Wednesday, June 05, 2013

නෙළුම් විල

නෙළුම් විල


ගෙම්බෝ

Posted: 04 Jun 2013 08:14 PM PDT


විල් තුන් දහසක් ඇති පලාතක ජිවත් වන මා නිවාස ආසන්නයේම තමයි ලොකුම වැව ඇත්තේ . මේවා වැඩිමනක් ස්වභාවික ඒවා . .කලෙකදී රතු ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ඒවා . රජවරු වැඩි දියුණු කල ඒවාත් නැත්තේ නැහැ . ඒවාට අමතරව වැව් සහ ජලාශ ලෙස තිබී කෙමෙන් ගොඩ වී හෝ ගොඩකර නාගරිකරණය වූ ස්ථාන වල කුඩා පොකුණු වැනි ජල කඩිති බහුලයි . පෙඳ පාසි වැවී කොළ පැහැති වූ එවැන්නක් අප නිවාස අසලත් තියෙනව . රාත්‍රියට කවුළු පියන් පත් හැරිය කල ගෙම්බන්ගේ ගේ හඬ තැලුම අපට එතරම් අරුමයක් නොවේ.

වෙසෙසින් වැසි කලට අතොරක් නැතුව ගෙම්බන්ගේ හඬ ඇසෙයි . වැසි කාලෙට පෙරම ගෙම්බන් දෙවියන්ට වැස්ස දෙන්නයි කියා හඬන්නට පටන් ගන්නා බව මෙරට වාසීන්ගේ මතය . කොහොමත් කඩපිල් වල ගෙඹි දෙවිවරු හට පුද පුජා කොට අල්තාරයක් තැබීමත් සුලබයි .
තෙත් කලාපයේ විසු අප කුඩා කල නිතරම ගෙතුළ ගෙම්බෙක් දෙන්නෙක් පදිංචියට පැමිණීම අරුමයක් වුනේ නැහැ . උන්ගෙන් ඒ හැටි කරදරයක් නැති මුත් උන් පසුපස සර්පයින් එයි කියා සැක කල බැවින් ගෙඹී අමුත්තන්ට එතරම් පිළිගැනීමක් ලැබුනේ නැහැ .

පොල්කටු දෙකකින් අල්ලා ගෙන ඈතකට ගෙන ගොස් දැමීම තමා අපේ රාජකාරිය . වැඩකට ඇත්ද ..පසුදා එම මුල්ලෙන්ම ''ක්රෝක් '' කියා අපට සවුත්තුව දමයි .

උසස්පෙළ හදාරන වයසේ ළමයෙක් සිටි ගෙදරක් නම් ගෙඹි හාමිලාට දෙවි පිහිටය . වාසනාවට හෝ අවාසනාවට මට උවමනා කාලයේ එක ගෙම්බෙක් වත් පාසලට ගෙන යාමට නොහැකි විය .
අපේ මිතුරියක් දිනක් ගෙඹි ඇටකටු ගන්නට සිතා ගෙම්බෙක් තම්බා නිවෙනකම් බලා ඉද්දි කපුටෙක් එය ඩැහැ ගෙන ගිය බව කිවේ ඉතාම දුකින් .
අනේ ඒ, විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් පරලොව සැපත් සුවහසක් ගෙඹි කැරපොතු පරපුරට මගේ කණගාටුව .

එයින් පසු මට සැලකිය යුතු ගෙම්බෙකු හමුවන්නේ මගේ ලොකු දියණිය ඉපදී මාස කීපයකට පසුව
ඌ නිකන්ම ගෙම්බෙකු නොවේ. ඇට ගෙම්බෙකි . බිත්ති කබඩ් උඩින් තිබු කොන්ක්‍රීට් ලෑල්ල අනවසරයෙන් අල්ලා ගත් මේ ඇට ගෙම්බා කාලයක් ගෙදර හොඳ නාටකයක් වුනා . [මේ ලෑල්ල වරින් වර එක එක සත්ව වර්ගයාගේ පදිංචියට සින්න වුවත් එතන තිබුනේ පොත් සහ පත්තර . ඒ කාමරේ හිමියා පොත් ගුල්ලෙක් වූ අතර කැන්දන් ආ මනාලිය එයිට දෙවෙනි වුනේ නැහැනේ .]

ගෙදර පිරිස ගෙම්බන්ට බය සහ බය නැති ලෙස දෙකට බෙදුනා . බය නැති අය කොසු ඉලපත් රැගෙන සටනට බට අතර අනික් පිල පුටු මේස උඩට නැග සටනට අවශ්‍ය උපදෙස් සැපයුවා . කොළඹ සිට යුද්ධය මෙහෙයවූ අය මෙන් .
ඇට ගෙම්බා වැටුනොත් ළමයා කෙට්ටු වේ යයි කියමින් ඌ පසුපස පැන්නුවේ රාණි . අපේ ගෙදර උදව්වට පැමිණි නානා ප්‍රකාර චරිත අතර රාණි විනෝදකාමී කෙනෙක්. ඒ අය ගැන වෙලාවක ලියන්න ඕන [ අතට පයට දැසි දස්සන් උවමනා නිසා නොවේ ඔවුන් ගෙන ආවේ . මා එකල රැකියාවක් කල නිසා පොඩි එකා බලා ගැනීමට . අනෙක් අතට ඔවුන්ට අප හොඳින් සැළකු බවත් වේලාසනින්ම කියන්න වෙනවා . ]

ඒ කතා පසුවට ..දැනට ගෙම්බන් .
කෙසේ හෝ ඌටම එපා වී ගෙම්බා දිනක අප අත්හැර ගිහින් තිබුණ

එයින් පසු මේ පොකුණේ බක බක ගාන [ මුන් බක බක ගාන්නේ නැති බවත් '' ක්රෝක් '' ගැන බවත් අපේ කෙල්ලන් මට කිවා ]. ගෙම්බන් හමුවන තුරු සැලකිය යුතු ගෙම්බෙක් හමු වුනේ නැහැ .
යාන්තමට අටවා ගත් බ්ලොග් එකට නෙළුම්විල කියා නම තැබීමත් අහම්බයක් . ඉඳහිට විලට ගෙම්බෙක් දෙන්නෙක් පැන්නාට එතරම් හානියක් වුනේ නැහැ .


මෙය මහා ලොකු විලක් නම් නොවේ . සයිබරය කියන අපමණ විල් ඇති නගරයක කුඩා පොකුණක් පමණයි . ඉඳහිට වැව අද්දර ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන වගේම ලෝකය ගැන රසවත් ඕපාදුප කතා වෙනවා තමයි. දැන් එච්චරකට සාර නැති වුනත් මේ ඉතින් අපේ සතුට . මගේ දියණියන් දෙදෙනාගේ ළදරු පින්තුර දෙස බලා සතුටු වෙනවා සේම ඉඳහිට අපේ රසවත් කතා බහ නැවත කියවා සතුටු වෙන්නේ .

එදවස නිදහසේ අනෙක් අඩවි වල අදහස් පල කලත් අද ඒ නිදහස නැතුවා වගේ දැනෙන නිසා ..කොටින්ම බ්ලොග් අවකාශයේ නිදහසේ පියාඹන්න බැරි ගතියක් දැනෙන නිසා ඇතැම් විට මා නිහඬව සිටියත් කාලෙකට පසු ලොකු සතුටක් ලැබූ මේ බ්ලොග් අඩවියට මා ඉතාම ආදරෙයි තවමත් .

ඇතැම් විට ගෙදර වැඩකටයතු දහසක් තියෙද්දී මේ ලියන්නේ ඒ ආසාව නිසා . පාරේ යන ගමන් ගල් ගසා විල බොර කරන්නට සමහරෙක්ට සිතෙන්නේ ඇයිදැයි මට නොතේරෙන නමුත් ඉතාම ආදරයෙන් ඉල්ලනවා අනෙක් සහෝදර බ්ලොග් කරුවන් ගැන මඩ විලට ගෙන එන්න එපා කියා .

එමෙන්ම මගේ නම අනෙක් අයට අපහාස කරන්නට යොදා ගන්න එපා කියා .

කමෙන්ට් මොඩරේට් නොකර තබන්න මට ඉඩ දෙන්න . එවිටයි කතාවන් රසවත් වන්නේ .

 පින්තුරය

Sunday, June 02, 2013

නෙළුම් විල

නෙළුම් විල


තෙද ඇති පුතුන් දවසක වඳවී යාද

Posted: 01 Jun 2013 11:42 AM PDT

සිතේ බාගෙට කෙටු ලිපි නම් අනන්තය . නෙත දකින අපමණ දසුන්ය . අධික හිරු රැසින් මහා පොළොව දැවෙන කල ප්‍රීතියෙන් දළු කොළ කිරුළු දැරූ නෙළුම්විල කැකුළු සියපතින් සැරසිලාය . කණගාටුව එවන් මල් බරින් සැරසුන අප පිය නෙළුම්විල අද එපමණ මල් පුබුදුවන්නේ නැතිකමය . හිමිකාරිය අලසය .

සියලු පණ ඇති නැති වස්තුන්ට තම තමන්ට හිමි වසන්තයක් ඇත. බ්ලොග් ලියවිල්ලටද එයම පොදු වේ ..

මෙහි හිමිකාරිය කලින් කලට විවිධාකාරයේ රුචිකම් ඇත්තියක් වන බැවින් එක් දෙයක් නොකඩවා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ වාර්තා තබා ඇත . එහෙයින් මේ නම් අතිශය ස්වභාවික සන්සිද්දියකි
ලඟදි දිනෙක නැරඹු ජපන් සිතුවම් පටක් ඇගේ සිත තදින් දිනා ගත් අතර බැලුදා පටන් ලියන්නට සිතා සිටියාය .

එක් සමයෙක පිරිමින්ට වෙසෙසින් වැළඳුන වසංගතයක් හේතු කොට පුරුෂයින් ගණන හතරින් පංගුවක් දක්වා අඩු විණ . තමන්ට දරුවෙක් ලබා දෙන්නැයි නිරෝගී පිරිමින් හමු වේ හඬා වැලපෙන කතුන්ය .
සෞඛ්‍ය සම්පන්න තරුණයින් ,ඕකු හෙවත් රැජිනගේ ඇතුල් ගෘහයෙහි රැජිණ විසින් තෝරා ගනු පිණිස පදිංචි කර ඇත . සමුරායි කෙනෙකු වීමේ සිහිනයෙන් පෙලෙන කතානායක තරුණයා සිය දිළිඳු පවුලේ සුබ සිද්ධිය තකා මෙම ඕකු තරුණයින් අතරට එක් වීමට තීරණය කරයි .අනෙකුත් සම්ප්‍රදායික එකිනෙකා පරයා සිටිමට වෙහෙසුන අනිකුත් තරුණයින් අතර සාමාන්‍ය පවුලකින් පැමිණෙන මේ වෙනස් තරුණයා කෙසේ පිලිගැනේද ?

ඔහුගේ පෙම්වතියට ඔහුව නැවත දකින්නට ලැබේද ? . එවකට සිටි ශෝගුන් රැජින මියගොස් අලුතින් පත්වූ තරමක් රැඩිකල් අදහස් ඇති නව ශෝගුන් රැජින කඩවසම් තරුණයින් අතරින් පළමු රාත්‍රිය ගෙවන්නට තරුණයෙක් තෝරා ගත යුතුය .

වර්ණවත් ඇඳුමෙන් සැරසුණ තරුණයින් අතර කතානායකයා කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි. පළමු රාත්‍රිය ගෙවන තරුණයා මරා දැමීම පෙර කල පටන් පැවැති සිරිතක් බව රැජිනද නොදත්තාය .
වැඩි ආටෝප කුමටද . මෙතනින් ඔබටම නරඹන්නට හැකි කොට .




picture from


කන බොන දෙයක් කටට දාගන්නේ නැතුව එහි උත්පත්තිය සොයන්නාක් මෙන්ම නරඹන සිනමාවක අලගිය මුල ගිය ස්ථාන සෙවීමේ ජන්මගත රෝගය නිසා වැඩිමනක් මේ ගැන කියවද්දී දුටුවේ මුලින්ම ජපානයේ manga වර්ගයේ චිත්රකතාවක් ලෙස එළිදුටු කතාවක් බවයි . එමෙන්ම රුපවාහිනී කතා මාලාවක්ද වූ බවයි .


ලොව බොහෝ කොට සිදු වුවේ කාන්තාවන් ප්‍රදර්ශනය කිරීමය .විශේෂයෙන් රතු විදි වැනි ස්ථානයන් වෙන් වුවේ කාන්තාවන්ට . පිරිමින් පැමිණියේ පාරිභෝගිකයින් ලෙස .

මෙහි මුහුණු වල පාට උලා සරසා විශේෂ විදි වල ප්‍රදර්ශනයට තබා සිටි පිරිමින් ගේ නෙත් කැල්මක් සොරා ගන්නට පොර කන තරුණියන් ය .

නුඹලාට අපි නැතිකොට අගේ දැනෙන්නට හොඳ වැඩේ යයි මෙය නරඹන තරුණයින් සිතන්නට පුළුවන . සැබෑය මය කොයිදේත් හිඟ කල අගය වැඩි වේ .

ගැහැණු අප හැම විටම අපේ අයිතිවාසිකම් ගැන කතා කරමින් පිරිමින්ට තඩි බාන බවට චෝදනා එල්ල වෙද්දී පුරුෂ පක්ෂය ගැන අනුකම්පාවක් ඇති වෙන අන්දමේ චිත්‍රපටයක් බව නම් කිව මනාය ...

කලබල වන්නට දෙයක් නැත. මෙය සැබෑවට සිදු වූ බවට කිසිම තොරතුරක් නැත . එවන් වසංගත ලොව නැතුවා වන්නට පුළුවන . ඇත්තේ ගැහැණු පිරිමි වෙනසක් නැතුව සංවේදී බව මරා දැමෙන බරපතල වසංගත පමණි . එදාට වඩා අද ඒවා වැඩිද යන්න නම් මගේ දැනුම් පථයට හසු නොවන්නකි . මට සිතෙන්නේ වසංගත පැතිරෙන ක්‍රම සහ සංකීර්ණ බව නම් වෙනස්ය .

Thursday, May 23, 2013

නෙළුම් විල

නෙළුම් විල


බත් කුරු සහ වෙසක් කූඩු

Posted: 23 May 2013 02:00 AM PDT

චීන ක්‍රමේට බත් කන කුරු මිටියක් ගෙනාවෙමි . රබර් පටි ද සොයා ගතිමි . හවසට පොඩ්ඩෝ ආකල වෙසක් කුඩුවක් හදන්නට සිතා සිටිමි . 

මේ ක්‍රමයට වෙසක් කුඩු සෑදීම මාගේ  සහ අපේ නැන්දම්මා ගේ නව නිපැයුමකි . වෙසක් කුඩුවක් යනු ගණිත කර්මයේ බහු විධ හැඩතල අගෙන ගන්නට දරුවන්ට අනගි අවස්ථාවකි .

මා වගේම අන්තිම කටේ වැඩ කරන පුරුද්දක් තිබු අපේ තාත්තා එක්තරා විදිහක අපුරු කලාකාරයෙක් බව මට සිතේ . කඩිමුඩියේ අඳින ඉරි කැබලි කීපයක් අගනා සිතුවමක් කර පෙන්වන්නට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි . වෙසක් කුඩු හදන්නටද හපනෙකි . වැරැද්ද නම් බට සොයන්නට යන්නේද වෙසක් දා දහවලේ වීමය . කෝටු කපා සුද්ද කොට අගනා කුඩුවක් සදන්නට මහා වෙලාවක් ගත නොවිණි .

පොල් පට්ටා වලින් රවුම් සාදා හදන කාමරංගා කුඩු මගේ ප්‍රියතම වර්ගයකි . අටපට්ටම් , එල්ලන නෙළුම්මල්  මෙන්ම බිම සිටවන නෙළුම්මල් ද හදන එක අපේ  තාත්තාට කජු කනවා වැනි වැඩය . විශාල වශයෙන් විනෝද වීමට ඉඩ ප්‍රස්තා නොතිබුණ සමයක අපගේ ජිවිත ඒකාකාරී නොවුනේ මෙවැනි දේ නිසාය . අවුරුද්දට කාර්ය බහුල වී උණුසුම නිවෙන්නත් පෙර ඔළුවට එන්නේ වෙසක් කුඩුය .

පසුගිය වසරට වඩා වෙනස් සහ හොඳ එකක් තැනීම , අල්ලපු ගෙදර ළමයින්ට වඩා ලස්සන එකක් තැනීම ...මේවා ලෝකෝත්තර ලෙස සළකන විට අන්තිම නරක දේවල් විය හැකි නමුත් සංස්කෘතික අංගයක් ලෙස සහ ළමයින්ගේ නිර්මාණශීලි බව ඔප නංවන අපුරු මාධ්‍යක් ලෙස මා නම් වෙසක් සැරසිලි අගය කරමි .

වෙසක් කාඩ් තොරණ ප්‍රාථමික මට්ටමේ නමුදු බොහෝ විට පිරිමි ලමයෙකු සිය ප්‍රථම විදුලි පරිපථය සාදන්නට ඇත්තේ ඒ තුලින් වන්නට පුළුවන .

වෙසක් කාඩ් යැවීම  නම් මට කම්මැලි වැඩකි . නමුත් ඇතැම් ළමෝ එය ඉතාම සරුවට කලහ.

නමුත් වෙසක් කාඩ් ඇඳීමෙන් නම් මා ලොකු සතුටක් ලැබු  බව  මතකය . මේ එවන් එක්තරා කලක අඳින ලද්දකි .




කුඩු ඇලවීම , රැලි කැපීම , රැලි ඇලවීම , වටේට කැටයම් කපා ඇලවීම , මල් සාදා එල්ලීම ..ආදී නෙක කළා කටයුතු වලට යෙදෙන ළමයෙක් මොනතරම් හැකියාවක් ලබන්නේද කියා අද නම් මට සිතේ .

මා උගත් බාලිකා පාසල් දෙකේදීම පිරිමි ලමු නැතයි කියා වෙසක් සැරසිලි වලින් අඩුවක් නම් නොවිය .

වෙසක් දා කුඩු පත්තු කර පන්සල් යන අපි එන ගමනේදී කෙටි පාරෙන් නෑවිත් දිග පාරවල් වට රවුම් පාරවල් වලින් ගෙදර එන්නේ වෙසක්ද බලාගෙනය .

ඔය ගමන් වලදී අපේ පස්සෙන් ආ බුලා ගැන මා කලින් කිවා මතක ඇති සිතමි . වැස්සොත් නම් වෙසක් එතරම් සරු නැත . හොඳින් පායා සඳ එළියේ නැහැවුන රාත්‍රියක් නම් ළමා අපගේ දෙව්ලොව එයයි . පුග්දලික සනීපාරක්ෂාව ගැන අධිඅක් උනන්දුවක් තිබු අපේ අක්කා හැර අපි නම් බිම දන්සල් වන්දනා කළෙමු .

වෙසක් දවසේ තොරණක් බැලීම මොඩම වැඩකි . විදුලි ආලෝකය අවුල්ය . එක පිළිවෙලක් වන්නේ දෙවෙනි තුන් වෙනි දවසේය . තොටළඟ , පෑලියගොඩ , දෙමටගොඩ , පිටකොටුව ආදී ප්‍රසිද්ධ තොරණක් හෝ දෙකතුනක් බැලීමට අප කුඩාම කල වැදගත් පුරුද්දක්ව තිබිණ .

වයසින් වැඩෙත්ම සෙනග අස්සේ තෙරපීම වදයක් ලෙස සැලකීම නිසා ඒ ගමන් නැවතුන අතර වෙසක් කුඩු වක් දෙකක් තැනීම නම් කිසිකලෙකත් නතර නොවිණි .

එදාට වඩා අද නරක යයි මම කිසිකලෙක වත් නොසිතමි . වෙල් බඩවැටි වල බඩගා බට කැපීම අද අපහසුය . පියවරුන් අනේක රාජකාරි මැද්දේ කාර්ය බහුල විය . පාර අයිනේ ඕනෑතරමට වෙසක් කුඩු තිබේ ..අලවා හෝ නොඅලවා .

බුදු දහමට අනුව වුව කිසිවක් සදාකාලික නැත .එදා කල දේ ඒ ලෙසම අදත් කරන්නට යාම කොතරම් ප්‍රායෝගිකද නොදනිමි . 

යසට බට වැවෙන ,පොල් ඉරටු වඳ නොවූ රටක ගාලු මුවදොර පිටියේ ඉහල  අහසේ පාවෙන චීන සරුංගල් නම් මගේ සිත අපමණ වේදනාවට පත් කල බව නම් කිව යුතුමය .

මා චීන බත් කූරු වලින් කුඩු සදුවාට චීන වෙසක් කුඩුවක් ලංකික ගෙමිදුලේ එල්ලෙන දිනක් උදා නොවේවායි මගේ එකම පැතුමයි ..


Sunday, May 19, 2013

නෙළුම් විල

නෙළුම් විල


රූ සිරිනි නෙත බැඳුන.......මට මග හැරුණ තැන කොතන

Posted: 18 May 2013 10:45 AM PDT






දවස හැත්තෑව දශකයේ අග භාගයේ  දවසක් . එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනකුයි පොඩි කෙලි පොඩිත්තියෙකුත් එක්ක ගෙදරට රේඩියෝ එකක් අරන් එන්න ගියා . කොටුවේ පැත්තේ ලොකු සාප්පුවකට . ඒවායේ නම් ගම ඒ ළමයට දැන් මතක නැහැලු .

අම්මල රේඩියෝ තොරණ අතරේ කඩයේ හිටපු උස කෙට්ටු , රැවුලක් වවාපු තරුණයෙක් මේ ළමයා එක්කන් ගිහින් සාප්පුවේ  හයි කරලා තිබුණ අමුතු පෙට්ටියක් පෙන්නුවා . ඔන්න එදා තමා මේ ළමයා ටීවී එකක් දැක්කේ ඉස්සෙල්ලම .

මේ  ළමයාගේ හෙවත් මගේ මතක ගබඩාවේ එක එක ලැයිස්තු තියෙනවා . එක ලැයිස්තුවක් තමයි ජිවිතයේ හමු වූ මා ඉතාම ස්තුතිවන්ත වෙන මිනිසුන් . ඔන්න ඔය කියූ කරුණාවන්ත තරුණයා ඒ ලැයිස්තුවේ මුල්ම හරියේ ඉන්නවා .

ඔය වගේ වැදගත් ගමන් යද්දී ඉස්සර ගෙදර ළමයි සේරටම යන්න ඕන වෙනවනේ . ගොඩක් වෙලාවට බාලයාව තෝරා ගැනීමේ පදනම යටතේ තුන් වෙනියාට තමයි ඔය ගමන් යන්න ලැබුනේ .

අද වගේ නම් ඉතින් ''ඊනි ..මිනි මිනි මෝ '' නැත්නම් '' බබල්ගම් බබල්ගම් '' කරලා ඇඟිලි ගණන් කරලා තමයි තෝරා ගන්න වෙන්නේ [ , ඔය වගේ සෙල්ලම් නොදන්නා අයගේ දැනගැනීම සඳහා ---ඔය කිවේ අර ටක් ටික ටුක් වගේ එකක් ]

අපේ මලයා මට වඩා හුඟක් බාල නිසා මතක හිටින කාලයක් බාලයා වී සිටීමේ වාසිය ලැබුණ . කඩේ එක්කන් යාම..අඹ ඇටය හිමි වීම වගේ වාසි . ඔය අඹ ඇටය අයිති කරගන්න අරගලය සදාතනික එකක්ද කොහෙද .

ඇත්තම කියන්න කන්න ඇති දේකුත් නැහැ . කෑල්ලක් කන එක එයිට හොඳයි . ඒ වුනාට පාරම්පරික අරගලය ඉදිරියට ගෙන යමින් අපේ කෙල්ලන්ද ඕකට පොරකනවා .

''බාලයාට ''නියමය අලුත් පරම්පරාවට අල්ලන්නේ නැහැ . එක්කෝ ගෙඩි දෙකක් කපන්න වෙනවා . නැත්තන් මතක තියන් ඉඳලා ඊළඟ පාර අනික් කෙනාට දෙන්න වෙනවා .

කඩේ යනඑක ඉතින් කවදත් වාසියි . අපි ඒකාලේ සතියකට වතාවක් පොළකට හරි පිටකොටුව ,තොටළඟ වගේ ලොකු වෙළඳ පොළකට හරි යන එක පුරුද්දක් . ඒ ඒ ගමන් වල වෙන වෙනම වාසි තිබුණ . කඩුවෙල පොලේ ගියොත් පාරුවෙන් එගොඩ වෙලා යන එක විනෝදයක් . පාලම හැදුනට පස්සේ තව දුරටත් ඒ ගමන විනෝදයක් වුනේ නැහැ . කඩුවෙල ගියේ පොලේ විතරක්ම නෙමේ . ඒ කාලේ හොඳ චිත්‍රපටයක් ආවහම අපිව එක්ක යන පුරුද්දක් තිබුණ . කඩුවෙල සිනමා ශාලා දෙකක් තියෙනවා . එකක් විජයන්ති සහ අනික ලේඛා වෙන්න ඕන . අපි වැඩියම ගියේ කඩුවෙලට  . කොළඹ සිනමා ශාලා වලටත් ගියාට කොයිවටද කියල මතකයක් නැහැ .

අද කාලේ නම් ලව් ස්ටෝරි කියල අපි ළමයි එක්ක යන්නේ නැති වෙන්නත් ඉඩ තියෙන හිඟන කොල්ලා , අභිමාන් , මොණර තැන්න වගේ එව්වත් අපි පවුලම ගිහින් බැලුවා . සිරිබෝ අය්යා බලන්න නම් විශේෂයෙන් ගියේ අපේ ගම පෙන්නපු නිසාත් ආතා එහෙමත් එක දර්ශනයක සිටි නිසාත් . හඳයා නම් ලමයින්ගේම එකක්නේ .

ඔය අභිමාන් බලා ඇවිත් අපේ අක්කා ''තෙරේ මෙරේ මිලන තිරේ ...නයා කොයි ගුල් එලන්නේ '' කියා කියා ඔය සින්දුව කියනවා මට මතකයි .


පිටකොටුවේ මැනින් මාකට් යන එක නම් මට ඇල්ලුවේ  නැති වැඩක් . වැස්සක් හෙම දවසට නම් කලුපාට කුණු මඩ ගොඩේ ඇවිදින එක . .....

ඇත්තටම මේ කඩේ යාම ගැන රසබර කතා එමටයි . වෙන වෙලාවක කියන්නම් .

ඉතින් මන් ළමයා අර කඩේදී ටීවී එකක් දැක්කට පස්සේ වැඩි දවසක් යන්න කලින් අපි හිටි වත්තට අල්ලපු වත්තේ මහ ගෙදරට ටීවී එකක් ගෙනාව . ඒ කාලේ ඇත්තටම ලොකු ලොකු ඉඩම් තිබුනේ . ඒ කියන්නේ ගමේම වගේ ඉඩම් පවුල් කීපෙකටයි අයිති . ඔය මා කියූ ගෙදර හැඳින්වූවේ රජ ගෙදර කියා . ගෙදර සියා රජ්ජුරුවෝ . එහෙම කිවේ ඒ සියා ඉස්සර කොටුවේ රජ ගෙදර වැඩ කලාලු .

ඔය ගෙදර උන්න පිරිමි ළමයි දෙන්න අපේ ගජ යාළුවො . කොල්ලෝ වුනාට මොකද අපි එක්ක සෙල්ලම් ගෙවල් දාල සෙල්ලම් බත් උයන්නත් ආවා . දවසක් හැමෝම කුස්සියෙන් යමක් සොරා ගෙනත් ඇත්තම බත් ඉව්වා මතකයි .

ඉතින් ඔය යාළුකම නිසා අර ටීවී එක බැලීමේ පුර්ණ අනුග්‍රහය අපට ලැබුණ . කොටින්ම මහ රෑට පෙන්නුව චිත්‍රපටිය බලන්න මුන් දෙන්න අපිව එක්කන් යන්නත් එනවා . අද කල්පනා කරද්දී VIP  සැලකිල්ලක් .

හේතුව තමයි ගමෙන් භාගයක් ඒ වෙද්දීත්  පුටු , පැදුරු ආක්මන්ය කරලා ..කොටින්ම ජනෙල් කුරුවල එල්ලිලා බැල්කනි ජනතාව .

සිකුරාදා වෙන්න ඕන . නැත්නම් ඕක ඉවර වෙන්නේ පාන්දර වෙලා ..පරණ සිංහල සිනමාව මට හමුවෙන්නේ ඔයාකාරෙට . බර ගානක් බැලුවා . පාන්දර එකට විතර බෙලි කඩා වැටිච්ච උන් කුණුකෙල හෙම පිහදාගෙන ගෙවල් බලා යනවා . මන් නම් නේද පොඩ්ඩක් වත් නිදියන්නේ නැහැ . මුළු කතාවම බලනවා කොහොම හරි .
බිනරමලී ,,පරසතුමල් ...රන්මුතු දුව ..එකී මෙකි නොකී අටෝ රාශියක් චිත්‍රපටි බලා ගත්තේ ඔහොමයි .


ටිකක් කල් යද්දී ඒ වැඩේ එපා වුනාද අම්මා ගෝරනාඩු කලාද කියන්න මට මතක නැහැ . කොහොම හරි ඒ ටීවී බලන එක නතර වුනා . මන් දෙකේ තුනේ පන්තිවල වගේ කාලේ මේ දේවල් වුන බව තමා මතක .

ඔය කාලෙම අපි කුලියට හිටි නිවසේ අයිති ගෙදරටත් ගෙනාව රුප පෙට්ටියක් . ඒ ගෙදර ළමයි හිටියෙම නැහැ . අපි තමයි කොච්චරවත් එහෙ යන්නේ . කියන්න බැරි තරම් පලතුරු තිබුන වත්තක් . බෙලි අඹ අන්නාසි පේර..නමි නං ..එහෙම පලතුරු උයනක් ..වෙරළු ගස් අඹ ගස් නිකන්ම එව්වා නෙමේ ..සිනි වෙරළු ..පොල් වෙරළු ..යාපනේ අඹ ..කොහු අඹ ..බෙට්ටි අඹ ..

අර කුඩා කල මුළු දවසම නැලවී නැලවී සිටි අඹ ගසේ ඔන්චිල්ලාව තිබුනේත් අප මේ නිවසේ සිටි කාලයේ . අදටත් සිහිනෙන් මා ළමා කල දකියි නම් දකින්නේ මේ නිවස ආශ්‍රිතව . හරියටම ආපසු ගමට ගිය අපු මැටි බිත්ති වල සැඟවූ කැට කැබිලිති සොයා යන්නාසේ මාද ඉඳහිට මතක මන් ඔස්සේ ගොස් කුඩා මාගේ සොඳුරු මතකයන් අවුස්සනවා .

ඒ මහා ගෙදර ,පැරණි කොටසුත් ඉතුරුකරගෙන අලුත් වැඩියා කල ලොකු ගෙදරක් . පැරණි සිමෙන්ති ඇති කොටස් හරිම සනීපයි ..එහෙ අක්ක එක්කහු කරලා පොත් හදලා තිබ්බ දයා රාජපක්ෂගේ කතාවක් නැත්නම් පරන ශ්‍රී සඟරාවක් කියෝ කියෝ අර සිතල සිමෙන්ති පොලවේ වැතිරිලා ඉන්න එක එක්තරා විදිහක ක්ෂේම භූමියක් නැත්නම් පාරාදීසයක් වුනා ළමා මට .

කඩලා වට්ටියක දාල පලතුරු ඇඳ යට තියා ඉන්න සුදු ආච්චි පේර ගෙඩියක් නමිනං ගෙඩියක් ගෙනත් දෙනවා . ගස් වලත් ඕනෑතරම් තිබුනත් මේවා සත්තු නොකා පරිස්සන් කරලා තිබ්බ ඒවා . එයා ගෙදර කිසි වැඩක් කලේ නැහැ . මොනවා හරි හේතුවක් නිසා කසාද නොබැඳ වයසට ගිය මම්මලා ගොඩක් ඒ ගෙදර හිටියා . මන් කලින් මේගැන ලිවාදත් මන්දා .
කඩේ යන මම්මා ..කියලා කඩේ යන්නම එක්කෙනෙක් හිටියා . උයන මම්මා කෙනෙකුත් හිටියා .

ඒ සියලු මම්මලා මේ වන විට මිය පරලොව ගිහින් . හැබැයි ඔය ඉතින් අර ''ස්තුති ලයිස්තුවේ'' ඉන්න තව කට්ටියක් .

ඒ ගෙදරට ගෙනා ටීවී එකත් අපේම භුක්තියට සවි වුනා . ඕන වෙලාවක අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච ඒ රුප පෙට්ටියෙන් තමා Big Foot and wild boy හෙම මට හමු වෙන්නේ .

ඔය ඉතින් අර ස්තුති ලයිස්තුවේ ඉන්න තව කට්ටියක් .

එයින් පසු කාලයක අප ගෙවල් මාරු කළා . ඒ එක්කම රූපවාහිනියයි මමයි අතර හිඩැසක් ඇති වුනා .. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා වෙන පාසලකට යාමත් එක්ක මගට ගත වුන කාලය වැඩි
වුණා . ටයි මාමගේ කාටුන් යුගය මට මග ඇරුණා යම් පමණකට . ගෙදර ටීවී එකක් නැති වීම අද වනවිට අරුමයක් වන්නට පුළුවන් ,,නමුත් අපේ ගෙදරට කවදාවත් ටීවී එකක් නැති වග ගැන කිසිවෙකු කතා වුවේ වත් ඒ ගැන කණගාටු වුනේ  වත් නැහැ .

ඔන්න ඔය කාලේ මද පෙරදිග යාම ජනප්‍රිය වුනා . ගමේ ගෙවල් වල ටීවී කැසට් ඕන තරම් . යුගයක පෙරලිය . ඇත්තටම යමෙකුගේ ජිවිත අන්දරය හුදකලා එකක් නොවේ . කාලයත් සමග සමාජය වෙනස් වීමේ කතන්දරයක් . උපේක්ෂාවෙන්  වයසට යාහැක්කේ මෙය තේරුම් ගත්තා වූ අයටයි

මට මේ හදිසියේ මේවා මතක් වුණේ පසුගිය දිනෙක වූ අකරතැබ්බයක් නිසයි ..චව් චව් සහ දිය රකුස් ...වැඩි විස්තර කියන්නට නොහැක .දන්නෝ දනිති
ඔය අස්සේ මට කාලයක් තිස්සේ සිතා සිටි රුපවාහිනි ඉතිහාසය යම් පමණකට සටහන් කර තබන්නට සිතක් පහල වුණා .

මටත් වඩා ඔය ගැන දන්නා කෙනෙක් හිටියද ඔහුගේ රන් වැනි මතක දිග හැරෙන්නේ මිත්‍ර සමාගමක හෝ අප දෙදෙනාගේ අතිතානුස්මරණ සංලාප යන්ගේ පමණයි .

ලංකාවේ පලවෙනි රුපවාහිනී සම්ප්‍රේෂණ ආයතනය වෙච්ච ITN එක ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති . හරි ඉතින් දැන් ඕකේ යන නිව්ස් ගැන එහෙම කල්පනා කරලා කරදර වෙන්න ඕන නැහැ . මන් මේ කියන්නේ ඉතිහාසය .

පන්නිපිටියේ පිහිටවපු මෙය ශාන් වික්‍රමසිංහ මහතා ට අයිති වෙලා තිබුණ කියලයි කියන්නේ . මන් ඉතින් කෝකටත් කියලා විකියේ බැලුවා . අනිල් විජේවර්ධන සහ බොබ් ක්‍රිස්ටි කියන දෙන්නත් සම්බන්ධ වෙලා තියෙනව වැඩේට .

1979 අප්‍රේල් පටන් ගත්ත මේ නාලිකාව දකුණු ආසියාවේත් පලවෙනි එකලු . වැඩි කාලයක් නොගිහින් මෙය රජයට පවරාගත් බවයි කියවෙන්නේ . ඉන්පසු බත්තරමුල්ලේ වික්‍රමසිංහ පුරට ගෙනගියා .

ජපානයේ තෑග්ගක් වෙච්ච රුපවාහිනී සංස්ථාව පිහිටුවන්නේ 1982 දී .
1992 දී පුද්ගලික නාලිකා වලට රාජ්‍ය අවසර දුන්නා . මහරාජා ආයතනය බිහිවන්නේ එයින් පසු .

මේ පිළිබඳව තම තමන් දන්නා තොරතුරු එක්කරන්න . අද වන විට ලාංකීය රුපවාහිනිය කෙතෙක් දුරට සමාජීය වශයෙන් තම වගකීම ඉටු කරනවාද කියන එක වෙනම සැලකිය යුතු කරුණක් .



ඒ කතිකාව සඳහා මට සුදුසුකමක් නැති වන්නේ කලක සිට මා හා ලාංකීය රුපවාහිනියේ පයිරු පාසානම බිඳ වැටි ඇති හෙයින් .

නමුත් ඉතිහාසය ගැන ඔබ දන්නා දේ එකතු කර තබන්න . සිංහලෙන් ලියවුන එකඳු ලිපියක් වත් මේ ගැන මට සොයා ගන්නට බැරි වුනා . පෙර දවස අප කතා කල බොහෝ දේ මෙන්ම දවසක මෙය අපට සතුටක් වේවි .




රේඩියෝවේ විකාශය ගැන නම් මෙන්න මේ ලිපිය වටිනා එකක් බව පෙනුනා



පින්තුරය





Wednesday, May 01, 2013

නෙළුම් විල

නෙළුම් විල


මවක් සහ පුතෙක්

Posted: 30 Apr 2013 03:46 AM PDT

මේ පින්තුරේ ඉන්නේ කවුද . වයසක අම්මා කෙනෙකුයි එයාගේ පුතෙක් කියන්න පුළුවන් තරමේ කෙනෙකුයි .

මේ පින්තුරයේ ඉන්නේ අර පුතා වගේ කෙනා ම තමයි පිළිමයක් නෙලනවා .

වැදගත් වෙන්නේ මේ ඉන්නේ තමන්ගේ දරුවෝ පහක්ම රට වෙනුවෙන් මිය ගිය අම්ම කෙනෙක් . අනික් කෙනා ඒ ළමයි මැරුණු යුද්ධේ අනික් පාර්ශවයේ සොල්දාදුවෙක් .

ඔහු තරුණයෙක් ලෙස නන්නාදුනන රටක තමන්ට කිසිම සම්බන්ධයක් නැති කෙහෙල්මල් යුද්දෙකට ඇවිත් යන්තම් පන බේරා ගැත්තෙක් .

[කලාව හදාරමින් ඉන්න ගමන් ගැහැණු ළමයා පයිලට් කෙනෙක් එක්ක යාලු වුන නිසා මෙයා ඉගෙනීම අත ඇරලා . ශිෂ්‍ය භාවය නැති වූ පසු හමුදාවට බැඳීමට බල කෙරුණ බවයි  පැවසෙන්නේ . ]



පසු කලෙක ආයෙමත් ඇවිත් මේ නෙලන්නේ අර අම්මගේ පිළිරුවක් .  ඒ ඔහු සමාව ඉල්ලපු ආකාරය  සහ අම්මා සමාව දුන්න ආකාරය .

මෙයින් අපට හිතන්න දෙයක් ඇත්ද නැත්ද මන්දා . මගේ සිත ගත්තු පින්තුර දෙකක් නිසා ඔන්න ඔහේ දැම්මා . ලිපියම කියවන්න ඕන නම් මෙන්න ලින්ක් එක

අද නිවාඩු . ''වික්ටරි ඩේ '' උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස කියල ගිය  පාර ලියුවේ මේ ගැන .

හෙට ඉතින් කාටත් නිවාඩුනේ . හැමෝටම සුබ ''වැඩ කරන ජනතාවගේ නිවාඩු '' දිනයක් වේවා ......

Wednesday, April 17, 2013

නෙළුම් විල

නෙළුම් විල


කොවුලා නැතත් .......

Posted: 16 Apr 2013 11:00 PM PDT

 
 
 
 
 
.
තමන්ගේ රටේ නැතිකොට අවුරුදු එපමණකට දැනෙන්නේ නැහැ . ඒ වුනත් අපිත් හැකි පමණ අවුරුදු සැමරුවා .
මේසයට යන්නට පෙර හඬලන සැවුලෙක් මිසක ,කොවුලෙක්  තියා කපුටෙක්වත් නැතත්''' එරබදු වගේ'' මලක් නම් පිපිලා තිබුණ . අනිවාර්යයෙන් මෙය එරබදු පවුලේ වෙන්නම ඕනේ මලේ හැටියට .
 
අවුරුද්දට මොනවා නැතත් කැවුම් කොකිස් ටිකක් නැති වුනොත් කටටයි හිතටයි දෙකටම පාලුයි . අපිත් ඉතින් කැවුම් හැදුවා . උයන එකයි කන එකයි දෙකම නැකතට කළා . .
 
 
කලින් දවසේ  බුලත් හොයන්න මාකට් එකට ගියා . වැඩිය හැම තැනම නැතත් මෙහෙත් බුලත් පුවක් කනවා . පුවක් ආගමික සහ වෙනත් උත්සව වලටත් ගන්නවා . බුලත් පුවක් හුණු ගැන මෙහෙ තියෙන ජනකතාව ඉස්සරම දවසක ලිවානේ .
බුලත් ටිකයි තිබුනේ . මට කොළ දහයකට වඩා දෙන්න බැහැ කිවා . එයාට පුවක් එක්ක විකුනන්න ඕන නිසා .
අවුරුදු දා ළමයි බුලත් දීලා අපට වැන්දා



ළමයි හොඳහැටි කැවුම් කාලා සතුටු වුනා . පහල ගෙදරක ඉන්න අපේ දෙන්නගේ ජපන් යාලුවෙක් කැවුම් කන්න ආවා . ඒ ළමයට දෙය්යෝ දීපු යස කටක් තියෙනවා . .
කලින් දවසක අපේ දිහා නිදා ගන්න ආවා . අපේ ගෙදර තාත්තාව දැකපු ගමන් ඇහුවේ
'' ඇයි ඔයා සායක් ඇඳලා ''
''  යටින් කලිසමක් තියෙනවද ''
අපිට හිනා වෙලා පන ගියා . ආයේ නම් වෙන ළමයි එද්දී සරම අඳින එකක් නැහැ .
 
ඒ මදිවට බත් කනවා දැකල අහන්නේ '' අතින් කන්නේ මොකද '' කියලයි .  
 
ඔය පොඩි ළමයි එකතු වුනහම අහන කියන ඒවා නම් හරිම අපුරුයි . සමහර ඒවා බ්ලොග් වල ලියන්නත් බැරි තරම් .
 
අපේ දේශීය කැවිලි වලට අනෙක් රටවල ළමයි හරිම කැමතියි . සමහර ඒවා දේශීය කීවාට පිටරටවලින් ලැබුන දේවල් . කොකිස් ලැබුනේ ලන්දෙසින් ගෙන් ලුනේ .. . මට තියෙන ප්‍රශ්නේ ලන්දේසින් පොල් කිරි පාවිච්චි කරනවද කියල . නැත්නම් අපේ රටේදී පොල් කිරි එකතු වෙලා දේශීය වුනාද කියල .
දොදොල් ඇවිත් තියෙන්නේ මැලේසියාව පැත්තෙන් . ඇත්තටම මේ කලාපයේ රටවල දොදොල් වගේ ජාති හරියට දැක තිබෙනවා . එකක්වත් අපේ රටේ ඒවා තරම් රස නැති බව කියන්නම  ඕන .
කැවුම් නම් අපේම වෙන්න ඕනේ . අනික් අතට මමය මාගේය කියල දෙයක් නැති බව බුදු දහමේත් කියන එකේ කාගෙන් කොහෙන් ආවම මොකද . ලෝකය ලස්සන වන්නේ මේ මිශ්‍ර වීම නිසානේ .
හැමදාම එක වගේ දුවන මිනිසුන්ට මේ වගේ මොකක් හෝ තියෙන එක හොඳයි . පොඩ්ඩක් නවතින්න ..වෙනසක් ලබන්න .
 
සමහර දේවල් අදට ප්‍රායෝගික නැතත් හැකි පමණට අවුරුදු සිරිත් සමරන එක වරදක් නැහැ . තෑගී අරන් දෙමාපියෝ බලන්න ගිය එක  දුරකතන ඇමතුමකට සිමා වෙලා තමයි .
නමුත් එහෙම දෙයකට විනාඩි පහක් නැති තරමේ වේගෙන් වැඩ කරන්න වෙලා තියෙන ලෝකේ එයත් වටිනවා නේද .
 
නොනගතෙට කලින් කුස්සිය අස්පස් කරන්න ඉබේම වගේ හැඟීමක් එන්නේ පොඩි කාලයේ ඉඳන් තිබුණ පුරුද්දට . කැප්පෙටියා අතු වලින් වැකියුම් ක්ලිනරයට පරිණාමය වුනා තමයි .
ඒ වුනාට අර හැඟීමයි වැදගත් .
 
අපට අම්ම ගෙනුයි මේ පුරුදු ලැබුනේ . ඒගොල්ලෝ කළා නොකලා ඉස්සරහ පරපුරට මේවා ටිකක් හරි තෑගී දෙන එක මගේ යුතුකමනේ .
ඉස්සර කළා වගේ අද ඒ ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න බැහැ. උදාහරනෙකට සාලේ මැද්දේ ලිපක් හදල කිරි උතුරවන්න ගියා කියමු . එලාම් වැදිලා සිකියුරිටි මලයා දොරකඩ ඉඳියි විනාඩියට . [ ඔව් ඔව් මහල් නිවාස සංකීර්ණ වල ආරක්ෂක සේවයක් තියෙනවා . සාමාන්‍ය දෙයක් ]
නොනගතෙට නොකා ඉන්න එකත් මට අමාරු වැඩක් . අද ඊයෙක නෙමේ ගෙදර ඉන්න කාලෙත් අම්ම කට බැඳලා දුමේ තියාපු කැවුම් මුට්ටි ලෙහෙලා හොරෙන් කාපු එකේ දැන් මමම හදල පෙට්ටි වල අඩුක්කරලා බැබලි බැබලි තියෙද්දී කැවුමක් කටේ දානොගෙන ඉන්න පුලුවන්ද .
 
මෙදා පාර නම් අපි හොඳ ළමයි . මහා රාත්‍රියේ නිසා නොනගතේ නම් රැක්කා . හොරෙන් කැවුම් කෑමේ කතා ගොඩක් තියෙනව . ආයේ ඕවා කවද ලියවේද . අනික '' වාන් පතුල් '' කියෝලා මේ පඳුරු තලන එක අපටත් බෝ වෙලා . අපි හොඳට හිටි ළමයි .
 
 
හොරෙන් කැවුම් කන එක හරිම විනෝදයක් . ඉස්සර අම්ම කැවුම් බදිද්දී අපි තමයි වඩවලා දෙන්නේ . අතිරස හදද්දී පිටි ගුලියෙන් පොඩි පොඩි බෝල හදනවා . අතේ පොල්තෙල් ගාගෙන ඒවා පොඩි රොටි වගේ හදනව . සේරම එක ගානට හදන එක තමා ලස්සන . ඒවා දින කොට මැද ඉස්සිලා පිපිලා එනවා . හදන ගමන් අර අමු පිටි සිනි ගුලියෙන් ටික ටික කනවත් එක්ක . [කාට හරි මතකද මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක තිබුණ ඔහොම කැවුම් හදන ගමන් පිටි කන ළමයි ගැන . ]
ඔන්න ඉතින් කැවුම් දින ගමන් කැවුම් කන එක අපට තහනම් කරලා තිබුනේ . යකා ගහනව කියලයි ආච්චි නම් කිවේ . අපේ අම්ම නම් ඔය යක්කු පෙරේතයෝ එච්චර ඔළුවට ගත්තේ නැති කෙනෙක් . පසු කාලෙක මන් ඒබ්‍රහම් ටි කොවුර්ගේ පොත් ගෙදර ගෙනාවම අම්ම ඒවාත් කියෙව්වා . හැබැයි ඕවා ගැන කෙලින්ම අදහසක් කියන්න ඒ පරම්පරාව අකමැති වුනා .
ඉතින් යකා ගහනවා හරි මොකක් හරි නිසා අපට බදින ගමන් කැවුම් කන්න එපා කියල තිබුනේ . ඇත්තටම ඔතන හේතුව බැදපු ගමන් තෙල් ගතිය වැඩියි . තෙල් වැඩිය කාපුවම ඉතින් දන්නවනේ . පස්සේ මැටි මුට්ටිවල දැම්මම තෙල් එයට උරාගන්නවා . පහු වෙද්දියි කැවුම් වඩා රස සහ හොඳ .
ඉතින් අපි බය වෙයි යකුන්ට . අනික මේ මහා දවාලේ . හොරෙන් එකක් දෙකක් වහන් කරගෙන කන එක නවත්වන්න යක්කුන්ට පුලුවන්ද ..
ඉතින් මේ කැවුම් මුට්ටි වල දාලා කට බැඳලා දුමේ තමයි තියන්නේ . ඒ ඉතින් අපි කාලා අවුරුද්ද දාට එකක් වත් නැති වෙයි කියල වෙන්න ඇති . ඒ වුනාට අපි හොරෙන් කනවා .
 
 
මට තව සිද්දියක් හොඳට මතකයි . දන්නවනේ ඔය ගැහැණු ළමයි ජම්බු ගහෙන් වැටෙන සිද්දිය . ඔන්න එහෙම වැටිලා කාමරේ අස්සට වෙලා හිටි දවස් ටික ඕනෑම ළමයෙක්ට මතක ඇති . ඔක්කොමත් හරි පතොලයි බතුයි කන්න දෙන එකනේ ඉවසන්න බැරි . මට ඒකාලේ ඔය ජාතියේ එළවලු පෙනෙන්න බැහැනේ කොහොමටත් . අපේ මලයට ඉස්සෙල්ලම ඉස්කෝලේ යන්න තිබුනෙත් මට නාන්න තිබුනෙත් එක දවසේ . එකාගේ පොත් වලට පිටකවර හෙම දැම්මෙත් මන් . ඔන්න දවස් තුනහතරක් හරි හමන් කෑමක් නැතුව කුස්සිය පැත්තේ කැවුම් බැදෙන සද්දෙයි සුවඳයි ඉවසන්න බැරුව ඉඳල නාලා එලිපහලියට ආවයි කියමුකෝ . ඔය කාලෙට ගැහැණු ළමයින්ට කැවුම් කන්න දෙන්නේ නැහැ නේ . එහෙම කොහොමද .
 
අම්මට තිබුණ මලයව ඉස්කෝලේ එක්ක යන්න . අනික් දෙන්නත් ඉස්කෝලේ ගිහින් . අපේ දිහා ඔය සාද එහෙම තිබ්බේ නැහැ . අලුත් ගවුමක් මහල දුන්නා . එච්චරයි . ඒ කාලේ සමහර ගෙවල් වල ගම දෙක වෙන්න පාටි දානවනේ . අනේ මන්දා ඒ ළමයි පාරේ යන්නේ කොහොමද ඊට පස්සේ .
ඒවායින් කමක් නැහැ ඔන්න මාව තනියම තියන්නත් බැරි නිසා ළඟ ගෙදරක ගැහැණු කෙනෙක් නවත්තලා ගියා . මන් කුස්සියට වැදිලා හිතේ හැටියට කැවුම් කෑවා .
 
 
 
අලුත් අවුරුද්දට පන්සලුත් ගියා . පන්සල් අපේ වගේම නෙවේ . නමුත් එහෙම හරි තියෙන එක ගැන සන්තෝස  වෙන්න එපාය .අපේ ගේ ළඟ  ථෙරවාද පන්සලක් තියෙනව . මෙයාලගේ වතාවත් වෙනස් වුනත් අපට ගිහින් මලක් පහනක් පුජා කරන්න බැරි කමක් නැහැ .
 
 පන්සල් තාප්පේ අපායේ වද දෙන හැටි චිත්‍ර ඇඳ තිබුන . යම රජ්ජුරුවෝ චීන මුහුණක් ඇති කෙනෙක් .
 
පින්තුර ටික වෙසක් එකට දාන්නම් . ආයේ අවුරුදු කාලේ බය කරන්නේ මක්කටෙයි .
 
අද නෙට් එක අවුල් . පින්තුර ලෝඩ් වෙන්නේ නැහැ .
 
සුබ පතාපු හැමෝටම ගොඩාක් ස්තුතියි .
 

බ්ලොග් කියවන ලියන හැමෝටම සිතේ සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!

 
ප. ලි.
 
පහුගිය කාලේ වැඩ වැඩි වී තිබුණ . පොඩි දෝනිගේ උපන් දිනේ යෙදුන . අවුරුද්දට ලැස්ති වුනා . සේරමටත් වඩා නොලියා ඉන්නකොට ලියන්න දේවල් තිබ්බත් ගලපගන්න බැරි ගතියකුත් දැනුනා . අනික් බ්ලොග් වල කමෙන්ට් කලෙත්  නැහැ වැඩිය . සේරටම සමාව දෙන්න කට්ටියම .


Thursday, March 14, 2013

නෙළුම් විල

නෙළුම් විල


අතීතයෙන් මල් අහුලන වසන්තයේ

Posted: 12 Mar 2013 11:38 PM PDT

සිතල අහවරයි . ඇවිදින්න යන්න හොඳ කාලේ . හිතුනම උදේට වැව වටේ රවුමක් යනවා . මේ ඉතින් වසන්ත කාලය . සිතල කාලය ඉවර වෙලා මෙහෙ අවුරුදු සමයේදී වැඩියම දැක්කේ පිච් මල් . තද සිත සමයේ තිබුනේ රෝස වගේ මල් වර්ග වැඩිපුර .

වසන්තයේ උදාවත් එක්ක නම දත් සහ නොදත් බොහෝ මල් වර්ග දාගත්තු මල් කුඩා බයිසිකල පාර පුරාම .

රෝස ඩේලියා දන්නා මල් . නම දන්නේ නැති පාට පාට මල් දැක්කම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි .


 ඒ වගේම තැන තන වවලා තියෙනව ලෝකේ තියෙන ලස්සනම පාට වල මල් . දාස් පෙතියා , සිනියාස් , කපුරු .......කුඩලු වර්ග ...සුරිය කාන්තා මල් ...

දැක්ක තැනක මල්වල පින්තුරයක් ගන්න එක සතුටක් . ඒ මල් නෙළුම්විලේ අයිනේ හිටවන්නමයි හිතෙන්නේ .

කලින් ලියාපු වැව ගැන මතකද . ඒ වැව ගාව වසන්ත උදානයේදී මලින් සරසලා තිබුණ . රාත්‍රියේදී විවිධ වර්ණයේ බකට් සහ වර්ණවත් විදුලි එලි වලින් ලස්සන කරලා තිබුණ . මල් වල ලස්සන බලන්න දවල් වෙනමම ගියා .



මේ නම් මල් කඩනවද කොහෙද ....




සොබාදහම කියන්නේ පුදුම දෙයක් . ටිකක් කල්පනාවෙන් හිතුවොත් හරිම පුදුම දේවල් දකින්න පුළුවන් . නිවර්තන රටක් වුන අපේ මල් හුඟක් සුවඳයි . හේතුව මොකක්ද දන්නේ නැහැ . පාට පාට හුඟක් තිබුනට මේ කාලයේ පිපෙන මල් එච්චර සුවඳක් නැහැ .

කොබෝලිල...
කැළණි පන්සලේ කොබෝලිල ගස් ගොඩාක් තිබුණ මතකයි

බිම වැටුන කොබෝලිල

ජම්බෝල මල් ..මේ මල් නම් හරිම සුවඳයි

ඩේලියා


සුවඳ හමන මල් මෙහෙ පිපෙන්නේ ගිම්හාන කාලෙට . රස්නයයි මල් වල සුවඳයි අතර මොකක් හරි අපුරු සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ .

මේ මල ඉඟුරු පවුලට අයිති එකක් කියලයි කෙනෙක් මට කිවේ . ඉඟුරු වගේම මේකේ අලයත් යම් යම් දේ වලට ගන්නවලු .

 
 
අහන දකින නහයට දැනෙන ඕනෑම දෙයක් ඔස්සේ අතීත මතක ඇත්නම් ඒ දේවල් දැනෙනවා වැඩියි . හරියට අර ජමනාරන් කතාවේ කිවා වගේ .

අපි හොඳට ගහකොළ ඇසුරේ හැදුන ළමයි . මලක් ගහක් කොලක් කියන්නේ අපේම ජිවිත වල වෙන් කරන්න බැරි දේවල් .

අපේ ගෙදර අම්මයි අය්යයි මල්ලියි ගස් වැවීමට අත්ගුනේ ඇති අය . අක්කයි මමයි එහෙමකට වැවිලි කාරියෝ නෙමේ . හැබැයි කොයි පොඩි ගැහැණු ළමයත් වගේ අපිත් පොඩි කාලේ මල් වැවුවා . කාලෙන් කාලෙට එක එක මෝස්තරේට .

මට මතකයි කාලයක් තිබුණ ඩුබායි රෝස , දවල් කුමාරි කියන නමින් අපි හඳුන්වපු පොඩි පාට පාට මල් ජාතියක් . හරිම ලේසියි . අතු කෑල්ලක් නිකන් ඇන්නත් පැලවුනා .

අපි දෙන්නා වෙන වෙනම පාත්ති දැම්මා . තව සිනියාස් ..අට පෙතියා ...දහස් පෙතියා ..[ අට පෙතියාට නම් පෙති අටයි . දාස් පෙතිය කවදාවත් පෙති ගණන් කරලා නැහැ . ඇත්තටම දාහක් ඇතිද කියල ]

අද වෙද්දී දකින්නම නැති තරම් රාජ කපුරු . මෙහෙ නම් මිටි බැඳ විකුනනවා රාජකපුරු .දැක්කම ඉතින් යාලුවෙක් දැක්කා වගේ .

ඒ ඇරෙන්න අරලිය ගහක් වතුසුදු ගහක් දෙකක් ,,ගාඩිනියා පඳුරක් අනිවාර්යයෙන් හැම ගෙදරකම වගේ තිබුනනේ . ඉද්ද හෙම නම් ඉඩම් වල නිකමට වගේනේ වැවිලා තිබුනේ . අපේ අම්මගේ ගමේ මහගෙදර මායිමේ රබර් වත්තක් තිබුණ . ඉද්ද ගස් පිරිලා .


පොඩි මාමා ගෙවත්ත ලස්සන කරන්න හරිම මහන්සි වුන කෙනෙක් .
මල් වත්තක් වගේ . සල්ලි වියදම් කරලා හෙම නෙවේ . මහන්සියෙන් .

බොරළු පවා එක තරමේ ගල්ද කියල හිතෙන තරමට පිළිවෙලට අතුරලා . [අම්මගේ ගම ගැන ලිපියක් ලියන්න ඕනේ ]

තාත්තගේ මහගෙදර එයිට දෙවෙනි නැහැ . ඒ ගැන නම් කලින් කිවනේ . නුවර එළියේ වගේ ලස්සන රෝස මල් . අපිත් ඉතින් තන්හාවට ඔය ගිය දිහාකින් අතු අරන් ඇවිත් හිටවනවා . කලාතුරකින් තමයි එහෙමකට හරි ගියේ .

දහම් පාසල යද්දී හරි පන්සල් යද්දී හරි අපිට මල් ගොඩාක් ඕන වුනා . ඒ කාලයේ ඉඩකඩම් වලට ලොකු තාප්ප වැටවල් තිබුනේ අඩුවෙන් . සමහර ගෙවල් වල සේපාලිකා ගස් තිබුණ . වතුසුද්ද වගේ මල් නම් නිකන් වැටවල් වලට හිටවලා . පාරේ යනගමන් වුනත් කුඩේ පුරෝ ගන්න පුළුවන් .

ඒ වගේම තමන්ට ඉඩ තිබිලත් ගහක් වවන්නේ නැතුව හැමදාම අනුන්ගේ ගස් වලින් මල් කඩන පන්සල් යන අයත් ඕනෑතරම් හිටියා . එහෙම මල් කඩන ගමන් ඉඩමට අලාබ හානි කල නරක ළමයිනුත් හිටියා .


සමහර ගෙවල් වල ලස්සනට මල් වවලා තිබුනට ඒ මල් පන්සල් ගෙනිච්චේ ගෙදර අය විතරයි .

තමුන් පන්සල් යන්නෙත් නැතුව අනුන්ට මලක් කඩන්නත් නොදෙන ගෙවලුත් තිබුණ .  ඔන්න ඔය වගේ එදිනෙදා අත්දැකීම් අහල දැකලා අපි ලොකු ළමයි වුනා . ගම දාල ගියා .

වාහන දුම විඳගෙන කලබල නගරයේ වටරවුමක පිපිච්ච අටපෙතියා මලක් දන්නෙවත් නැතුව ඇති අපිට ඒ මලුත් එක්ක කොයිතරම් සම්බන්ධකම් තියෙනවද කියල .


පින්තුර සේරම මගේ ...

Thursday, March 07, 2013

නෙළුම් විල

නෙළුම් විල


නිල් අහසක් යට හිම කැටි විසිරි ..සුන්දර රටක මිහිරි මතක

Posted: 06 Mar 2013 10:59 PM PST

චීනය ආශ්‍රිත රටවල සැමරෙන නව අවුරුදු උළෙල වියට්නාමයේදී ''ටෙට් ''ලෙස හැඳින්වෙනවා . වැඩිමනක් නිවාඩු නැති මේ රටේ වැඩ කරන මිනිසුන්ට හිත පිරෙන්න සුමානයක් විතර නිවාඩු හම්බ වෙන්නේ මේ ටෙට් සමය  තුලදී . කලින් මේ ගැන ලියු නිසා මේ අවුරුද්දේ ඒ ගැන නොලියා ඉන්න හිතුව .

 . තද සිතල ගෙවිලා චුරු  චුරු වැසි දවස් එක්ක අතරින් පතර ඉර එලිය ඇති ලස්සන දවස් මුසු වුන වසන්තයේ ආරම්භය . අහල පහල නෙළුම් පොකුණු වල කොලයක් දෙකක් මෝදු වෙන කාලේ . ටික දවසක් අන්තර්ජාලගත වෙන්න එපාම වෙලා තිබුණ.
කම්මැලි කම තමා වෙන මොකක්ද . ඉඳල හිටලා දැක්ක දේවල් වුනත් අමිහිරියි. සමහර දේවල් කියවීම හිතට කරදරයක් . මන් කියෙව්වා කියලවත් නොකියවා හිටියා කියලවත් අදහසක් ප්‍රකාශ කළා කියලවත් වැඩක් නොවෙන දේවල් ...

 කොරියන් කතන්දර බලලම වත්මන් කොරියාව විතරක් නෙමේ ඒගොල්ලන්ගේ රජ කාලේ ඉඳන් ජපන් යටත් විජිත සමය ඊ ගාවට කොරියන් යුද්ධය සහ පශ්චාත් යුද්ධ කාලය ගැනත් සැහෙන දේවල් දැනගෙන හිටි නිසා කොරියාව දැක ගන්න මට කාලෙක ඉඳන් ආසාවක් තිබුන .

පසුගිය නිවාඩු දින කීපය සියෝල් නුවර ගත කරන්න ඉඩ ලැබුණ . කොරියන් මිත්‍රයින් නම් අපට පිස්සු කියන අදහසින් තමයි මේ ගැන කල්පනා කලේ .මෙවර  වෙනදාට වඩා තද සීතලක් දැනුන බවත් චීන අවුරුදු සමය නරකම කාලගුණයක් ඇති කාලයක් බවත් සිතා ඔවුන් අප ගැන වද වුනා .

මගේ හොඳම කොරියානු මිතුරියක් අවශ්‍ය තොරතුරු සියල්ල සොයා දුන්නා . සිතල වැඩි වේ යයි ඔවුන් අපගැන දුක් වද්දී අප බිය වුනේ සිතල අඩු වී හිම දකින්නට බැරි වේ යයි කියා .





අහසේදී බිම බලන විට


සියල්ල යහපත් වී ඉර පායපු සුනිල් අහසක් යට හිම සෙල්ලම් කරන්නට පොඩි උන් වාසනාවන්ත වුනා .
මා දුටු සියෝල් නගරය මනා නගර සැලසුමකින් යුත් සුන්දර නගරයක් . මා දුටු යයි විශේෂණය කලේ විසල් නගරයකින් මා දකින්නට ඇත්තේ ස්වල්පයක් පමණක් නිසා සහ වෙනත් අයුරකින් මෙය දුටු අය සිටින්නට හැකි නිසා .

අපිරිසිඳු පැල්පත් සහිත ගෙවල් සමුහයන් හැඳින්වීමට'' කොරියාව '' යන වචනය අප කුඩා කල අසා තිබෙනවා . අදටත් එසේ දේ නම් වහාම එම වදන අපේ භාෂිතයෙන් ඉවත් කල යුතුයි . මා නැරඹු 50 හෝ 60 දශකය අලලා සැකසුන කොරියන් කතා මාලා එවැනි ජන දිවියක් තිබු බවට සාක්කි . නමුත් 70 දශකයෙන් පසු එරට දියුණුවේ මගට පිවිසිලා .

ලෙහෙසි පහසු ඉතිහාසයක් නොතිබූ රටක් . ඈත අතීතයේ පටන් චීන ආක්‍රමණ අභ්‍යන්තර ගැටුම් පසුව ජපන් යටත් විජිතයක් වීම ..කොරියන් යුද්ධයෙන් රට දෙකඩ වීම වැනි අමිහිරි ඉතිහාසයක් ඇති රටක් . රටක් දෙකඩ වීමෙන් එකම පවුලේ නෑසියන් වෙන් වීමේ වේදනාව අදටත් විඳින ජාතියක් .

යුධ මුක්ත කලාපයට සහ දේශ සීමාවට සියෝල් සිට එතරම් දුරක් නැහැ . නමුත් කුඩා ළමයින් සමග යාමට උචිත නැති බව සිතුන . අනික් අතට උතුරේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වුනා අප එහි සිටි දිනවල.

දරිද්‍ර තාවයේ පතුලෙන්ම සිට සංවර්ධනය කරා පැමිණි රටක් . අපේ රටත් එසේ වෙනවා නම් කියා සිතුනා .ඒ වගේම ඒ රටවල සංචාරය කරන අපේ දෙස්පලුවන් ඒවායේ ඇවිදින්නේ ඇස වසාගෙන දැයි මට නම් පුදුමයි .
ඒ ඉතින් අපගේ අවාසනාව .

නගරය මැදින් ගලන සුවිසල් හෑන් ගඟ අලංකාර පාලම් රැසකින් යුක්තයි . අප ගිය රාත්‍රී නගර සංචාර බසය පාලම් එකොළහක් නැරඹීමට රැගෙන ගියා . හැමෙකක්ම එකිනෙකට වෙනස් . විදුලි අලංකරණය ද විවිධයි .


[බොහොමයක් ටෙලි වල කෙල්ල හෝ කොල්ලා දුකක් හිතුන විට කල්පනා කරන්නට හෝ තනියම හඬන්නට ඔන්න ඔයින් පාලමක් ළඟ ගඟ අයිනේ ස්ථානයක් තෝරාගනි . ]

නගරයේ උමන් දුම්රිය ජාලය අපේ ප්‍රියතම අංගයක් වුනා . නතර වී සිටි තැනම උමන් දුම්රිය පලක් තිබීම ගමන් බිමන් වලට හරිම පහසුවක් . කුඩා කාලයේ දුම්රියේ යන්නට ලැබී නැතිම තරම් . පසු කලෙක කටුනායක රාජකාරි කල සමයේ මේ ආසාව නිසාම ඉඳහිට කෝච්චියේ ගියා . දෙතුන්වතාවක් නානු ඔය හෝ නුවර ගිය ගමන් වලින් මගේ දුම්රියේ යාමේ දොළ නම් සම්පුර්ණ වුනේ නැහැ .

අප දෙදෙනාම එකසේ දුම්රිය ප්‍රිය කරන නිසා ගිය හැමතැනකම ඉඩක් ලද විගස දුම්රිය අපේ අංක එකේ ගමන් සගයා වෙනවා .

''රටක දියුණුව යනු දුප්පතුන් කාර් වල යාම නොවේ පොහොසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම ''යයි කවුදෝ කියා තිබුණ .

සියෝල් වල පොදු ප්‍රවාහන සේවය ඉතාම හොඳයි . ටැක්සි වල යන්න ඕනෑම නැති තරම් .

 කන වෙලාවට දෙන පොඩි අතුරු දිසි

බිබිම් බප්

නෙලුම් කොලේ බත්



 
 
 
 
 
මෙයාව හැබෑවටම දකින්න බැරි වුනා .

සුනිල  අහස

මේ වෙළඳ සලක ඇතුලේ එළවලු වවලා . පස් වල නෙමේ . හරියට පටක රෝපණ ක්‍රමය වගේ .
 
 

මේ චාරිකාව අප මුලිකවම ළමයින්ගේ සතුට වෙනුවෙන් වෙන්කරන්න තීරණය කල නිසා ඉතිහාසය හදාරන්න එතරම් උනන්දුවක් ගත්තේ නැහැ . කිසිම දෙයකට වඩා හිම ගොඩක පෙරලෙන එක තමා ඒගොල්ලන්ගේ සතුට වුනේ .

නගරය දැක්ක ඇති කියල හිතල ටිකක් ඈත ගමනක් දුම්රියෙන් යන්න ඕන කියල හදිසියේම අපට හිතුන .

දැන් පොඩි දෙන්න ටිකක් ලොකු නිසා ඔය වගේ හදිසි තීරණ ගන්න පුළුවන් . නගරයෙන් ටිකක් දුර කුඩා දුපතක් බලන්න යන්න තීරණය කළා ..

ඈත හිමෙන් වැසුන කඳුවැටි දිහා බලමින් ගිය ඒ දුම්රිය ගමන සදා මතකයේ රැඳෙන සුළුයි .

Namiseom නම් මේ දුපත පිහිටා තියෙන්නේ හෑන් ගඟේ . ගසක කොලයක් හැඩය ඇති මේ දුපත නාමික රටක් . Republic of Namiseoum ලෙසයි හැඳින්වෙන්නේ .

දුම්රියෙන් ගොස් ෆෙරි බෝට්ටුවකින් දුපතට ලඟා වෙන්න පුළුවන් . බෝට්ටුවේ ලෙළදුන විවිධ කොඩි අතර ලංකාවේ කොඩිය දැකීම අපට සතුටක් වුනා .

සිතල සමයේදී තනිකරම සුදු හිමෙන් වැසුන මේ අලංකාර දුපත ඇත්තටම ගඟ හරහා බැඳී වේල්ලක් නිසා ගොඩ බිමින් වෙන්වුවක් .

වසර දහයකට පෙර අතිශයින් ජනප්‍රිය වුන WINTER SONATA නමැති කොරියන් රුපවාහිනී නාටකයේ බොහෝ දර්ශන මෙහි රුගත වුවක් .

කලකට පෙර මා නැරඹු ඒ කතා මාලාව මතකයේ රැඳුනේ මේ අලංකාර දුපත නිසා . මේ ආදර අන්දරය කොරියානුවන් අතර මෙන්ම වෙනත් රටවලද රසිකයින්ගේ ආදරය දිනු නිසා මේ දුපත අගනා සංචාරක ආකර්ශනයක් වුනා . නරඹන්නන් වැඩි පිරිස තරුණ ආදරවන්තයින් බවයි පෙනුනේ .
 හැන් ගඟේ දුපතට යන ගමනේ

කෝකටත් අක්ක ළඟටම වෙලා



මේ පාරේ නේ වින්ටර් සොනාට නාටකයේ ආදරවන්තයෝ ඇවිදින්නේ



1910 වනතුරු රාජාණ්ඩු ක්‍රමයක් තිබිල එයින් පසු ජපන් අධිරාජ්‍යය යටතේ නාමිකව රජ පවුලක් පමණක් ඉතිරි වෙලා . මගේ කොරියන් මිතුරියට අනුව 1945 නිදහස ලැබෙනකම් රජ පවුල නාමිකව ඉඳල තියෙනව . මේ ගැන හරියටම කියවල වෙනම ලිපියක් සකස් කරන්න හිතන් ඉන්නවා [ කවද හරි ] අද නම් ඒ ගැන නිල තොරතුරු ලියන්න හැකියාවක් නැහැ .

මේ නිසා නගරයේ මාලිගා කීපයක් තියෙනව . එයින් අප නවාතැනට ආසන්නව පිහිටි

Gyeongbokgung මාලිගය බලන්නට යන්න ලැබුණ .

චීන අවුරුද්ද කොරියාවෙත් සැමරෙන නිසා ඇත්තටම අප සිටි දින කීපය නිවාඩු කාලයක් . මේ සාමය කොරියාවේදී මුලිකවම ස්තුතිය පුද කිරීමේ අවස්තාවක් ලෙසයි ඒ අය සමරන්නේ . chuseok කියා හඳුන්වන මේ දින කීපය තුල දෙමාපියන් වැඩිහිටියන් බැලීමට බොහෝ සියෝල් වැසියන් ගම්දොර බලා යන්නට ඇත .ගමන් බිමන් ගිය නගර වාසින් අත්ද තෑගී භෝග ඇති බව දුටුවා ..කොරියානුවන්ට විශේෂිත අහාර පාන ඇසුරුම් පෙට්ටි සිල්ක් වැනි රෙදි කඩකින් එල්ලා ගෙන යාමට හැකි ලෙස සකස් කල තෑගී ඔවුන් අත තිබුණ .

ඒ වගේම මාලිගය බලන්නට දේශීය හන්බෝක් ඇඳුමින් සැරසුන ළමයින් සහ යුවතියන් පැමිණ සිටියා . [එදිනට මේ ඇඳුම ඇඳගත් පසු බොහෝ තැන්වලට ඇතුල් වීම නොමිලේ ]

කනගාටුවට කරුණ වුයේ අපටත් එදා ඇතුල් වීම නොමිලේ වුවත් නිවාඩු දිනයක් නිසා විස්තර කර දීමක් නොවුන නිසා . නමුත් සම්ප්‍රදායික මුර සේවාව මාරුවන පෙරහරක් නම් දැක ගන්නට ලැබුණ


මාලිගය පැනොරාමා ඇසින්

 ඒ කාලේ කුමරියෝ හිම සෙල්ලම් කරන්න ඇත්තේ මෙහෙම වෙන්න ඇති .මේ දෙන්න නම් යන්නේ කොහෙද මෙලෝ වගක් නැතුව හිම ගොඩක් දැක්ක ගමන් ජබොක් ගාල එකට පනින එක තමයි වැඩියම කලේ






සිංහාසනයක්



මෙවැනි විවිධ හිතළු සත්ව පිළිම රැසක් තිබුණ

මුර භටයින් මාරු වෙන වෙලාව



නම්සන් කුළුණ .
 
මේ කුළුණ තියෙන්නේ නම්සන් කඳු මුදුනේ .
 මේ ඒ කුලුන උඩට නැගල ගත්තු පින්තුරයක්

 මේ ආදර ඉබ්බෝ . ආදරවන්තයින් මේ නම්සන් කුලුන පාමුල ඇති මේ ස්ථානයේ ඉබ්බන් අගුලු දමල යනවා . මන් හිතන්නේ එහෙම කලහම ඒගොල්ලන්ගේ හදවත් ආයේ වෙන කාටවත් විවර වෙන්නේ නැති බවට විස්වාස කරනවා ඇති ..මන් කතා වල දැකල තියෙන නිසා ඔය් වගේ වැදගත් දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුණ . කොරියන් කතා බලනව කියල මට හිනා වෙන උදවිය ඔය වගේ වැදගත් කාරණා දන්නේ නැහැ .



 ජපන් අධිරාජ්‍ය තියෙන කාලේ මේ ජපන් අය වැඩිය හිටි පලාතක් තිබුණ නගරයේ . මේ ඒ පාරවල යද්දී ගත්තු පින්තුරයක්

මේ නම්දිමුන් මාකට් එක . පැරණි සහ සියෝල් වල ලොකුම දිවා රාත්‍රී මාකට් එක . මේ ඉටිරෙදි අවන්හල් කොරියාවේ ජනප්‍රියයි . මේවා ඇතුලේ කන බොන දේවල් වගේම සොජු කියන දේශීය මත්පැන් වර්ගය අලෙවි වෙනවා .
 
 

 සියෝල් ස්ටේෂන් එක ළඟ පිළිරුවක් . නිදහස් සටනේ නියමුවෙක්

 මේ'' අහිංසක මිනිසා ''කතාවේ නළුවා බර්ගර් විකුනනවා . හැම තැනම දන්නා කියන මුණු එක එක ජාති විකුනන හැටි දුටුවා




 
 
 
එලි පහලියේ මල් නොතිබුනත් ගුවන් තොට මල් පිපි තිබුණ . ඒ වගේම අපි ආපසු ආ වැලන්ටයින් දිනේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුනා .



.

රට සංවර්ධනය වෙන ගමන් දේශීය අනන්‍යතාවය යහමින් රැකගෙන බටහිර සංස්කෘතියත් එක්ක හොඳට කලවම් වෙච්ච රටක් කියල මට නම් හිතුනේ . මේ කලවම් වීමේදී ඉංග්‍රීසි බස අත්‍යවශ්‍යම වෙලා  නැහැ වගේ . ඇමරිකාවේ සහයෝගය උපරිමයට ගත්තත් බාසාව නම් අරගෙන නැහැ එහෙමකට . ජපානය වගේ සියබසින්ම කටයුතු කරන්න පුරුදු වුන රටක් .

නමුත් අද වෙද්දී ඉංග්‍රීසි අධ්‍යාපනයට ලොකු උනන්දුවක් ඇති වෙලා . මන් සලකුණු ආදිය භාෂා දෙකෙන්ම ඇති නිසා අපට එතරම් අපහසුවක් වුනේ නැහැ .

 ඒ වගේම මට හමුවුන කොරියානුවන් ආචාර ශීලි සහ කදිමට ඇඳුම් අඳින උදවිය බව පෙනුනා .
 
........................
.


කොරියාව ඉඩක් ලදොත් යලිත් වරක් නොව කීප වරක් යාමට වුවත් ආසා හිතෙන ලස්සන රටක් බව කිව යුතුමයි .



ප. ලි .

අන්තර්ජාලය සහ මගේ දීගයට පසු ගිය දවස් එතරම් සුබ නොවිණි . බ්ලොග් ලිවිල්ලත් කියවීමත් බැඳගත් විට සෙක්කුවක් වැනිය . ගැලවුන විට යලි බැඳෙන්නට අපහසුය .

හිත මිත්‍ර බ්ලොග් අඩවි කියවීමට පසුගිය දිනවල නොහැකි විය . සියල්ලෝ සමාව භජනය කරත්වා .

උදා වී ඇත්තේ සර්ප වර්ෂයයි . වර්ෂය සර්පයාගේ වුවද මිනිසුන්ගේ විෂ ගති පහවී සැමටම සුබ සර්ප වර්ෂයක් වේවා යයි පතමි .