු වයින් . මේ බෝතල් ඇතුලේ සර්පයින් දරන ගසාගෙනම මිය ගිහින්

 කද ..මෙහි කුඩය එල්ලා ඇත්තේ ලි වලින් . ලනු වලින් නොවේ .

ලැකර් මල් බඳුන් .
 
 වරක් අපේ දියණිය අතින් අපේ අක්කාගේ නිවසේ  ඈට සිසුවියන් තෑගී කල මැටි බඳුන බිම වැටි බිඳුනා .මා මෙයින් එකක් ගෙනගොස් දුන්නේ ආයේ එවන් කරදර නොවෙන්නට

මේ මල් නුලෙන් මසා ඇත්තේ




ආභරණ පෙට්ටියක් . ලොක් එක තමා බත් කුරා



සිල්ක් කුරුල්ලෝ

රුසියන් බෝනික්කෝ
 
 
වරක් මේ බෝනික්කන් ගැන කතාවක් අසන්නට ලැබුනා . තම සොයුරිය එන තෙක් මග බලා සිටි අය්යා කෙනෙක් මේ බෝනික්කන් නිමවූ බවට . නමුත් ජාලයේ කොහේ වත් ඒ කතාව දකින්නට නැහැ . මේ බෝනික්කන් ඇතුලේ එකින් එකට බහාලු කුඩා බෝනික්කන් රැසක් සිටිනවා .
 
මෙවර මෙයින් එකෙක් ගෙනගිය නමුත් දීමට සුදුසු  කෙනෙක් හමු වුනේ නැහැ . මා තෑගී දෙන්නේ ඒ ඒ අයගේ රුචිය අනුව .



මේ කඩය විශේෂයි ..අහම්බෙන් නෙත ගැටුනේ . වියට්නාමය කොමියුනිස්ට් කරණයේදී සහ ඇමරිකන් යුද්ධයේදී නිමවුන පෝස්ටර් [ propaganda posters] මෙහිදී මිලයට ගන්නට පුළුවන් .

 මේ ඉතින් දන්නා කට්ටිය . ඉන්දියන් අවන් හලක්

සිල්ක් ස්කාර්ෆ්
පන්සලක් ...
සාමාන්‍ය ජන ජීවිතය දකින්න නම් මෙවැනි විදි වල ඇවිදිය යුතුමයි . එකක් කිව යුතුය . අප මේ බ්ලොග් වල සටහන් කරන්නේ අප දකින ලෝකයෙන් සහ අත්විඳින ලෝකයෙන් අංශු මාත්‍රයක් පමණි .
මේ සටහන් වලින් කිසිවිටක මේ රට ගැන හෝ මිනිසුන් ගැන 100 %ක් අවබෝධ නොවේ .

මාගේ දෘෂ්ටි පරාසයට හසුවන සහ එයිනුත් මා මට උවමනා තරමට පමණක් ලියන කෙටි සටහන් සහ පින්තුර පමණි මා මෙහි දමනුයේ .

ලෝකයේ කළු සුදු මිනිසුන් නැතුවා මෙන්ම හොඳ නරක කියා ස්ථානද ඇත්තේ සාපේක්ෂව සිතන පතන විදිහටය. එමෙන්ම අප අත් දකින දේ අනුවය .

මගේ දැක්ම අනුව හැකිතාක් හොඳ දකින්නට කැමති නිසා මේ සටහන් බොහෝ විට හොඳ දේ ගැන පමණකි .